Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවට එන්න බීජේපියට (BJP) පුළුවන්


2021-02-18 8040

ලංකා භාරතීය ජනතා පක්ෂය ලෙස කරළියට ආ හැකියි

 

එහි කිසිම ප්‍රශ්නයක් නැහැ-අලුත් තත්ත්වයක් ද නොවෙයි   

 

ලෝකයේ ඕනෑම පක්ෂයකට ඕනෑම රටක ක්‍රියාකාරී විය හැකියි

 

රුසියානු සහ චීන කොමියුනිස්ට් ආදී  පක්ෂ රටේ කෙතරම් තිබෙනවද..? 

 

CWC එදා ක්‍රියාත්මක වුණේ "CEYLON INDIAN CONGRESS" ලෙසයි 

 

ඒ නම සංශෝධනය කළේත් ජවහල්ලාර් නේරු 

 

UNP කියන්නේ ඇමරිකාවේ "කොන්සර්වේටිව්" තමයි 

 

ශ්‍රීලනිපයට හැමදාම උදව් කළේ ඉන්දියාව 

 

ආණ්ඩුව හදන්නේ ජනතා අවධානය ඉන්දියාවට යොමු කරවා ප්‍රශ්න යට ගැසීමටයි 

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට කිසිදු බාධාවක් හෝ නොහැකියාවක් නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද අධි නීතීඥ ලාල් විජේනායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් "lankanewsweek" වෙත පැවැසීය.  

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට ආවා කියා තිබෙන ප්‍රශ්නය කුමක්දැයි ප්‍රශ්න කර සිටී ලාල් විජේනායක මහතා එම කාරණය අලුත් තත්ත්වයක් නොවන බව ද සඳහන් කළේය.

ලංකා භාරතීය ජනතා පක්ෂය හෝ භාරතීය ජනතා පක්ෂ යන නම යටතේම හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට එම පක්ෂයට හැකි බව පෙන්වා දුන් ලාල් විජේනායක මහතා එම පක්ෂයට පමණක් නොව ලෝකයේ ඕනෑම දේශපාලන පක්ෂයකට ලෝකයේ ඕනෑම රටක ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ හැකියාවක් තිබෙන බව ද සඳහන් කළේය.

අධි නීතීඥ ලාල් විජේනායක මහතා මේ බව පැවැසුවේ මේ කාරණයට අදාළව "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට කිසිදු බාධාවක් හෝ නොහැකියාවක් නැහැ. භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට ආවා කියා තිබෙන ප්‍රශ්නය කුමක්ද..? ලංකා භාරතීය ජනතා පක්ෂය හෝ භාරතීය ජනතා පක්ෂ යන නම යටතේම හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට එම පක්ෂයට හැකියාව තිබෙනවා. එවිට එම පක්ෂය ඉන්දියාවේ තිබෙන භාරතීය ජනතා පක්ෂය නොව ශ්‍රී ලංකාවේ තිබෙන භාරතීය ජනතා පක්ෂය වනවා.

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට පමණක් නොව ලෝකයේ ඕනෑම දේශපාලන පක්ෂයකට ලෝකයේ ඕනෑම රටක ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ හැකියාවක් තිබෙනවා. මේ වාතාවරණය රට පෙරළන අලුත් තත්ත්වයක් හෝ ප්‍රශ්නයක් නොවෙයි. රුසියානු කොමියුනිස්ට් පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ලෝකයේ ඒ ඒ රටවල දේශපාලන පක්ෂ සහ සංවිධාන කෙතරම් කාලයක් තිස්සේ අපේ රටේ ක්‍රියාත්මක වනවා ද..? ඒ වගේම ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය නියෝජනය කරන දේශපාලන පක්ෂ අපේ රටේ කෙතරම් තිබෙනවා ද..?

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඍජුවම එක්සත් ජාතික පක්ෂයට සිය පූර්ණ සහය ලබා දෙන අතර විශේෂයෙන් ඇමරිකාවේ "කොන්සර්වේටිව්" පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට ගමන් කරනවා. හැමදාම වගේ ඉන්දියාවේ වැඩි සහයෝගය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ලංකා ජාතික වතු කම්කරු සංගමය (CWC) 1949 විතර වන තුරු ක්‍රියාත්මක වූයේ "CEYLON INDIAN CONGRESS" හෙවත් ලංකා ඉන්දීය සංගමය ලෙසයි. පසු කලෙක ඒ නම "CEYLON WORKERS CONGRESS" හෙවත් ලංකා ජාතික වතු කම්කරු සංගමය යනුවෙන් සංශෝධනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ ද ජවහල්ලාර් නේරු මහතාමයි.

භාරතීය ජනතා පක්ෂයට පමණක් නොව ලෝකයේ ඕනෑම දේශපාලන පක්ෂයකට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ගොඩනඟා ක්‍රියාකාරී විය හැකියි. හැබැයි ඒ දේශපාලන පක්ෂවලට බලය දෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ අපේ ජනතාවයි. ඒ තීරණය තිබෙන්නේ අපේ ජනතාව අතේ විනා ඉන්දීය ජනතාව අතේ නොවන නිසා ප්‍රශ්නයක් ඇති නොවන අතර ඒ ගැන අනිසි බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් ද ඇත්තේ නැහැ.

එසේ තිබිය දී මේ ප්‍රශ්නය ජනමාධ්‍ය මඟින් උලුප්පා ඊට විශාල ප්‍රචාරයක් ලබා දෙමින් රට අභ්‍යන්තරයේ ලොකු කැළඹීමක්, සංවාදයක් සහ බියක් ඇති කරන්නේ ආණ්ඩුවයි. ඒ රටේත් ජනතාවගේත් අවධානය ඊට යොමු කරවා දැවෙන ප්‍රශ්න යට ගැසීමටයි.   

 

Advertiesment