Saturday 8th of May 2021

English Tamil
Advertiesment


රට බංකොළොත් වෙමින් යන හැටි මෙන්න..! 


2021-02-22 1725

ගෙවුණු දවස් 19 ට රුපියල් බිලියන 48ක් අච්චු ගහලා

 

ඩොලර් බිලියන 7.2 ක සංචිත ඩොලර් බිලියන 4.5 ට අඩු වෙලා

 

දවසකට රුපියල් බිලියන 4 ක මුදල් අච්චු ගසමින් රට ගෙන යන්න පුළුවන් ද..?

 

සෞභාග්‍යයේ මාවතින් සිම්බාබ්වේ මාවතට

 

 
(පාඨලී චම්පික රණවක)

 

2020 නොවැම්බර් මාසයේ දී භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී ණය ලබා දෙන අය මෙවර අපට සිටියේ 45% ක් පමණි. නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියහ. මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චු ගැසීමට භාණ්ඩාගාරයට සිදු විය. මුදල් අච්චු ගැසීම එතරම් හොඳ තත්ත්වයක් නොවේ. අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.

වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චු ගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මේ තත්ත්වය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව සෙනසුරාදා (20) නිකුත් වූ පසුව 2021 පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 ඇතුළත කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා  තිබේද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා මම ශ්‍රී මහා බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි. මෙම ගෙවුණු දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක මුදල් අච්චු ගසා ඇති බව ඒ අනුව පහැදිළි විය. බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගසමින් සිටියි. 

මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.

2021 ජනවාරි 19 වන දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු දේශීය සහ විදේශීය බැංකු) ඩොලර් මිලියන 200 ක් ලබා ගැනීමට ගිය ද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණි.  නමුත් එදා ශ්‍රී ලංකාවට ණය ලබා දීමට තරඟයක් පැවතිණ. එසේ නම් මේ වන විට සිදුව තිබෙන්නේ කුමක්ද.?

මේ හේතුවෙන් අපේ සංචිතවලින් අදාළ ගෙවීම් සිදු කිරීමට අපට සිදු වුණා. මතක තියා ගන්න, යහ පාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා 2019 නොවැම්බර් 16 දින වන විට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්න වශයෙන් 0.5 ක් රත්‍රන්ය. රත්‍රන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මීට ඉහත සංචිතවල තිබුණි. එම රත්‍රන් තොගය අපට අහිමි කළේ අජිත් නිවාඩ් කබ්රාල් සහ මහින්ද රාජපක්ෂය.

අප සතු මේ බිලියන 4.5 ක් වූ සංචිතය කොපමණ ප්‍රමාණවත් ද..? මේ වසරේ පමණක් බිලියන 6.5 ක් ණය ගෙවීමට තිබේ. (ආනයන අපනයන පැත්ත හැර) මේ හේතුවෙන් රට ඉතාමත් අසීරු තත්ත්වයකට අද මුහුණ දී සිටියි. ජාත්‍යන්තර ණය, මුල්‍ය සහ ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් අපේ රට ඉරාකය සහ ඇන්ගෝලාව වැනි රටවල්වල මට්ටමට දමා තිබේ. 

COVID-19 වසංගතයෙන් රටවල් ගලවා ගැනීමට IMF, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ලෝකයේ සෑම රටකටම ආධාර ලබා දෙන ලදි. පකිස්ථානයට සහ නේපාලයටත් ලබා දුනි. නමුත් අපට දුන්නෙ නැත. ඒ ඇයි..? ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවී ඇත්තේ COVID-19 නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එහෙයින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඵලක් නොමැති බව ඔවුනගේ මතයයි. මේ ආකාරයට ගොස් රට බංකොළොත් වුව හොත් කිනම් තත්ත්වයක් ඇති වෙයි ද..? ග්‍රීසියේ කතාව කොයි වගේද..? ලෙබනනයේ සහ ඇෆ්ගනිස්ථානයේ කතා කොයි වගේ ද..?

හැමදාම මේ ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගලට සහ පී.බී. ජයසුන්දරට බියගම මුදල් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවෙන් දවසකට බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට ගෙනියන්න පුළුවන් ද..? කොපමණ දුරක් මේ ගමන යන්නද..? ඉතාම ඉක්මනින් මේ රට කඩා වැටීමට මෙම ක්‍රියාවලිය හේතු විය හැකි බව අප මතක තබා ගත යුතුය.

 


 

Advertiesment