Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


ජනයාගෙන් සියයට 80ක් 20 ට විරුද්ධයි-සමීක්ෂණයකින් තහවුරුයි


2021-03-05 7593

කරු ජයසූරිය හෙළි කරයි 

 

ජන මතයට අවනත වී 20 අහෝසි කරනු 

 

රටම ලේ විලක් නොකරනු-විරුද්ධ මතධාරීන්ගෙන් පළි ගැනීම නවතනු

 

ප්‍රජාතන්ත්‍රවාදය කොයිබට ද-ශ්‍රී ලංකාවට සිදු විය හැක්කේ කුමක්..? 

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

රටේ සමස්ත ජනතාවගෙන් 80%ක් ම ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තරයේ සහ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු ජන මත සමීක්ෂණවලින් හෙළිදරව් වී ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඒ අනුව මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින්ගේ සහ මහා ජනතාවගේ මෙම ඉල්ලීමට අවනත වෙමින් ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම අහෝසි කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය සහ යහ පාලන මූලධර්ම යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය වහාම පියවර ගත යුතු යැයි ද හෙතෙම කියා සිටියි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, ප්‍රජාතන්ත්‍රවාදය කොයිබට ද-ශ්‍රී ලංකාවට සිදු විය හැක්කේ කුමක් ද..? යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (04) සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡා සභාවට එක් වෙමිනි.

රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සංකීර්ණ සහ ගැඹුරු අර්බුදයට මුහුණ දෙන අතර ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, සාමය සහ යහ පාලන මූලධර්ම ඇතුළු ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් එම අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කරන ජාතික එකමුතුවක් ගොඩනැගීමේ අරමුණින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරුණු මේ විශේෂ ජාතික විද්වත් සභාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේ ද කීය. 

ජාතික එකමුතුවක් සඳහා වන මෙම විශේෂ සාකච්ජා සභාව සඳහා එක් වන සියලුම සම්භාවනීය ආරාධිතයින් රට-ජනතාව වෙනුවෙන් ගෞරවයෙන්, සෙනෙහසින් සහ සුහදව පිළි ගන්නවා. මෙම අවස්ථාවට හිටපු මැති ඇමතිවරු, මන්ත්‍රීවරුන්, රාජ්‍ය සේවකයන්, නීතිඥයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සහ කලාකරුවන් ඇතුළු ඉතාමත්ම සම්භාවනීය මේ රට පිළි ගත් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා. ඔවුන්ගේ මෙම දායකත්වය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත්ම අගය කොට සලකනවා. එමෙන්ම මෙම සහභාගීත්වය අප සංවිධානයට ලබා දෙන මහත් වූ ධෛර්යයක් සහ ශක්තියක් වන බවද ගෞරවයෙන් යුතුව සඳහන් කිරීමට කැමැතියි.

ප්‍රථමයෙන්ම මම මෙහිදී එක් කරුණක් අවධාරණය කිරීමට කැමැතියි. එනම් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන කිසිදු අභිප්‍රායක් නැහැ. ඒ නිසාම දේශපාලන පක්ෂ පිහිටුවීම සදහා කිසිදු අවශ්‍යතාවයක් ද නැහැ. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ද ඕනෑකමක් නැහැ. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ සියල්ලම කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වඩා යහපත් රටක් ගොඩනගා ගැනීම සඳහා මේ රටේ පුරවැසියන් අතර පවත්නා බලවත් අධිෂ්ඨානය යථාර්ථයක් කර ගනු පිණිස අපගේ දායකත්වය ලබා දීමටයි. එමනිසා කරුණාකර අප කරන මෙම අවංක උත්සහය වරදවා තේරුම් ගන්න එපා. 

ජනාධිපතිවරණයෙන් සහ මහා මැතිවරණයෙන් පසුව වඩා වැඩි සමාජ මැදිහත්වීමක් උදෙසා නිරතවීමට අප සංවිධානයට සිදු වුණා. විශේෂයෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිසේත්ම නිහඩව සිටීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වටා ගොණු කර ගත් අසීමාන්තික බලතල හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා රැගෙන යමින් සිටින තත්ත්වය මත වගකීමක් ඇති පුරවැසියන් ලෙස අපට නිහඩව සිටිමට නොහැකි වුණා. 

එවැනි පරිසරයක මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගෙන සමස්ත රාජ්‍යතන්ත්‍රයම අසීමාන්තික ලෙස දේශපාලනීකරණයට ලක් කරමින් රටේ සමස්ත ආර්ථිකය එක් පුද්ගලයෙකු සහ ඔහු වටා සිටින ගජ මිතුරු කල්ලියක් විසින් දැවැන්ත ප්‍රපාතයක් කරා තල්ලු කරමින් සිටින විට ඊට එරෙහිව වඩ වඩාත් සක්‍රීයවීමට අපට සිදු වුණා.

ඒ වගේම මේ රටේ අති බහුතර ජනතාව 20 වන සංශෝධනයට එකඟ නොමැති බව අප හොදින්ම දන්නවා. එමෙන්ම මේ රටේ අති පූජනීය මහා සංඝ රත්නයද ප්‍රධාන සර්වාගමික ආගමික නායකයන් සහ මේ සමාජයේ ජීවත් වන රටට ආදර කරන සියලුම පාර්ශවයන් මේ මොහොත වන විට අධිෂ්ඨාන සහගතව එක් මතයකට පැමිණ සිටිනවා. 

ඒ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතුව ඇතැයි යන පැහැදිළි අදහසට යි. මහා සංඝ රත්නයද  ඇතුළු ඒ සියලුම දෙනා දක්වන එම අදහස අප සංවිධානයට මහත් වූ ධෛර්යයක් ලබා දුන්නා. එමෙන්ම ආශිර්වාදයක් වී තිබෙනවා. අපට වාර්තා වී ඇති අන්දමට මේ රටේ සිදු කර ඇති ජන මත සමීක්ෂණ ගණනාවක ප්‍රතිඵල අනුව අදාළ සමීක්ෂණයන්ට සහභාගී වූ ජනතාවගෙන් 80%ක් ම 20 වන සංශෝධනය අනුමත කරන්නේ නැහැ. 20 වන සංශෝධනය පිළි ගන්නේ රටේ ජනතාවගෙන් 20%ක් තරම් සීමිත පිරිසක් පමණයි. මෙම තත්ත්වය කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා. පාර්ලිමේන්තුවේ 2/3ක බලයෙන් උදම් වී සිටින ඔවුන් මෙම යථාර්ථය වටහා ගත යුතුයි. 

එමෙන්ම මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට අප පියවර ගත්තේ මාස ගණනාවක් මුළුල්ලේ ජන සමාජයේ විවිධ පාර්ශවවලින් කෙරුණු බරපතළ ඉල්ලීම් අනුවයි. අපේ යුතුකමක් වශයෙන් එම ඉල්ලීම් අප ගෞරවයෙන් පිළි ගත්තා. ඒ අනුව එම වගකීම අප මෙසේ ඉටු කරන්නේ රට-ජනතාව වෙනුවෙන් ඉතාම සද්භාවයෙන් යුතුව බව කිව යුතුයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සමාජයට ඇති වූ මහා පරිමාණයේ විනාශය ගැන විශේෂ දේශන තුනක් මෙහිදී පැවැත් වුණු අතර එමගින්  රාජ්‍ය සේවය බිඳ වැට්ට වූ ආකාරය, අධිකරණය හෑල්ලු කළ ආකාරය සේම වෘත්තීය සමිති සහ විරුද්ධ මතධාරීන් දඩයම් කරමින් සිටින ආකාරය මනාව පැහැදිළි කෙරුණා.

ඒ වගේම තවත් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි මේ රටේ ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකමක් සේ සලකනවා. 2021 ජුනි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය උත්සුක වන බවට වාර්තා වෙනවා. මෙම හදිසිය අප තේරුම් ගත යුත්තේ කෙසේ ද..? මෙම තත්ත්වය නිදහස් සහ සාධාරණ සේම සාමකාමී මැතිවරණ පිළිබදව අපේක්ෂාවන් ඇති බොහෝ පාර්ශවයන්හි දැඩි අවධානයට ලක්ව තිබෙනවා. 

මැතිවරණ කොමිසන් සභාවේ කටයුතු කරන බොහෝ දෙනෙක් ද මේ පිළිබදව අප වෙත කරුණු දක්වා තිබෙනවා. ඔවුන් අප වෙත අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ ස්වාධීන කොමිෂන් සභාවන් හි වර්තමාන සංයුතිය දෙස බලන විට නිදහස් සහ සාධාරණ මැතිවරණ පිළිබද අපේක්ෂා දැල්වීම නිශ්ඵල විය හැකි බවයි.

එම අදහස අප අතර ද තිබෙනවා. මුදල් කොමිසම හැර අනෙකුත් සෑම කොමිසමක් අභ්‍යන්තරයේම බලගතු දේශපාලන හස්ත තිබෙනවා. අද බහුතර මතය වන්නේ මේ කොමිෂන් සභා විපක්ෂයේ ද එකගත්වයෙන් නැවත පත් කළ යුතුය යන්නයි. එක් බල ලෝභී පුද්ගලයෙකු මේ කොමිෂන් සභා ඇති කළේ ඒකාධිපති ආණ්ඩුවක් ඇති කර සැමදා බලයේ සිටීමටයි.

2001 වසරේදී 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසු 2015 දක්වා පැවැත් වූ මැතිවරණ අතීතයට සාපේක්ෂව සාමකාමීව සිදු වුණා. ඊට පසුව යහ පාලනය යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදී ආවරණ යටතේ 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත්ම ආදර්ශමත්ව සිදු වුණා. 

එහෙත් වර්තමාන පරිසරය මත එවැනි මැතිවරණයක් ගැන සිතන්නටවත් බැහැ. එමෙන්ම මුළු රටම ආන්දෝලනයකට ලක් කර ඇති උපාලි අබේරත්න කොමිසමේ විකාර යෝජනා මේ රටේ ජනතාව පිළිකුලෙන් හෙළා දකිනවා. මෙහිදි අප කලින් සදහන් කළ පරිදි බල ලෝභී දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ විරුද්ධ මතධාරීන් දේශපාලන සිතියමෙන් පූර්ණ වශයෙන් අතුගා දැමීමටය. 

මෙරට බලධාරීන්ට අප කියන්නේ එවැනි උත්සහයක් දැරුවොත් එමඟින් මේ රට ලේ විලක් විය හැකි බවයි. මියන්මාරයේ ඒකාධිපතිත්වයට එරෙහිව අද වීදි සටන් කරන්නේත් ජීවිත පූජා කරන්නේත් අවුරුදු විසි ගණන්වල වෙසෙන තරුණ පරපුරයි. එවැනි තත්ත්වයක් අප රටේ ද නිර්මාණයවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. එවැනි තත්ත්වයකට ඉඩ නොතැබීම මේ රටේ සමස්ත ජනතාව වෙත පැවරී ඇති වගකිමක් බව කිව යුතුයි. 

උපාලි අබේරත්න කොමිසමේ වාර්තාව අපේ රටේ අධිකරණයට විශාල කැළලක් ඇති කළ අතර එමගින් අපේ අධිකරණ පද්ධතියට බරපතළම අපහාසයක් සිදු කෙරුණා. අග්‍රවිනිශ්චයකාරතුමා ප්‍රමුඛ ගරු අධිකරණය මේ කරුණු පිළිබදව දැඩි ලෙස අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. උත්තරීතර අධිකරණය උපයා ගත් ගෞරවය සහ විශ්වාසය බිඳ වැටීමට ඉඩ දෙන්න එපා. මේ රටේ ස්වාධීන අධිකරණයක් ප්‍රාර්ථනා කරන සහ රටට ආදරය කරන අප හැම දෙනාගේම ඉල්ලීම එයයි. 

තව කරුණු කාරණා බොහෝ ඇතත් මේ කරුණු කිහිපය අප සඳහන් කළේ, රට යන අත ගැන දැඩි වේදනාවෙන් බව කිව යුතුයි. සීමිත සංඛ්‍යාවක සහභාගීත්වයෙන් විශේෂ අවසරයක් ලබා ගෙන මේ සම්මන්ත්‍රණය පැවැත් වූයේ මේ රටේ ජනතාවට අප විසින් මෙම කරුණු පැහැදිළි කර දිය යුතු නිසයි. අනාගතයේදී මුහුණදීමට සිදු විය හැකි විනාශයෙන් රටත්, ජනතාවත් බේරා ගැනීම සදහායි.

අප අතර විවිධ මත ගැටුම් තිබිය හැකියි. නමුත් මේ ගිනි ගෙන දැවෙන රට එම ගින්නෙන් මුදා ගැනීම අත්‍යවශයෙන්ම කළ යුතුව තිබෙනවා. ඊළග පරපුරට යහපත් රටක් උරුම කරදීම අප වෙත පැවරී ඇති දැවැන්තම වගකීම වී තිබෙනවා. ඒ සදහා අත්වැල් බැඳ ගනිමු. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙහිදී කරනුයේ ඒ සඳහා වන ජාතික එකඟත්වයක් වෙනුවෙන් කරන්නාවූ සම්බන්ධීකරණය යි.    
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment