Monday 10th of May 2021

English Tamil
Advertiesment


ඒකාධිපති 20 හකුළා ගනු-ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙන එනු 


2021-02-17 6210

පැහැර ගත් ජනතා අයිතීන් යළි ලබා දෙනු 

 

අධිකරණයට අපහස කළ දේශපාලන පළි ගැනීම් වාර්තාව හකුළා ගනු 

 

සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන තුරුවත් රට දුවයි ද කියා සැකයි 

 

ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව ජනතාවට පොත පෙරළනවා

 

"හිට්ලර්කරණය" ට ඉඩ දෙන්නේ නැහැ

 

දුක් විඳින ජනතාවට සාධාරණය ඉටු කරනු 

 

 ත්‍රෛනිකායික මහා සංඝ රත්නය ජනපතිට අවධාරණය කර සිටිති 

 

 

(සුජිත් මංගල ද සිල්වා)   

 

රට "හිට්ලර්කරණය" කිරීම වහාම නතර කර ජනතා අයිතීන් පැහැර ගත් ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ස්වෛරී භාවය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවුරුද්ද ඇතුළත දී වහාම සම්මත කර ගන්නා ලෙස ත්‍රෛනිකායික මහා සංඝ රත්නය ජනාධිපතිවරයා ප්‍රධාන රජය වෙත අවධාරණය කර සිටියි.

ස්වාධීන අධිකරණයට අපහස වන සහ බලපෑම් එල්ල වන අයුරින් නිකුත් කර තිබෙන දේශපාලන පළි ගැනීම් පිළිබඳව කරුණු සොයා බැලූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වහාම හකුළා ගත යුතු යැයි ද ත්‍රෛනිකායික මහා සංඝ රත්නය තරයේ කියා සිටියි.

මේ බව අවධාරණය කර සිටින්නේ සියම්-රාමඥ සහ අමරපුර යන ත්‍රෛනිකාය නියෝජනය කරන ශ්‍රී ලංකා රාමඥ මහා නිකායේ සමාජ සංවර්ධන ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත කරකොලේ පියදස්සි, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණුවටවන සිද්ධත්ත සහ මතුගල රජ මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී වැලිවේ නාරද යන නා හිමිවරු වෙති.

උන්වහන්සේලා මේ බව කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් වන අතර රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සහ ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ ක්‍රියා කලාපලය සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද අවධාරණය කර සිටියහ. 

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රාමඥ මහා නිකායේ සමාජ සංවර්ධන ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත කරකොලේ පියදස්සි නා හිමියෝ මෙසේ පැවසූහ.  

ජනතාව එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී දිනා ගත් බොහෝ දේ මේ රජය යළි පැහැර ගෙන තිබෙන අතර වත්මන් පාලනය යටතේ රට සහ ජනතාව අතිශය ඛේදජනක තත්ත්වයකට මුහුණ පා සිටිනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ස්වෛරී භාවය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය ද, තහවුරු කෙරුණු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඊට හොඳම උදාහරණයයි.

ස්වාධීන කොමිෂන් සභා සඳහා නියෝජිතයින් පත් කිරීමේ දී ජනාධිපතිවරයා ප්‍රධාන රජය අනුගමනය කළ ක්‍රියාමාර්ගය මහා සංඝ රත්නය ලෙස අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. බොහෝ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී සිටින අය මේ ස්වාධීන කොමිෂන් සභා සඳහා පත් කර තිබෙනවා.

සමහර නියෝජිතයින් දවල්ට ඒ ඒ කොමිෂන් සභාවල සිටින අතර හවසට සිටින්නේ පාලකයින්ගේ ඔඩොක්කුවේයි. ජනතාවට දෙවියන්ගේම පිහිටයි. මේ ස්වාධීන යැයි කියන කොමිෂන් සභා සඳහා ජනාධිපතිවරයා පත් කරන ඔහුගේ හිතවතුන් ක්‍රියා කරනු ඇත්තේ ජනතාව වෙනුවෙන් ද නැති නම් ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ද..? 

මේ අනුව සාධාරණය, යුක්තිය සහ ධර්මය ඉටු වන්නේ කෙසේද..? ස්වාධීන මැතිවරණ කොමිසමට පත් කළ නියෝජිතයින් ගැන අතිශයින්ම කණගාටුයි. මෙහි ඇතැම් සාමාජිකයින් මහා මැතිවරණ මංකොල්ලවලට පවා සම්බන්ධයි. එසේ නම් මෙම මැතිවරණ කොමිසම යටතේ අපට සාධාරණ සහ අපක්ෂපාතී මැතිවරණ ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකිද..?

මේ අනුව පැහැදිළි වන්නේ මේ ස්වාධීන කොමිෂන් සභා සඳහා ජනාධිපතිවරයා නියෝජිතයින් පත් කර තිබෙන්නේ තමා වෙනුවෙන් වන්දිබට්ට ගායනා සිදු කර ගැනීමට සහ තමාට අවශ්‍ය පරිදි අදාළ කොමිෂන් සභා පාලනය කිරීමට විනා සමාජ සාධාරණත්වය, ජනතා පරමාධිපත්‍ය, යුක්තිය සහ ධර්මය වෙනුවෙන් නොවන බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා අයිතීන් පැහැර ගෙන ස්වාධීන කොමිෂන් සභා සිය හොරනෑ බවට පත් කර ගනිමින් ස්වාධීන අධිකරණය ද සියතට ගෙන මේ උත්සහ කරන්නේ නූතන ඒකාධිපති "හිට්ලර්" කෙනෙකු බිහි කර ගැනීමටයි. ක්‍රම ක්‍රමයෙන් රට සහ ජන සමාජය "හිට්ලර්කරණයට" ලක් කිරීමට දරන මේ ඒකාධිපති වියරුව මහා සංඝ රත්නය ලෙස අප තරයේ හෙළා දකිනවා.

ඒ අනුව ත්‍රෛනිකායික මහා සංඝ රත්නය ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන රජයට අප අවධාරණය කර සිටින්නේ මෙම "හිට්ලර්කරණය" වහාම නතර කර ජනතා අයිතීන් පැහැර ගත් ඒකාධිපති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ස්වෛරී භාවය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ තහවුරු කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවුරුද්ද ඇතුළත දී වහාම සම්මත කර ගන්නා ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණුවටවන සිද්ධත්ත නා හිමියෝ මෙසේ පැවැසූහ.

යහ පාලන රජය වගේ දේශීය ආයතන, සම්පත් සහ උරුමයන් විදේශිකයින්ට නොවිකුණන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය අමු අමුවේ ඉන්දියාවට විකුණා දමීට උත්සහ කළා. ඊට රට අභ්‍යන්තරයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සිය සැලසුම තාවකාලිකව හකුළා ගත් ආණ්ඩුව එම වාරයේ බටහිර ජැටිය ඉන්දියාවට විකුණා දැමීමට ලැජ්ජාවක් නොමැතිව මේ වන විට ක්‍රියා කරමින් සිටින්නේ ඒ බව "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන් වූ අතර ඊට ජන වරමක් ද ලැබී ඇති බව කියමිනුයි. 

මේ රජයට එක ස්ථාවරයක් ඇත්තේ නැහැ. පැයෙන් පැයට ඒ පැත්තට මේ පැත්තට නැමෙනවා. ජනතාව අතර හෑල්ලුවට ලක් වෙලා. රටයි-ජනතාවයි ආර්ථික වශයෙන් කඩා වැටිලා. රාජ්‍ය සේවය සහ කම්කරු ජනයා මර්දනය කරලා. කෘෂි කර්මාන්තය කඩා වැටිලා. ගොවි ජනයා විශාල පීඩනයකින් කල් ගෙවනවා.

ගොවි ජන නියාමකගේ සිට අමාත්‍යංශ ලේකම් දක්වා අති විශාල නිලධාරීන් පිරිසක් කෘෂි කර්මාන්තය වෙනුවෙන් යොදවා තිබුණත් එම නිලධාරීන් කුඹුරට, වෙලට, කමතට සහ වක්කඩට යනවාද..? ගොවි ජනයාගේ ප්‍රශ්න, අවශ්‍යතා සහ පීඩනය සොයා බලනවා ද..? රජය මේ දවස්වල රජය ගම් වදින වන අලි එළවා දැමීමට කටයුතු කරමින් සිටිනවාලු. ගොයමට වදින කීඩෑවා එළවා ගැනීමට නොහැකි ආණ්ඩුව අලි එළවන්නේ කෙසේද..? 

නොමිලයේ පොහොර ලබා දෙන නිසා නිෂ්පාදනය කරන වී තොගයෙන් 50%ක් රජයට ලබා දිය යුතු බව රජය ගොවි ජනයාට කියනවා. සාමාන්‍යයෙන් එක කුඹුරු අක්කරයක් වගා කර අස්වැන්න ගෙට ගැනීම සඳහා රුපියල් 35,000ත් 40,000ත් අතර වියදමක් දැරීමට දුප්පත් ගොවියාට සිදු වනවා. නමුත් අක්කරයකින් ඔහුට සාමාන්‍යයෙන් ලැබෙන්නේ වී බුසල් 60ත් 80ත් අතර ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වයට යටතේ අපේ ගොවි ජනයා සිය ආත්මාභිමානය පසෙක තබා වී ගොවිතැනෙන් ඈත් වුණොත් හැම හාල් ඇටයක්ම විදේශයෙන් ගෙන්වීමට අපට සිදු වනවා.

එම නිසා රටේ සම්පත් අපේ ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන ආකාරයේ වැඩ පිළිවෙළක් වහාම ආරම්භ කළ යුතුයි. රජය රටේ ජනතාව ගැන මීට වඩා කල්පනා කළ යුතුයි. ජනතාවගේ හඬට ඇහුම්කන් දිය යුතුයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල මාස තුනක් සඳහා අඩු කර ඇති බව රජය කියා සිටින නමුත් ඒ අඩු කළ මිල ගණන්වලට වෙළෙඳ පොළේ බඩු ඇත්තේ නැහැ.

රටේ අධ්‍යාපනයේ තත්ත්වය ඉතාම කණගාටුදායකයි. නව තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් නොමැති තත්ත්වය හමුවේ ග්‍රාමීය දූ දරුවන් අන්ත අසරණ වෙලා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයට තවමත් නොහැකි වී තිබෙනවා. රටේ අනාගතය භාර ගැනීමට සිටින දූ දරු පරපුරේ පැවැත්ම අනතුරේ.

රජය මීට වඩා බුද්ධිමත්ව, කල්පනාකාරීව, සියලු පාර්ශවයන්ට ඇහුම්කන් දෙමින් දූරදර්ශීව කටයුතු කළ යුතු බවට මහා සංඝ රත්නය ලෙස අප තරයේ අවධාරණය කර සිටින්නේ, උද්ගත වී ඇති සකලවිධ ප්‍රශ්න සහ අභියෝග මධ්‍යයේ මේ රට සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන තුරුවත් දුහයි ද යන සැකය මතුව ඇති නිසයි.  

මෙහිදී අදහස් දැක්වූ මතුගල රජ මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී වැලිවේ නාරද නා හිමියෝ මෙසේ පැවැසූහ.

ජනාධිපතිවරයා ප්‍රධාන වත්මන් ආණ්ඩුව බලයට පත් වී අවුරුද්දයි මාස තුනක් ගෙවී ඇතත් එම පාලනය සහ පාලකයින් සම්බන්ධයෙන් සැහීමකට පත් විය හැකි කිසිදු කාරණයක් ඇත්තේ නැහැ. රටේ ස්වභාවය අතිශය ඛේදජනකයි. මුළුමනින්ම පරිහානියට පත් වෙලා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා. ස්වාභාවික පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් සිටිනවා. අපේ පුරා විද්‍යා උරුමයන් වනසමින් සිටිනවා.

අන්ත අසරණ සහ අහිංසක රට වැසියන්ගේ ජීවිත පවත්වා ගෙන යා නොහකි මට්ටමට භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යමින් තිබෙන අතර ජනතාවට ජීවන වියදම දරා ගත නොහැකි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට දරා ගත නොහැකි මේ ජීවන වියදම පාලනය කිරීම සඳහා රජය ඉක්මනින්ම පියවර ගත යුතු අතර එසේ නොවුණ හොත් මිනිස්සුන්ට සිදු වන්නේ කුස ගින්නේ මිය යන්නයි. 

රජය පොරොන්දු වූ පරිදි ජාතික සමගිය, එකමුතු භාවය සහ සමානාත්මතාවය තහවුරු කළ හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවුරුද්ද ඇතුළත දී සම්මත කළ යුතු අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතයි. 20 යටතේ බල ගැන්වුණු පාර්ලිමේන්තු සභාව මගින් ස්වාධීන මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා මේ වන විට සිදු කරමින් සිටින දේශපාලන පත් වීම වහාම අත්හිටුවා විපක්ෂයට ද එකඟ විය හැකි ස්වාධීන පුද්ගලයින් පත් කළ යුතුයි.

ස්වාධීන අධිකරණයට අපහස වන සහ බලපෑම් එල්ල වන අයුරින් නිකුත් කර තිබෙන දේශපාලන පළි ගැනීම් පිළිබඳව කරුණු සොයා බැලූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කිසිසේත් පිළි ගත නොහැකියි. අධිකරණයට කරන බලපෑම් වහාම නතර කළ යුතුයි. රාජ්‍ය සේවය හමුදාකරණය කරමින් එම සේවය බල රහිත කිරීමේ අරමුණින් අනවශ්‍ය ලෙස සිදු කළ හමුදාමය පත් කිරීම් වහාම හකුළා ගත යුතුයි. 

එමෙන්ම පැවැති යහ පාලන සමයේ වගේම වත්මන් පාලන සමයේ දී සිදු කෙරුණු මහා පරිමාණ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව කරුණු සොයා බලා වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන සාධාරණ, විධිමත් සහ විනිවිද භාවයෙන් යුතු සියලු දෙනාට පිළි ගත හැකි යාන්ත්‍රණයක් වහාම ඇති කළ යුතුයි. COVID-19 වසංගතය ජය ගෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු අතර එහිදී පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික සහභාගීත්වය ලබා ගත යුතු වනවා. 

Advertiesment