Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රනිල්ට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන වජිර හෙළි කරයි 


2021-02-24 6324

ශ්‍රී ලංකාවේ දියුණුව ජාත්‍යන්තරය ඉවසන්නේ නැහැ

 

එජාපයයි-රනිල්වයි පරදන්නේ ඒ නිසයි 

 

කිසිම ආණ්ඩුවකට අවුරුදු 15ක් එක දිගට රට කරන්න ඉඩ දෙන්නේ නැහැ 

 

රට මෙහෙය වන්නේ ජාත්‍යන්තරයයි 

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පහර දෙන්නේ ඔහු බලයට පත් වුණොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත්ම රට බවට පත් කරන නිසා යැයි ද, එම නිසා එම ජාතික සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා රැක ගැනීම සඳහා රටට ආදරය කරන සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි ද එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම මෙහෙය වන්නේ ජාත්‍යන්තරය යැයි ද, එහි ප්‍රතිඵලයක් ලෙස කිසිඳු ආණ්ඩුවකට වසර 15 ක් අඛණ්ඩව රට පාලනය කිරීමට නොහැකී වී තිබෙන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සහ බෙන්තර ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම් අමතමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද දෙලක්ෂ පනස් දහසක් පමණ ලබා ගෙන තිබෙනවා. මේ තත්ත්වය හමුවේ ඇතැම් අය සිතනවා එක්සත් ජාතික පක්ෂය කඩා වැටිලා කියා. නමුත් අපේ පක්ෂය එහෙම කඩා වැටී නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ එවැනි ඡනද ප්‍රමාණයක් ලබා ගෙන මේ රටේ ආණ්ඩු පිහිටුවීමටත්, ආණ්ඩු පෙරළා දැමීමටත් කටයුතු කරනවා. ඒ අනුව මෙම ඡන්ද දෙලක්ෂ පනස් දහස විශාල ශක්තියක් බව කිව යුතුයි.

මහා මැතිවරණයෙන් පසුව සිය අඩු පාඩු නිවැරදි කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සිය ජයග්‍රහණය සඳහා නව ගමනක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහිදී ඔබේ දිස්ත්‍රික්කය වන ගාල්ල දිස්ත්‍රික්කයේද සුවිශේෂි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. 2021 පෙබරවාරි  28 වැනිදා වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ බල මණ්ඩල 10 ම කැඳවා අවසන් කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

මහා මැතිවරණයට පෙර මම ප්‍රසිද්ධ සමීක්ෂණ ආයතනයක් මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ සමීක්ෂණයක් කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට පරාජයක් අත් වන බව එම ආයතනය ප්‍රකාශ කළා. "අලියා" ලකුණින් ඒ ඡන්දයට ඉදිරිපත් නොවන ලෙසත් ඔවුන් මගෙන් ඉල්ලා සිටියා. නමුත් මම මගේ පක්ෂය පාවා දී වෙනත් කණ්ඩායම් සමඟ එකතු වුණේ නැහැ. ඒ වගේම තමයි අද මෙතැන සිටින ඔබත්..ඔබ කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂය හැර ගියේ නැහැ. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වෙනත් බලවේගවලට සහය දුන්නේ නැහැ. ඒ වාතාවරණය අපට ලොකු ශක්තියක් බව කිව යුතුයි.

වෙනත් දේශපාලන පක්ෂ සහ හා බලවේග සමඟ ගියා නම් මන්ත්‍රී ධූරයක් මට ලබා ගන්න තිබුණා. නමුත් ඒ සියල්ලටම වඩා මට වටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. ගාලු දිස්ත්‍රික්කයේ ආදරණීය පාක්ෂික ඔබයි. මහා මැතිවරණ සමයේ සහ ඊට පෙර සිට අපේ පක්ෂයේ ඇතැම් අය ප්‍රකාශ කළේ වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය හැර යන බවයි. ඔවුන් ඒ කළ නරක වැරද්දේ ප්‍රතිඵල අපි හැමෝටම අද භුක්ති විදීමට සිදු වී තිබෙනවා.

මේ ආකාරයට කොපමණ අභියෝග එල්ල වුණත් මුළු ශ්‍රී ලංකාවෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා දීමට අපට හැකි වුණා. එක්සත් ජාතික පක්ෂය යම් පසු බැසීමක් වුණා නම් ඒ අවස්ථාවේ පක්ෂය ඔසවා තැබුවේ ඔබයි. ගාල්ල නියෝජනය කළ සී.ඩබිලිව්.ඩබිලිව්. කන්නන්ගර මැතිතුමා රටට නිදහස් අධ්‍යාපනය ලබා දුන්නත් ජනතාව ඔහුට ගෙදර යන ලෙස ඡන්දයෙන් පිළිතුරු දුන් නිසා ඔහුට එදා ගාල්ල අත හැර කළුතරට යෑමට සිදු වුණා. එවැනි වැරදි නිසා නිදහසින් පසු වසර 73 ක් ගත වන තෙක් ජාතියක් ලෙස නැඟිටීමට අපට නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඔබත් මමත් අපි හැමෝම කල්පනාවෙන් වැඩ කළ යුතුයි.

1946 දී ශ්‍රී ලංකාව එංගලන්තයට ණය ලබා දුන් බව අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සති අන්ත පුවත්පතකට දීර්ඝ ලිපියක් ලියමින් සඳහන් කර තිබෙනවා. එලෙස එදා එංගලන්තයට ණය දුන් අපේ රට අද ණය ඉල්ලමින් ලෝකය වටේ හිඟමනේ යනවා. මේ අනුව වසර 73 ක් මහා ජනතාව ගත් වැරදි තීන්දු තීරණ නිසා ඒවායේ ප්‍රතිඵල ජනතාවටම භුක්ති විදීමට සිදුව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඉතිහාසයේ හැම විටම මේ රට දියුණු කිරීම සඳහා ක්‍රියා කළා. නමුත් කාලයෙන් කාලයට විවිධ හේතූන් මත මහා ජනතාව ගන්නා වැරදි තීන්දු නිසා ඒ ගමන සාර්ථකව නිම කිරීමට නොහැකි වී තිබෙනවා. දකුණු ආසියාවේ කිසිදු රටක කිසිදු දේශපාලන පක්ෂයකට නොමැති දක්ෂ නායකයෙක් එක්සත් ජාතික පත්ෂයට සිටිනවා. එතුමාගේ වටිනාකම නොදත් අය එතුමාට නොයෙක් චෝදනා එල්ල කරනවා. නමුත් ඒ කිසිදු පුද්ගලයෙකුට හෝ බලවේගයකට සත්‍ය පරාජය කළ නොහැකියි.

දවසක් මම රූපවාහිණි නාලිකාවක වැඩ සටහනකට සහභාගි වූ අවස්ථාවේ, රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඒ නිවේදක මහතා ප්‍රශ්න කළා. පක්ෂ නායකත්වය අත නොහැර අල්ලා ගෙන සිටින රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් සිටිනවා ඔබ දැක තිබෙනවාදැයි ඔහු මගෙන් විමසා සිටියා. ලෝකයේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිටින බව මා ඔහුට සිහිපත් කළා. 

එතුමියගේ ප්‍රජා අයිතිය නැති කළාම එතුමිය මුහුණු අවරණයක් පැළඳ ගෙන වේදිකාවේ අසුන් ගෙන සිටියා. නමුත් ඇයට කතා කිරීම තහනම්. එහෙත් එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවයි. ඇයව එළවා දැමීමට එම පක්ෂයේ කවුරුත් බලහත්කාරකම් කළේ නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ප්‍රසිද්ධියේ ක්‍රියා කළේ පිට අය නෙවෙයි. එතුමියගේම දුවයි පුතයි. කෙසේ හෝ ඇය වසර පනහක්  පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළා. 

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වසර පනහක් පක්ෂ නායකත්වයේ සිටියේ නැහැ. ඒ වගේම අප මේ පක්ෂයේ සිටින තුරු එතුමා එළවීමට කිසිඳු බලවේගයකට හැකි වන්නේ නැහැ. දේශීය අයටත්, ජාත්‍යන්තරයටත් උවමනා වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් එළවා දැමීමටයි. එතුමාගේ දේශපාලනය අවසන් කිරීමටයි. 

ඒ මන්ද රට සහ ලෝකය ගැන දැක්මක් සේම හසල පළපුරුද්දක් ඇති කිසිවෙකුට යට නොවන නායකයෙකු රට පාලනය කිරීම ජාත්‍යන්තරයට විශාල අභියෝගයක් වෙනවා. ඒ නිසාම යහ පාලන ආණ්ඩුව කෙසේ හෝ පෙරළා දැමිය යුතු බවට ජාත්‍යන්තරය තීරණය කළා. ඒ අනුව ඊට අවශ්‍ය සටන් පාඨ නිර්මාණය කළා. විවිධ සංවිධාන හරහා ඊට අවශ්‍ය කරන වැඩ පිළිවෙළ ඔවුන් සූක්ෂමව ක්‍රියාත්මක කළා.

මේ ජාත්‍යන්තර උපාය උපක්‍රම සහ කුමන්ත්‍රණ  එදා සිටම ක්‍රියාත්මක වුණා. එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වුණා. ඊට සම්බන්ධ කිසිවෙක් ඇල්ලුවේ නැහැ. ගමේ ගොඩේ සිදු කරන මිනි මැරුම් අල්ලනවා. නමුත් ජාත්‍යන්තර මට්ටමේ සිදු කරන එකම මිනී මැරුමකටවත් සම්බන්ධ අය ඇල්ලිය නොහැකියි.

රනිල් වික්‍රමසිංහ මහතා යහ පාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, සංචාරකයින්ට සිය සංචාරක කටයුතු සඳහා යෝග්‍යම රට ශ්‍රී ලංකාව බවට ජාත්‍යන්තරය නිවේදනය කළා. ඒ ප්‍රකාශය සිදු කරනවාත් සමඟම පාස්කු බොම්බ ප්‍රහාරය එල්ල කළා. ලොව රටවල් අතර ප්‍රධානතම තැනක් ගන්නා පොහොර නිධිය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව කිව යුතුයි.  එම පොහොර නිධිය එප්පාවල සිට ත්‍රිකුණාමළය දක්වා කිලෝ මීටර් ගණනාවක් ඈතට විහිදෙනවා. නමුත් එම නිධිය ගොඩ ගන්න ඉඩ දෙන්නේ නැහැ. සී.වී. ගුණරත්න ඇමතිතුමා එම පොහොර නිධිය ගොඩ ගන්න උත්සහ කළා. ඒ ඇමෙරිකානු සමාගමක් සමඟයි. 

මේ සම්බන්ධව දිනක්  පාර්ලිමෙන්තුවේදි මට කතාවක් කිරීමට  අවස්ථාව උදා වුණා. එහිදී මම විමසා සිටියේ, වඩාත් හොඳ පරන්ගි ජාතීන් ශ්‍රී ලංකාවට පැමිණීම ද, එසේත් නැති නම් එප්පාවල පෙහොර නිධිය ගොඩ දැමීම ද කියායි. යම් අයෙකු මගෙන් ප්‍රශ්න කළොත් මම කියන්නේ,  පොහොර නිධිය ගොඩ ගැනීම පරංගීන් ශ්‍රී ලංකාවට පැමිණීමට වඩා භයානක බවයි. මේ ගැන හරියට නොදැන කටයුතු කරන්න ගියොත් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වනු ඇති බව එදා මම ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සිදු කර දින කිහිපයක් යන විට සී.වී. ගුණරත්න මහතා මහ මඟ ඝාතනය වුණා.

ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් සහ අවබෝධයෙන් යුතුව අප කටයුතු කළ යුතුයි. එම රටවල සහයෝගය ලබා ගෙන ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා පියවරෙන් පියවර සිතිය යුතුයි. එහෙම නොමැතිව ඉන්දියාව, මාලදිවයින හෝ වෙනත් රටවලට දොස් කියලා එම රටවල් තරහා කර ගෙන ශ්‍රී ලංකාව දියුණු කරන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස නිසි අවබෝධයකින් යුක්තව ජාත්‍යන්තරය සමඟ සබඳතා ගොඩනගා ගනිමින් බොහෝ රටවල සහයෝගය අපේ රට වෙනුවෙන් ලබා ගත් බව කිව යුතුයි. ඒ නිසා නැව් නොපැමිණි හම්බන්තොට වරායට නැව් පැමිණීම ආරම්භ වුණා. ගුවන් යානා නොපැමිණි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා පැමිණීම ආරම්භ වුණා.

එක්සත් ජාතික පක්ෂය රටේ ජාතික සම්පත් විකුණුව බවට ඇතැම් අය චෝදනා කරනවා. එක්සත් ජාතික පක්ෂය කිසිදු ජාතික සම්පතක් විකුණලා නැහැ. අපේ පක්ෂය එලෙස ජාතික සම්පත් විකුණන පක්ෂයක් නොවෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැම විටම විධිමත් ජාත්‍යන්තර සබඳතා ඔස්සේ ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගෙන මහවැලි ව්‍යාපාරය වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති රටට ලබා දුන්නා. ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී මැද පිළිවෙතක සිට අප කටයුතු නොකළොත් දරුණු ප්‍රතිවිපාකවලට රටක් වශයෙන් අපට මුහුණපෑමට සිදු වෙනවා.

ඒ නිසා දේශපාලන නායකයෝ නිසි අවබෝධයකින් යුතුව තීන්දු තීරණ ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය එලෙස කටයුතු කළ නිසා ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල ගණන් අඩු කර විශාල වැටුප් වැඩි කීරීමක් සිදු කිරීමට හැකි වුණා. ඒ අතර ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ද හැකි වුණා.

එක්සත් ජාතික පක්ෂය දේශීය ව්‍යාපාරිකයින්ට තැනක් ලබා නොදෙන බවට අසත්‍ය චෝදනා එල්ල කරනවා. නමුත් 1970 සිට 1977 දක්වා රටේ පාලනය ගෙන ගිය මේ අය ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාර පවත්වා ගෙන ගිය උපාලි විජේවර්ධනලා වැනි දේශීය ව්‍යාපාරිකයින් විනාශ කළා. බස් කොම්පැණි නැත්තටම නැති කළා. මෙලෙස විනාශ කළ අය අපට චෝදනා කරමින් ජනතාව මුලා කරන්න උත්සහ ගන්නවා. මේ බොරුව පරාජය කරමින් ජනතාවට සත්‍ය අවබෝධ කර දිය යුතුයි.

පාලකයින්ගේ දුර්වලතා නිසා අද මේ රට මහා ව්‍යසනයකට තල්ලු වී තිබෙනවා. ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයකට ඔවුන්ගේ ආදායම් මාර්ග කඩා වැටිලා. එදා තුන් වේල කාලා ජීවත් වූ අය අද එක වේලක්වත් සොයා ගත නොහැකි තත්ත්වයට පත් වෙලා. ඇතැම් අය ප්‍රකාශ කරන්නේ කොරෝනා නිසා රට මෙවැනි අර්බුධයකට මුහුණ පෑ  බවයි. නමුත් මේ තත්ත්වය ඇති වුණේ කොරෝනා නිසා නොවෙයි.

කොරෝනා නිසා ලොව බොහෝ රටවල්  ගොඩ යනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් ගොඩ ගියා. දෙවන ලෝක යුද්ධයෙන් පසු රටේ මුදල් ඇමති ලෙස ජේ.ආර්. ජයවර්ධන මැතුතුමා රට ගොඩ දැමුවා. කොරෝනා ව්‍යසනයෙන් පසු ලෝකයේ බොහෝ රටවල අලුත් නීති සම්පාදනය කර ගෙන තිබෙනවා. නමුත් අවාසනාවකට වගේ ශ්‍රී ලංකාවේ එකම නීතියක්වත් සම්පාදනය කර නැහැ. 

මෙවැනි තත්ත්වයක් මත මේ රට බරපතළ ඛේදවාචකයකට තල්ලුවීම වැළැක්විය නොහැකියි. මෙහෙම ගියොත් තව වසරක් ගත වන විට ශ්‍රී ලංකාවේ ජනතාව මැටි අනලා ආහාරයට ගන්න තත්ත්වයට පත් වෙනවා. රට මෙවැනි තත්ත්වයකට පත් වුණේ බොරුවෙන් රටේ පාලනය ලබා ගත් නිසයි. මේ අයට රට දියුණු කරන්න සහ ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කරන්න දැක්මක් නැහැ. මේ අයට කළ හැකි එකම දේ ජාති වාදය අවුස්සා බොරුව පතුරුවා ජනතාව මුලා කිරීම පමණයි.

මෙවැනි පසුබිමක් මත එක කල්ලියකට මේ තත්ත්වයට මුහුණ දිය නොහැකියි. මේ තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා අපෙන් කැඩී ගිය සියලු දෙනා කොන්දේසි විරහිතව නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක් විය යුතුයි. එලෙස එක් වනවා නම් වෙනදා වගේම ඔවුන් පිළි ගැනීමට අප සුදානම් බව කිව යුතුයි. 

ගෙවුණු වකවානුවේ අපේ පාක්ෂිකයන් බොහෝ දෙනෙක් අපෙන් ඉවත් වුණා. කල්ලිය එක්ක එකතු වුණා. කල්ලිය සමඟ එක් වීමට ප්‍රධානතම හේතුව වුණේ එක්සත් ජාතික පක්ෂයත් සිරිකොතත් ඔවුන් වෙත ලබා ගන්නවා යැයි ඔවුන් ගෙන ගිය ප්‍රචාරය නිසයි. නමුත් මේ අය සිටින්නේ ඩයනා ගමගේට අයිති  පක්ෂයේ කියා ඒ පාක්ෂිකයින් අවබෝධ කර ගෙන නැවත සිය මහ ගෙදරට පැමිණීම ආරම්භ කර තිබෙනවා.

2015 අපේ ආණ්ඩුවට කටයුතු කර ගෙන යාමට සිදු වුණේ අප පත් කළ වෙනත් පක්ෂයක ජනාධිපතිවරයෙකු සමඟයි. රනිල් වික්‍රමසිංහ මහතා උපායශීලිව කටයුතු කර ඒ ජනාධීපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයා යටතට පත්කර ගැනීමට ක්‍රියා කළා. නමුත් ජනාධිපතිවරයාගෙන් දිගින් දිගටම අපේ ආණ්ඩුවට බලපෑම් එල්ල වුණා. 

දින 53 ක් අගමැති ධූරය පැහැර ගත්තා. ඒ අවස්ථාවේදී ඡන්දයකට යමු යැයි අපෙන් එළියට ගිය කණ්ඩායම යෝජනා කළා. කෙසේ හෝ නැවත ආණ්ඩුව ලබා ගෙන අප ඉදිරියට යන විට පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. ඉන් අනතුරුව එළඹී ජනාධීපතිවරණයට සියලු පක්ෂ එකතු කර ගෙන යෑමට අප උත්සහ කළත් අපේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළා. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වීමෙන් කටයුතු කළත් ඔහු පරාජයට පත් වුණා.

නමුත් ඒ වන විටත් අපේ අගමැතිවරයෙකු සහ අපේ ආණ්ඩුවක් පැවතුණා. එහි ඇමතිකම් හෝ අගමැතිකම වෙනස් කිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ සලසා තිබුණේ නැහැ. අවාසනාවකට වගේ අපේම කිහිප දෙනෙකු ඇමති ධූරවලින් ඉල්ලා අස් වන බවට ජනාධීපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. ඒ තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ මහතාට තව දුරටත් ආණ්ඩුව ආරක්ෂා කරමින් රටේ තරුණ තරුණියන්ට ලබා දීමට සූදානම් කර තිබූ රැකියා ලබා දීමටවත් අනෙකුත් රට වැසියාගේ බලාපොරොත්තු ඉටු කර දීමටවත් අවස්ථාව ලැබුණේ නැහැ. 

රට දියුණු කර යහපත් අනාගතයක් ගොඩනගා දිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ පාලනයකට පමණයි. ඒ අභිලාෂයන් ඉටු කර දීම සඳහා සියලු වාද භේද පසෙකලා පක්ෂය සමඟ නැවත එක් වන ලෙස පක්ෂය හැර ගිය සියලු දෙනාට කොන්දේසි විරහිතව පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මම ආරාධනා කර සිටිනවා.

මෙම බල මණ්ඩල රැස්වීම අමතා හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න සහ දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අසෝක ධනවංශ යන මහත්වරුන් ද අදහස් දැක්වූ අතර එම අවස්ථාවට හිනිදුම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක සහ බද්දේගම ප්‍රධාන සංවිධායක ලීලානන්ද ඩයස් යන මහත්වරුන් ප්‍රමුඛ ක්‍රියාකාරීහූ රැසක් සහභාගී වී සිටියහ. 
 

Advertiesment