Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


ආණ්ඩුව ව්‍යවස්ථා හදන්නේ ගෙදර යන ගමන් 


2021-03-05 3481

උපාලි අබේරත්න කොමිසම අධිකරණ බල පැහැර ගෙන 

 

මිනී මැරුම් නඩුවලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුත් වෙනස් කරලා 

 

පාස්කු වාර්තාව අසම්පූර්ණයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපතිගේ උපාලි අබේරත්න කොමිසම රටේ අධිකරණ බලය අමු අමුවේ පැහැර ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පළ කළේ කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (04) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.    

ඇත්ත වශයෙන්ම මම ප‍්‍රකාශ කරන්න කැමතියි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කියන්නේ අධිකරණ නෙමෙයි. ජනපති කොමිෂන් කියන්නේ තොරතුරු හොයන්න පත් කරන කොමිෂන් පමණයි. මේ කොමිෂන්වලට නඩු තීන්දු ලබා දෙන්න බැහැ. තොරතුරු හොයලා නීතිපතිවරයාට යවන්න ඕනෑ. එච්චරයි. පසුව නීතිපතිවරයා තීරණය කරනවා මේ තොරතුරු පදනම් කර ගෙන නෛතික කටයුතු කරන්න පුළුවන් ද කියලා. 

නමුත් අපට ලැබුණ කැබිනට් පති‍්‍රකාව අනුව පෙනී ගිය කාරණයක් තමයි මේ කොමිෂම තොරතුරු හොයනවා වෙනුවට අධිකරණ බලය අතට ගෙන ක්‍රියා කර තිබීම. ඒක නීති විරෝධි වගේම අධිකරණයට කරන අපහාසයක්. ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, මහේස්ත‍්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දු සහ එම අධිකරණවල පවතින නඩු පිළිබඳව මේ කොමිෂමේ අය නිර්දේශ නිකුත් කරනවා. 

මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය උදුරා ගැනීමක් බව ඉතාම පැහැදිලියි. අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න පුළුවන් අධිකරණයකට පමණයි. මේ වගේ කොමිෂන් සභාවකට බැහැ අධිකරණ තීන්දු වෙනස් කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් මිනී මැරුම් පිළිබද නඩුවලට පවා මේ අය යම් යම් වෙනස් කිරිම් කරන්න නිර්දේශ කරලා.  ආණ්ඩුවේ හිතවතුන්ට විරුද්ධව තිබෙන නඩු ඉවත් කරලා. සමහර නඩුවල පැමිණිලිකාරයා විත්තිකාරයා කරලා. 

මේ ක්‍රියාදාමයට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 40ක පිරිසක් අත්සන් කරලා අගවිනිසුරුතුමාට පෙත්සමක් භාර දෙන්න අප ක්‍රියා කළා. තමුන්නාන්සේලාට අහන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් මැදිහත් වෙන්න හේතු මොනවාද කියලා. පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවිවලට දෙන්නේ. ඉතින් අපට පෙනී ගොස් තිබෙනවා පාර්ලිමේන්තුව අධිකරණයට ලබා දුන් බලය මේ කොමිෂම විසින් පැහැර ගෙන තිබෙනවා බව. ඒ නිසා අපි අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කළේ මේ පිළිබදව පරීක්ෂණයක් කරන්න කියලා. 

දේශපාලන පළි ගැනීම් පිළිබඳව වගේම පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන්වල වාර්තාව අසම්පූර්ණයි. පාස්කු ප‍්‍රහාරය පිළිබද වාර්තාවේ වෙළුම් පහක් තිබෙනවා. නමුත් අපට ලබා දුන්නේ එක වෙළුමයි. තවම නීතිපතිවරයාටවත්දී ලා නැහැ. ඉතින් නීතිපතිවරයා කොහොමද වෙළුම් සියල්ලම නැතිව ඉදිරි කටයුතු නිගමනය කරන්නේ. 

මේ අය මේ සම්පූර්ණ වාර්තාව හිතාමතා ප‍්‍රමාද කරනවා. මේ වාර්තාව හංගන්නේ ඇයි..? අපි රජයට කියනවා වහාම මේ සියලුම වාර්තාවන් නීතිපතිවරයාට යොමු කරන්න. මන්ද අපට සැකයක් තිබෙනවා සියලු සාක්ෂි කොමිෂමට ඉදිරිපත් කළාද යන්න පිළිබදව. කාදිනල්තුමාට වුණත් මේ ගැන අධ්‍යනය කරන්න මේ වාර්තාව ප‍්‍රමාණවත් නැහැ. 

ඒ වගේම අද පළාත් සභා මැතිවරණය පිළිබදව කතා වෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව පළාත් සභා මැතිවරණය පවත්වයිද කියා සැකයි. රජය පළාත් සභා මැතිවරණය පිළිබද ප‍්‍රකාශ කළේ එක්සත් ජාතින්ගේ සංවිධානය අන්දවන්න. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදි 13 වන සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න කියලා ඉන්දියාවෙන් තද ඉල්ලීමක් තිබුණා. ඉන්දියාව අන්දවන්න තමයි පළාත් සභා පිළිබද මතයක් ඇති කළේ. 

හැම පක්ෂයකටම කිව්වා නව ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. අපි ඒ අයට දුන් උත්තරය තමයි රජයට හිතවත් නීතිඥ මහත්වරුන් ඉදිරියේදි ව්‍යවස්ථාවක් හදලා නැහැ ඉතිහාසයේ සිටම. හැමදාම මේ කටයුතු සිදු වුණේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් හෝ මුළු පාර්ලිමේන්තුවම තේරීම් කාරක සභාවක් බවටපරිවර්ථනය කිරීමෙනුයි. රජයට අද මැතිවරණ තියන්න බැහැ. තිබ්බොත් පරාදයි. ඉතින් මැතිවරණ ප‍්‍රමාද කරන්න හොදම ක‍්‍රමය තමයි ව්‍යවස්ථා සංශෝධනය. 

මෙහිදි පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් ඇසූ සහ ඊට අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලබා දුන් පිළිතුරු මෙසේය. 

ප්‍රශ්නය - ඔබතුමා මිනීමැරුම් නඩුවක් පිළිබදව දේශපාලන පළි ගැනීම් කොමිෂම නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි සදහන් කළා. ඒ කුමන නඩුව පිළිබදවද..?

පිළිතුර - නම් සදහන් කරන්න කැමති නැහැ. නඑුත් ඔබ සියලු දෙනාම දන්නවා ඒ කාරණය. අප ඉදිරිපත් කරන්නේ පෞද්ගලික අදහසක් නොව සමස්ත අදහසක්. ආණ්ඩුවට හිතවත් අයගේ නඩු ඉවත් කරන්න කියලා මේ දේශපාලන පළි ගැනීම් කොමිෂමෙන් නිර්දේශ කරලා තිබෙනවා. මිනි මැරුම් නඩු තීන්දු වෙනස් කරන්න නිර්දේශ කරලා. මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අධිකරණයට කරන අපහාසයක්. 

ප්‍රශ්නය - ඔබතුමාලගේ ආණ්ඩුවත් ව්‍යවස්ථා සංශෙෘ්ධනයට යම් යම් කටයුතු කළා. ඒ කටයුතු පාදක කර ගන්න කියා යෝජනා කළේ නැද්ද..?

පිළිතුර - මම මාස දෙකකට කලිනුත් ඒ කතාව කිව්වා. අපි මුළු පාර්ලිමේන්තුවම මෙහෙයුම් කමිටුවක් කළා. දින 75ක් අපි එකට ඉඳ ගත්තා. මන්ති‍්‍රවරුන් කමිටු 20කට පත් කළා. විපක්ෂයේ මන්ති‍්‍රවරුත් පත් කළා. බන්දුල ගුණවර්ධන මුදල් කමිටුවේ සභාපති. ඒ අය වාර්තා 20ක් දුන්නා. ඒ වාර්තා අපි පාර්ලිමේන්තුවේ දින 5ක් විවාද කළා. ඒ විදිහට 80%ක් වැඩ කටයුතු අවසන් කරලා තිබුණේ. මේ අය ව්‍යවස්ථා හදන්නේ ගෙදර යන ගමන්. 

Advertiesment