Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


කොල්වින් ආර් ද සිල්වාට ජේ ආර් දුන්න සහතිකය


2021-03-01 14403

"ලංකාව-Ceylon" "ශ්‍රී ලංකාව" වූ හැටි

 

ජනපති පදවිය ඇති වුණේ මෙහෙමයි  

 

ආචාර්ය කොල්වින්ගේ අගය එදාට වඩා දැනෙන්නේ අදය

 

ජනරජ ආණ්ඩු ක්‍රමය සෑදූ ආචාර්ය කොල්වින්

 

 
(අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා) 

 

1988 පෙබරවාරි 27 වැනිදා දැයෙන් සමු ගත් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ 32 වැනි ගුණ සමරුව 2021.02.27 වැනිදාට යෙදී තිබෙන අතර මෙම විශේෂ ලිපිය ඒ වෙනුවෙනි.

 

ශ්‍රී ලංකාව නිදහස් රටක් බවට පත් වූයේ මීට වසර හැත්තෑ තුනකට පෙර 1948 පෙබරවාරි 04 වෙනිදාය. එතැන් සිට මෙරට පාලනය වූයේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය. එම ක්‍රමය යටතේ අපේ රට ආණ්ඩුකාරවරයෙකු මගින් එංගලන්තයට බැඳී සිටියේය. මේ බැඳීම වසර විසි හතරක් පවත්වා ගෙන ගියේ සෝල්බරි සාමි, සර් ඔලිවර් ගුණතිලක සහ විලියම් ගොපල්ලව යන ආණ්ඩුකාරවරුන්ගේ පාලන යුගය ඔස්සේය.

1970 දී පැවැති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හිමි වූයේ සමගි පෙරමුණටය. මෙම පෙරමුණ නිර්මාණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන දේශපාලන පක්ෂ එකට එකතු වීමෙනි. 1956 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂයට බලවත් පරාජයක් හිමි කර දුන් මෙම මහා මැතිවරණය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පැවැති හය වෙනි මහා මැතිවරණය විය. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති පදවියට පත් වූ අතර එම රජයේ අමාත්‍ය පදවි තුනක් ලංකා සම සමාජ පක්ෂයට හිමි විය. ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාට මුදල් ඇමති පදවියත්, ආචාර්ය කෙල්වින් ආර් ද සිල්වා මහතාට වැවිලි කර්මාන්ත සහආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමති පදවියත්, ලෙස්ලි ගුණවර්ධන මහතාට ගමනාගමන ඇමති පදවියත් හිමි විය.

ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාට හිමි වූ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා කටයුතු ඇමති පදවිය මගින් සිදු කිරීමට නියමිත වූයේ එතෙක් පැවැති සෝල්බරි ආණ්ඩු ක්‍රමය සංශෝධනය කර මෙරටට ගැලපෙන දේශීය ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීමය. ඔහු නිර්මාණය කළ ආණ්ඩු ක්‍රමය වූයේ ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් කරමින් බිහි කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ඒ හේතුවෙන් ආණ්ඩුකාර පදවිය අහෝසි වී ඒ වෙනුවට ජනපති පදවියක් නිර්මාණය විය. 

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව බුදු දහම රැක ගැනිමටත් පෝෂණය කිරීමටත් කැප වූ රාජ්‍යක් බවට පත් විය. එමෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් සුරකින රජයක් බවට ද පරිවර්තනව විය. සිංහල භාෂාවෙන් එතෙක් "ලංකාව" යනුවෙන් ද, ඉංග්‍රීසි භාෂාවෙන් "Ceylon" යනුවෙන් ද, හැඳින් වූ රට "ශ්‍රී ලංකාව" යනුවෙන් හැඳින්වීම ආරම්භ වූයේ කොල්වින් ආර් ද සිල්වාගේ මෙම ආණ්ඩු ක්‍රමය යටතේය. මේ අනුව 1972 මැයි 22 දින සිට ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් විය.

රටේ මේ සා විශාල යුග පරිවර්තනයක් සිදු කර, මීට වසර තිස් දෙකකට පෙර දැයෙන් සමුගත් පුරෝගාමී දේශපාලන නායකයා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරද අචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා උපත ලැබුවේ මීට වසර එකසිය දහ හතරකට පෙර, එනම් 1907 පෙබරවාරි මස 16 වෙනි දින ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගමදීය. ඒ බලපිටියේ විසූ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ වෛද්‍ය ඔබිනාමුණි අර්නෝලිස් ද සිල්වා මැතිතුමාගේ සහ පෙට්ටිගම් ජොසලින් ද සිල්වා මැතිනියගේ පුත් රුවනක් ලෙසය. 

මෙකල කොල්වින් ආර් ද සිල්වාගේ පියා සේවය කළේ බද්දේගම රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියා වශයෙන් වන අතර සිය පුත්‍රයා උපත ලැබීමෙන් පසු දෙමව්පියන් ඒ ළදරුවා බලපිටිය රන්දොඹේ පිහිටි සිය මහ ගෙදරට රැගෙන අවුත් රැක බලා ගත්තේය. මෙරට දේශපාලන වංශ කතාවේ කීර්තිමත් දේශපාලකයන් වූ ආචාර්ය සී.ඩබ්ලියු.ඩබ්ලියු කන්නන්ගර, ආචාර්ය ඒ.පී.ද සොයිසා, ශ්‍රීමත් සී.පී. ද සිල්වා යන අය උපත ලබා ජීවත්වූ බලපිටිය රන්දොඹේ ගම්වරය කොල්වින් ආර් ද සිල්වාගේ ද පීතෘ භූමිය විය.

අමරපුර චූලගණ්ඨි මහ නිකායේ මහා නායකව වැඩ විසූ පාලි භාෂා චක්‍ර වර්ති වැලිතර ඥානතිලක නා හිමිපාණන් වහන්සේ වෙතින් අත්පොත් තබා අධ්‍යාපන දිවියට මුල පිරූ කොල්වින් ආර් ද සිල්වා ද මූලික අධ්‍යාපනය ලැබුවේ, සී ඩබ්ලියු.ඩබ්ලියු කන්නන්ගර සහ ආචාර්ය ඒ පී ද සොයිසා යන නායකයන් දෙපළ ද කුඩා කළ මූලික අධ්‍යාපනය ලැබූ රන්දොඹේ වෙස්ලියානු පාසලෙන්ය.

වසර දෙකක් වැනි සුළු කාලයක් ගමේ එම පාසලෙන් ඉගෙනුම ලැබූ ඔහු වැඩි දුර අධ්‍යාපනය සඳහා දෙමව්පියන් විසින් ඇතුළත් කරනු ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයටය. මෙම විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ කොල්වින් ආර් ද සිල්වාගේ හිතවත්ම පාසල් මිතුරා වූයේ ඔහු සමග එකම පන්තියේ උගත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාය.

පාසල් අධ්‍යාපනය නිමා කර ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව උපාධියක් ලබා ගත් ඔහු 1926 වසරේදී එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට වැඩි දුර අධ්‍යාපනය සඳහා ඇතුළත් විය. එහිදී දර්ශන වාදය පිළිබඳව අචාර්ය උපාධිය ලබා ගත් අතර නීතිය පිළිබඳව ද හදාරන්නට විය. ඒ අනුව නීතිය පිළිබඳව ද විභාගයෙන් සමත්ව 1931 වසරේදී ආපසු සිය මව් බිමට සැපත් වූයේ උපාධිධරයෙකු, අචාර්යවරයෙකු, අධි නීතීඥවරයෙකු සහ ඉතිහාසය පිළිබඳ ගත් කතුවරයෙකු වශයෙන් ජීවිතයේ වැදගත් ස්ථාන රාශියක ජය මග සළකුණු කර ගත් උගතෙකු ලෙසය. එවිට ඔහුගේ වයස අවුරුදු විසි හතරකි. ඔහු එංගලන්තයේ දී සිය ආචාර්ය උපාධිය සඳහා ලියූ ග්‍රන්ථය සකස් වූයේ "බ්‍රිතාන්‍යන් යටතේ ලංකාව" යන මාතෘකාව යටතේය.

ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා නිදහස් සටනේ සෙන්පතියෙකු වූ රාජ නීතීඥ අහුන්ගල්ලේ එම්.ටී.ද.එස්. අමරසේකර මහතාගේ නීතීඥ මණ්ඩලයට බැඳුණේය. නීතීඥයෙකු වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා ද සේවය කළේ  එම්.ටී.ද.එස්. අමරසේකර මහතාගේ නීතීඥ මණ්ඩලයේ ය. සිය මෑණියගේ සොහොයුරාගේ දියණිය වූ සුවිනීතා ද සිල්වා මෙනවිය වන තම නෑණන්ඩිය සමග 1935 වසරේ දී කොල්වින් ආර් ද සිල්වා විවාහ දිවියට පිවිසෙන්නේ විසි අට හැවිරිදි තරුණයෙකු ලෙසය. මෙම වසරේදිම ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සිය දේශපාලන ජීවිතයට ද මුල් ගල තබමින් එන්.එම් පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ එඩ්මන්ඩ් ආදි වාමාංශික උගත් තරුණයන් සමග එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය පිහිටවා ගත්තේය. 

මෙම පක්ෂයේ ප්‍රථම සභාපති පදවිය කොල්වින් ආර් ද සිල්වාටම හිමි වෙන අතර ඔවුන් එතෙක් පවත්වා ගෙන පැමිණි සූරිය මල් ව්‍යාපාරය ජාතික දේශපාලනයේ වඩාත් සංවිධානාත්මක සහ ක්‍රියාකාරී කම්කරු පක්ෂයක් ලෙසට සම සමාජ පක්ෂය පත් කර ගන්නේ ලක්වැසි ජනතාවගේ අධිරාජ්‍ය විරෝධි අරගලය වඩාත් මුවහත් කර ගනිමිනි.

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රථම නායකයා වන විට කොල්වින් ආර් ද සිල්වාගේ වසය අවුරුදු විසි අටක් වූවා පමණි. මෙරට ඉංග්‍රීසි පාලකයන්ට ලංකා සම සමාජ පක්ෂය ඔවුන්ගේ පාලනය සුවසේ සහ රිසි සේ ගෙන යන්නට මහත් බාධාවක් විය. ඉංග්‍රීසි පාලකයන්ගේ මව්බිම වූ එංගලන්තයට ගොස් අධ්‍යාපනය ලබා මෙරටට අවුත් එන්.එම්-කොල්වින්-පිලිප්-වික්‍රමසිංහ ආදි නායකයන් ගෙන ගිය අරගල නිසා 1940 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ලංකා සම සමාජ පක්ෂය තහනම් කර කොල්වින් ආර් ද සිල්වා ඇතුළු පිරිස සිර ගත කරන්නට යෙදිනි. 

සිර ගෙදරින් පැන ගත් කොල්වින් ආර් ද සිල්වා ඇතුළු පිරිස ඉන්දියාවට පැන ගොස් එහි සැඟ වී සිටිමින් ඉන්දීය නිදහස් සටනට ද උර දෙන්නට විය. 1945 වසරේ ජූනි මසදී යළි සියලු චෝදනාවලින් නිදහස්ව එළියට පැමිණි කොල්වින් ආර් ද සිල්වා ඇතුළු පිරිස යළිත් වාමාංශික සම සමාජ දේශපාලනයේ යෙදිනි. මේ අතරතුර දී වමේ දේශපාලනයේ ඇති වූ න්‍යායාත්මක ගැටුමක් නිසා කොල්වින් ආර් ද සිල්වා සම සමාජ පක්ෂයෙන් ඉවත් වූයේ සිය අනුගාමිකයින් ද  සමගය. 

ඔවුන් සැම එකතුව පිහිටුවා ගත් නව දේශපාලන පක්ෂය වූයේ "බෝල්ෂේවික්-ලෙනින්" වාදී පක්ෂයයි. එම පක්ෂයේ ද නායකයා වූ කොල්වින් ආර් ද සිල්වා 1947 වසරේ දී පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා  මැතිවරණයට එම පක්ෂයෙන් වැල්ලවත්ත-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ඉදිරිපත්ව   ජය ගෙන මැති සබයට පිවිසිනි. 

ඒ අතර ඔහු නායකත්වය දැරූ "බෝල්ෂේවික්-ලෙනින්" වාදී පක්ෂයේ නියෝජිතවරුන් හතර දෙනෙකු ද සිය ඡන්ද කොට්ඨාශ ජය ගෙන මැති සබයට පිවිසීම නිසා කොල්වින් ආර් ද සිල්වා සමග එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙකු ප්‍රථම පාර්ලිමේන්තුව නියෝජනය කළේය. 1952 දී දෙහිවල-ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශයට තරඟ කළ කොල්වින් ආර් ද සිල්වා සිය මැතිවරණ සටන් ව්‍යාපාරයේ පළමු පරාජය සනිටුහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක එස්.ද.එස්.ජයසිංහ මහතාට පරාජය වෙමිනි. නමුත් ඊට වසර හතරකට පසුව1956 පැවැත් වූ මහා මැතිවරණයෙන් යළිත් දෙහිවල-ගල්කිස්ස දිනා මැති සබයට පැමිණි ඔහු විප්ලවවාදී සටන්කාමී දේශපාලකයෙකු ලෙස විපක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ යෙදිනි.

මේ වන විට ලංකා සම සමාජ පක්ෂයට යළි එකතු වී සිටි කොල්වින් ආර් ද සිල්වා මහතා 1960 පැවැති මහා මැතිවරණ දෙකින්ම ජය ලබා මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය. නමුත් 1965 වසරේ පැවැති මහා මැතිවරණයෙන් ඔහුට හිමි වූයේ පරාජයකි. එසේ පරාජය වී වසර තුනකට පසුව 1968 වසරේ පැවැති අතුරු මැතිවරණයකින් ජය ලබා නැවත මැති සබයට පිවිසුනි.

1970 මැයි මසදී පැවැති මහා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ ත්‍රිත්වයෙන් ගොඩ නැගෙන සමගි පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින් ජය ගෙන අගලවත්ත කොට්ඨාශයේ මන්ත්‍රීවරයා වශයෙන් මැති සබයට පිවිසි කොල්වින් ආර් ද සිල්වා සමගි පෙරමුණ රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විය.

තුනෙන් දෙකක රාජ්‍යය බලයක් හිමි වී තිබුණ මෙම රජය එතෙක් පැවැති සෝල්බරි ආණ්ඩු ක්‍රමය සංශෝධනය කොට නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කොට 1972 වසරේ මැයි 22 වන දින ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් කර එතෙක් තිබූ ආණ්ඩුකාර පදවිය අහෝසි කරමින් එම පදවිය ජනාධිපති පදවියකට පරිවර්තනය කළේ මෙරටට ජනාධිපති පදවිය මුල් වරට හඳුන්වා දෙමිනි. 

මෙම නව ව්‍යවස්ථාවලියේ සම්පාදකවරයා වූයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය. වාමාංශික නායකයෙකු වුවත් ඔහු බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමේ වහකීම, බලය සහ කාර්යභාරය ව්‍යාවස්ථාව මගින්ම තහවුරු කරමින් ඊට අදාළ වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළේය. බුදු දහමට තිබූ පිළි ගැනීම, ගෞරවය, සැලකිල්ල සහ තත්ත්වය ලන්දේසීන් විසින් අහෝසි කරුනු ලැබීමෙන් වසර තුන් සියයකට පසුව ඒ සියලු වටිනාකම් නීතියක් බවට පත් කළේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා විසින්ය.

වැවිලි කර්මාන්ත ආමාත්‍යවරයා වශයෙන්ද සිය ඇමති පදවිය මාර්ගයෙන් වතු ක්ෂේත්‍රයේ දියුණුවට එතුමා පියවර ගත්තේය. 1970 සිට 1975 දක්වා සමගි පෙරමුණු රජයේ එම ඇමති පදවිය දැරූ කොල්වින් ආර් ද සිල්වා සිය වගකීම් නොපිරිහෙලා ඉටු කළේ කෘතහස්ත දේශපාලතයෙකු ලෙසිනි. 1975 වසරේදී රජය සමග ඇති වූ මත ගැටුමක් නිසා කොල්වින් ආර් ද සිල්වා අමතා සිරිමා බණ්ඩාරනායක මැතිණිය පැවසුවේ රජයෙන් ඉවත් නොවී සිට ඇමති පදවිය භාර ගෙන කටයුතු කරන ලෙසයි.

නමුත් ලංකා සම සමාජ පක්ෂයේ අතැම් මන්ත්‍රීවරුන් රජය සමග එක් වන විට කොල්වින් ආර් ද සිල්වා ඇතුළු සම සමාජ නායකයෝ රජයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත්හ. ඒ සමගම තුනෙන් දෙකක බලයක් තිබූ රජය සසළ වී ගියේය. 1976 වසරේදී කොමියුනිස්ට් පක්ෂය ද රජයෙන් ඉවත් විය. එම වසර අවසානයේ ජේ.ආර් ජයවර්ධන මහතා, එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා සහ එස් ඒ වික්‍රමසිංහ ආදින් සමග එකතුව රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේ රජය පරාජය කිරීමේ මං සළකුණු ඇතිවය. ඊට බිය වී රජය විශ්වාස භංගයට මුහුණ නොදී මැති සබය විසුරුවා හැරියේ වෙන කළ යුතු කිසිවක් නොමැති නිසාය.

1977 ජූලි මහා මැතිවැණයේදී කොල්වින් ආර් ද සිල්වා ඇතුළු සියලුම වාමාංශික අපේක්ෂකයෝ මැති සබයට පැමිණීම වැළකුණේ සියලුම මන්ත්‍රී ආසන පරාජයවීම නිසාය. මැති සබයට නොපැමිණියත් කොල්වින් ආර් ද සිල්වාගේ කට නොවැසුණේය. ඔහු 1982 ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජේ.ආර්. ජයවර්ධන මහතා සමග තරඟ කළේය. මෙම ජනාධිපතිවරණ වේදිකාවේ දී වරක ජේ.ආර්.ජයවර්ධන මහතා මෙසේ පැවසීය, "මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින මට විරුද්ධ අපේක්ෂකයන් අතරින් ජනාධිපති පදවියට සුදුසු අය සිටින්නේ එක් අයෙකු පමණයි. ඔහු කොල්වින් ආර් ද සිග්වා" ජනාධිපතිවරණයෙන් පැරදුණු කොල්වින් ආර් ද සිල්වා පැවසුවේ ඒකාධිපති ජනාධිපති වියරුව පරාජය කළ යුතු බවයි.

1989 වසරේ දී කොල්වින් ආර් ද සිල්වා මැති සබයට නම් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසය. නමුත් ඔහුට මැති සබයට පැමිණීමට නොහැකි විය. ඊට පෙර 1988 පෙබරවාරි 27 වෙනිදා ඔහු දැයෙන් සමු ගන්නේ සිය දිවි මගේ අසූ දෙවන වියට පිවිසෙද්දීය. කොල්වින් ආර් ද සිල්වාගේ අභාවයෙන් පසු දේශපාලනයේ හිස් වූ හිඩැස පිරවීමට වසර තිස් දෙකක් ගිය ද සුදුස්සකු තවමත් පැමිණ නැත. එවැනි සේයාවක් ද දේශපාලන පොර පිටියේ දක්නට නැත. මැතිදුනි ඔබට නිවන් සුව...!

Advertiesment