Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


පාඨලීගෙන් රාජපක්ෂලාට අභියෝගයක්-මඩින් නැතිව ගොඩින් එනු


2021-02-18 7930

විපක්ෂයේ නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් බිය ඇයි..?

 

ආර්ථිකය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා

 

ඡන්දය දුන් ජනතාවගේ  ප්‍රාර්ථනා ඉටු කිරීමට නොහැකි වෙලා 

 

ආණ්ඩුව වියරු වැටී තිබෙන්නේ ඒ නිසයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

බියක් සහ සැකයක් නොමැති නම් වංගු නොගසා කොන්ද කෙලින් තබා ගෙන දේශපාලන පොර පිටියට පැමිණ හැකි නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මුහුණට මුහණ දේශපාලන සටනක් දෙන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවට අභියෝග කර සිටියි.

කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (18) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුවට මෙම අභියෝගය කළ පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් කියා සිටියේ දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කිරීමට තිබෙන බිය සහ සැකය නිසා ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන නායකයින්, පක්ෂ සහ බලවේග මර්දනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන කුමන්ත්‍රණයක යෙදී සිටින බවය.

දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව ඉදිරියේ දී ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර තිබෙන විශේෂ ජනාධිපති කොමිසම යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තිය ප්‍රකාරව විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය හත් අවුරුද්දකට අහෝසි කිරීමට ආණ්ඩුව උත්සහ දරන්නේ ඒ අනුව යැයි ද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව මේ මර්දනය මෙසේ දියත් කරන්නේ රටේ ආර්ථිකය පාලනය කර ගැනීමට නොහැකි බව තේරුම් ගෙන සිටින අතර ඡන්දය දුන් ජනතාවගේ  ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ කිරීමට අපොහොසත් වී සිටින නිසා යැයි පෙන්වා දුන් පාඨලී චම්පික රණවක මහතා දේශපාලන පළි ගැනීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ දක්වා නිල වශයෙන් නිකුත් නොකිරීම විශාල සැකයකට තුඩු දෙන කාරණාවක් යැයි ද සඳහන් කළේය.

එම නිසා වටේ නොයා වංගු නොගසා දේශපාලන පොර පිටියට මඩින් නැතිව ගොඩින් ඇවිත් හැකි නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන සටනක් දෙන්නැයි ආණ්ඩුවට අභියෝග කර සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.  
 

Advertiesment