තමා වෙත පැවරෙන ඕනෑම වගකීමක් සිහි බුද්ධියෙන් යුතුව මනාව ඉටු කිරීමේ අති දක්ෂයෙකු වූ ශ්‍රේෂ්ඨ නායකයෙකු මීට වසර තිහකට පෙර දැයෙන් සමු ගත්තේය. එඩිතර භාවය, සෘජු ගුණය, කාර්යශූරත්වය එක්තැන් කළ මෙම නායකයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම්වරයෙකු වූ වැවිලි කර්මාන්ත සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය පදවිය හෙබවූ ජෙනරාල් රන්ජන් විජේරත්න මහතාය.
අති ගරු ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ඥාතිවරයෙකු වූ රන්ජන් විජේරත්න මහතා ඡන්ද බලය නොතිබුණු යොවුන් සමයේම එක්සත් ජාතික පක්ෂයට එක් වූයේ දාහත් වන වියේදීය. එවකට වැල්ලවත්ත - ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසයේ වැල්ලවත්ත එක්සත් ජාතික පක්ෂ තරුණ සමිතියේ සාමාජිකත්වය ලබා ගත් රන්ජන් විජේරත්න මහතා පක්ෂයේ කටයුතුවලට උදව් උපකාර කරමින් දේශපාලනයේ නිරත වූයේ පාසල් අධ්‍යාපනය ලබන අතරතුරදීය.
රන්ජන් විජේරත්න මහතා උපත ලද්දේ මීට වසර අනූවකට පෙර 1931 වසරේ අප්‍රේල් මස 04 වෙනිදාය. වල්පොල මුදලිගේ ජෝර්ජ් හර්කිවුලිස් විජේරත්න සහ රොස්ලින් මරියා සේනානායක මහත්මිය යන දෙපළ දෙමාපියන් විය. මහනුවර ගුරුතලාව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය. පාසල් අධ්‍යාපනයෙන් සමු ගෙන වැවිලි කර්මාන්තයේ යෙදෙන්නට වූ රන්ජන් විජේරත්න මහතාගේ මුල්ම සේවා ස්ථානය වූයේ බලංගොඩ "ගෘප්" නම් වතු යායයි. එහි පාලකයන් වූ ඉංග්‍රීසි ජාතිකයන් ඇසුරේ සිය රැකියාව සිදු කළේ මනාව සැලසුම් සහගතව පුහුණුවක්ද ලබමිනි.
තේ වගාව සහ රබර් වගාව පිළිබඳව ඔහු විශාල දැනුමක් හිමි කර ගත්තේය. එහි කොතරම් දුරට නිපුණවූයේද යත් රන්ජන් විජේරත්න මහතා පසු කලෙක සමස්ත ලංකා වැවිලිකරුවන්ගේ මහා සංගමයේ සභාපති විය. විටින් විට ඔහු වැවිලි ක්ෂේත්රයේ විවිධ තනතුරු හොබ වන්නට තරම් දක්ෂතා දැක් වීය. ඒ අනුව කොළඹ තේ වෙළෙන්ඳන්ගේ සංගමයේ සභාපති, ලංකා වැවිලි ආයතනයේ උප සභාපති, ලංකා තේ ප්රචාරක මණ්ඩලයේ සහ තේ පර්යේෂණායතනයේ උපදේශක සේම අධ්‍යක්ෂක ආදී තනතුරු හෙබ වීය. රන්ජන් විජේරත්න මහතා තවත් රාජ්‍ය ආයතන රාශියක තනතුරු හොබ වමින් ඒවායේ ඇති කළ ප්‍රගතිය අති විශාලය.
1977 වසරේදී ඇරඹුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නියමයෙන් රන්ජන් විජේරත්න මහතා කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ සභාපති පදවියට පත් වූයේ 1978 වසරේදීය. පසුව කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් පදවියට ද පත් වූ මෙතුමා පසුව පැලවත්ත සීනි කර්මාන්ත සමාගමේ සභාපති ධූරයට පත්විය. ඊට පසුව රාජ්‍ය වැවිලි අමාත්‍යංශයේ ලේකම් ධූරය 1982 වසරේදී භාර ගත්තේය. මීට අමතරව තවත් විවිධ තනතුරු දැරූ රන්ජන් විජේරත්න මහතා රාජ්‍ය සේවයෙන් ඉවත් වී ක්‍රියාකාරී දේශපාලනයට එක් විය.
1989 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් මැති සබයට පිවිසුණි. ජනාධිපති ආර්.ප්‍රේමදාස රජයේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පදවිය හිමි වූයේ මෙතුමාටමය. 1987 වසරෙන් මෙරට ඇරඹුණු දකුණේ දේශපාලන භීෂණය හමුවේ දිවි පරදුවටම තබා එම භීෂණය මර්දනය කිරීමේ මහා මෙහෙයුම භාර ගත් මෙතුමා රට පුරා සංචාරය කරමින් හමුදාව එක් රැස් කර උපදෙස් ලබා දෙමින් ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්නට කටයුතු කළේ නිර්භීත පුද්ගලයෙකු ලෙසිනි.
දකුණේ දේශපාලනික භීෂණයත්, උතුරේ ත්‍රස්තවාදයත් යන දෙකොනම පත්තු වන විලක්කුවට මැදි වී රටත්, ජනතාවත් මරණයේ වේදනාවෙන් සහ බියෙන් පෙළෙන සමයක එම ඉරණමෙන් ජාතියම මුදවා ගන්නට ජනරාල් රන්ජන් විජේරත්න මහතා පෙරමුණ ගත්තේ දිවි පරදුවට තබමිනි.
මේ සියල්ල සමග ඔහුට පැවරී තිබුණ මහා භාර දූර කාර්යයක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරයයි. ඔහු සිරිකොත පක්ෂ මූලස්ථානයේ සියලු සේවක සේවිකාවන්ට අර්ථ සාධක වැටුප ලබා දීමට පියවර ගත් අතර, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ද පියවර ගත්තේය. ත්‍රස්තවාදින්ගෙන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ද ඔහුට විවිධ බාධකවලට මුහුණ දෙන්නට සිදු විය. ඔහු කිසි විටෙක කිසිම අයෙකුට බිය වූයේ නැත. දකුණේ භීෂණය මුලිනුපුටා දමා උතුරේ භීෂණය ද අවසන් කිරීමට පියවර ගත්තේ අසීමිත කැපවීමකිනි. ඔහුගේ දකුණේ ඉලක්කය සාර්ථක විය, දෙවැන්න උතුරයි.
මේ අතරතුරදී 1991 මාර්තු මස 02 වනදා ජනරාල් රන්ජන් විජේරත්න මහතා ත්‍රස්තවාදින්ගේ කුරිරු බෝම්බයකට මහා මඟ දී මුහුණ දී දිවියෙන් සමුගත්තේ මීට වසර තිහකට පෙරය. රටටත් දේශයටත් එක්සත් ජාතික පක්ෂයටත් මහා සවියක් වූ ජනරාල් රන්ජන් විජයරත්න මහතා දිවංගත වී වසර තිහක් සපිරෙන මේ මොහොතේ එතුමාගේ ගුණ සිහිපත් කිරීම කෘත ගුණ දන්නා සියලු දෙනාගේ යුතුකමකි.
1954 දෙසැම්බර් 10 වෙනි දින ඩෙලාන්ඩ් සූරිය බණ්ඩාර මෙනවිය සමග අතිනත ගත් මෙතුමාට සිටියේ එක් පුත් රුවනක් පමණි. එම මැතිණින්යගේ පුතණුවන් තනිකර දමා එතුමාගේ ජීවිතය බිලි ගැනීමට තරම් ත්රස්තවාදීන් කුරිරු විය. ශ්‍රී ලංකාදීපය තිබෙන තුරු මෙරට ජනතාවට රන්ජන් විජේරත්න යන නාමය සදා අමතක නොවෙනු ඇත. වීරවරයෝ ඝාතනය කළත් සදාකල් ජීවත් වනු ඇත.
Lanka Newsweek © 2024