Monday 10th of May 2021

English Tamil
Advertiesment


රාජ්‍ය සේවයේ හමුදාකරණයට එරෙහිව රාජ්‍ය පරිපාලන නියමුවන් පෙරට 


2021-02-22 6272

හමුදාකරණයෙන් රටේ යහ පැවැත්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම දෙදරලා 

 

හමුදාකරණයට එරෙහිව සියලු දෙනා එකට එක් විය යුතුයි 

 

"රාජ්‍ය සේවයේ හමුදාකරණය ගැන ජන සමාජය කනස්සල්ලෙන්" -කරූ-

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

රාජ්‍ය සේවය හමුදාකරණය කිරීම හේතුවෙන් රටේ යහ පැවැත්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී පදනම දෙදරා යමින් තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කර සිටිති.

මෙම හමුදාකරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සැලසුම් සහගතව එල්ල කරන මැර ප්‍රහාරයක් විය හැකි නිසා රටේ දේශපාලන බලවේග පමණක් නොව රාජ්‍ය සේවයට අයත් සියලු අංශ සහ සිවිල් සමාජ කණ්ඩායම් එකට ඒකාබද්ධ වී ඊට එරෙහිව දැඩි විරෝධයක් පළ කළ යුතුව බව ද ඔවුහූ තරයේ කියා සිටිති. 

රාජ්‍ය සේවා කොමිසමේ හිටපු සභාපති ඩී.දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ, සිමා නිර්ණය කොමිෂන් සභාවේ හිටපු සභාපති අශෝක පිරීස්, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සභාපති උදේනි දිසානායක සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ බව කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (19) සංවිධානය කෙරුණු සාකච්ඡා සභාවට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය අද වන විට මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මෙම සාකච්ඡා සභාවේ දී මතු කෙරුණු කරුණු කාරණා සහ එහිදී ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් කරනු පැහැදිළි කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණියකුමාර මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.  
 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය අද වන විට මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව සිදු කරන ලද සාකච්ඡා සභාවක් 2021.02.19 වැනිදා කොළඹ "ජානකී" හෝටලයේ දී පැවැත්විණ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කෙරුණු මෙම සාකච්ඡා සභාවට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇතුළු වෘත්තීය සමිති නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ඒ ඒ යුගයන්හී දී දේශපාලනීකරණයට ලක්වීම හේතුවෙන් බිඳ වැටීමට ලක් වුණ සිවිල් සේවයේ ජීව ගුණය සහ කාර්යක්‍ෂමතාවය පිළිබඳව වගේම අද වන විට දේශපාලන බල අවශ්‍යතා මත සිවිල් සේවය හමුදාකරණයට ලක් වෙමින් පැවැතීමේ අනතුර පිළිබදව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය. 

එමෙන්ම අවංකව සහ නියමානුකූල ලෙස රාජකාරී කර ගෙන යාමේදී රාජ්‍ය සේවකයන්ට මුහුණදීමට සිදු වන අභියෝග පිළිබව ද එහිදී අවධානයක් යොමු විය. විශේෂයෙන්ම දේශපාලකයන්ගෙන් සහ ඔවුන්ගේ සමීපතමයන්ගෙන් රාජ්‍ය සේවකයන් වෙත එල්ල වන නීති විරෝධී බලපෑම් සහ තර්ජන හමුවේ  මේ වන විට එල්ල සමස්ත රාජ්‍ය සේවයම භීතියට සේම මුළුගැන්වීමකට පවත්ව ඇති බව මෙහිදී පෙන්වා දුන් වෘත්තීය සමිති නායකයෝ මේ තත්ත්වය මත  සමස්ත රාජ්‍ය සේවයම බරපතළ අනතුරකට මුහුණ දී ඇති බවද අවධාරණය කළහ.

මෙම සාකච්ඡා සභාවේ මූලාසන මණ්ඩලයේ සභාපතිත්වය දරමින් කටයුතු කළ හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා අදහස් දක්වමින් සදහන් කළේ, රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස හමුදා සේවය එක් කිරීම මගින් මතුව ඇති සමාජ කනස්සල්ල පිළිබදව රජය බලවත් ලෙස අවධානයක් යොමු කළ යුතුව ඇති බවය.

සිවිල් සේවය වගේම හමුදා සේවය ද අයත් වන්නේ රාජ්‍ය සේවයට වුව ද, සිවිල් සේවා සඳහා හමුදා නිලධාරීන් යෙද වීම හෝ හමුදා සේවය සදහා සිවිල් නිලධාරීන් යෙද වීම කිසිසේත්ම නොකළ යුතු කටයුත්තක් බව ද ඔහු පෙන්වා දුන්නේය. 

සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ තමා හමුදා නිලධාරියෙකු වශයෙන් ද, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් දෙවරක් ද සේවය කළ කාලයේ දී මේ දෙපාර්ශවයේ ඒකාබද්ධ ශක්තිය යොදා ගෙන ජනතාවට විශාල සේවාවක් කළ හැකි බව වටහා ගත් බවය. 

රටේ උද්ගත වී තිබෙන මෙම තත්ත්වය රටේ යහ පැවැත්මට සේම  දශක ගණනාවක් තිස්සේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ පෝෂණය වෙමින් පැවැති ප්‍රජාතන්ත්‍රවාදී පදනමට බරපතළ අනතුරක් බව පෙන්වා දුන් සිවිල් සේවයේ හිටපු ශ්‍රේෂ්ඨතම නිලධාරීන් ගණනාවක්ම එහිදී අවධාරණය කළේ රටේ සමස්ත දේශපාලන නායකත්වයම මේ පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කළ යුතුව ඇති බවය.

මෙම අභියෝගය රාජ්‍ය නිලධාරීන්ට පමණක් බලපාන හුදකලා ප්‍රශ්නයක් නොවන බව එහිදී අවධාරණය කළ වෘත්තීය සමිති නායකයන් රැසක්ම දැඩි ලෙස කියා සිටියේ මෙම හමුදාකරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සැලසුම් සහගතව එල්ල කරන මැර ප්‍රහාරයක් විය හැකි නිසා රටේ දේශපාලන බලවේග පමණක් නොව රාජ්‍ය සේවයට අයත් සියලු අංශ සහ සිවිල් සමාජ කණ්ඩායම් ඒකාබද්ධ වී මෙම අනතුරට එරෙහිව දැඩි විරෝධයක් පළ කළ යුතුව ඇති බවය.

රාජ්‍ය සේවා කොමිසමේ හිටපු සභාපති ඩී.දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ, සිමා නිර්ණය කොමිෂන් සභාවේ හිටපු සභාපති අශෝක පිරීස්, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ සභාපති උදේනි දිසානායක සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද, වෘත්තීය සිමිති නායකයින් ද, දේශපාලන පක්‍ෂ නායකයින් සේම සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 

Advertiesment