Saturday 19th of June 2021

English Tamil
Advertiesment


ඔබ සිතන දේ ඔබ බවට පත් වේ 


2021-02-15 5467

මනස යනු සියල්ලමය 

 

කනස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිතයි 

 

පුද්ගලයෙකුගේ මනසේ දිනකට සිතුවිලි 12,000-60,000 අතර ප්‍රමාණයක් ඇතිවේ 

 

ඒ සිතුවිලිවලින් 80%ක් ම ඍණාත්මකයි 

 

"The Mind Is Everything. What You Think You Become" 

 

"මනෝ පුබ්බංගමා ධම්මා-මනෝ සෙට්ඨා මනෝමයා"

 

 
(දේශප්‍රිය නානායක්කාර)
 

ඔබේ සිතුවිලිවල ගුණාත්මකභාවය ඔබේ ජීවිතයේ වටිනාකම් තීරණය කරනු ඇත. අප කරන දේ, අප අපගේ ජීවිතය ගත කරන ආකාරය සහ අප අත්කර ගන්නා දේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ අපගේ අභ්‍යන්තර මනස බව අපි බොහෝ වාරයක් අසා ඇත්තෙමු. 

කෙටියෙන් කිව හොත්, අපගේ මනසෙහි තත්ත්වය අපගේ ජීවිතයේ ගුණාත්මක භාවයට බලපායි. ප්‍රශ්නය වන්නේ, අපගේ මනස කළමනාකරණය කරන්නේ කෙසේද යන්නයි. පාලනය කළ නොහැකි සිතුවිලි ප්‍රවාහයක් සමඟ අප කටයුතු කරන්නේ කෙසේද..? ධනාත්මක සිතුවිලි ඇති කර ගන්නේ කෙසේද? 

මේ මොහොතේ සුන්දරත්වය අත්විඳීම, අප අත ඇති කර්තව්‍යය කෙරෙහි අවධානය යොමු කිරීම, නිර්මාණශීලිත්වය අභ්‍යාස කිරීම, කරුණාව-කෘතඥතාව සපිරි සැබෑ සම්බන්ධතා පෝෂණය කිරීම, අනෙකාට ගරු කරමින් ප්‍රජාතාන්ත්‍රවාදී ජීවන ක්‍රමය අභ්‍යාස කිරීම සහ අප ආදරය කරන දේවල් සැලකිල්ලට ගැනීම ආදී මානවිකරණයේ ලාලසාවන් ඍණාත්මක සිතුවිලිවල ඇලී සිටීම හේතුවෙන් මන්දෝත්සාහි වනු ඇත. අපගේ භෞතික ශක්තිය සහ මානසික ශක්තිය ක්ෂයවීම වළක්වා ගැනීමේ මනසෙහි ප්‍රවණතාවන් අප ජය ගන්නේ කෙසේද..?

මනසෙහි ප්‍රවණතා

2005 දී ජාතික විද්‍යා පදනම දිනකට ජනිතවන මිනිස් සිතුවිලි පිළිබඳ පර්යේෂණ සාරාංශ ලිපියක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට සිතුවිලි 12,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක් ඇති වන බව සොයා ගන්නා ලදී. එම සිතුවිලි දහස් ගණනින් 80% ක් ඍණාත්මක වන බවත්,95% ක්ම පෙර දින මෙන් එකම පුනරාවර්තන සිතුවිලි බවත් නිරික්ෂණය වී ඇත. (The National Science Foundation (NSF) Is An Independent Agency Of The United States Government That Supports Fundamental Research And Education In All The Non-Medical Fields Of Science And Engineering.)

අප සිතන දේ අප පවසන දේවලට බලපායි. අප සිතන සහ පවසන දේවල් අප කරන දේවලට බලපායි. අප පවසන සහ කරන දේවල් අපගේ පුරුදු බවට පත්වේ. අවසානයේදී අපි අපගේ චරිතය තීරණය කරන්නේ අපගේ පුරුදුවල එකතුවෙනි. එම ක්‍රියාවලිය අපගේ ජීවිතයේ මාවත සඳහා පුර්වාදර්ශ සකසයි.

අපට ඇත්ත වශයෙන්ම අපගේ සිතුවිලි පාලනය කර අපගේ ජීවිතය වෙනස් වන ආකාරය තීරණය කළ හැකිය. වරින් වර ඔබේ මනසෙහි ඉස්මතු වන සිතුවිලි පාලනය කිරීමට ඔබට නොහැකි විය හැකි බව පිළිගත්ත ද, ඔබ ඒ සිතුවිලි සමග සාර්ථකවැ කටයුතු කරන්නේ ද, එසේ නැත හොත් කණගාටුවට පත් වන්නේ ද යන්න තෝරා ගත හැකිය. මනසෙහි එක් ප්‍රවණතාවයක් වන්නේ ඍණාත්මක දේ කෙරෙහි අවධානය යොමු කිරීම සහ නොයෙක් විට කනස්සල්ලට හේතු වන එකම දේ නැවත නැවත නැවතත් සිහිපත් කිරිමයි.

එනමුත් නොයෙක් විද්‍යාත්මක නිරීක්ෂණයන්හී නිගමනය වී ඇත්තේ අපගේ කනස්සල්ලෙන් 97%ක් ම පදනම් විරහිත වන නමුත් එහි ප්‍රතිඵලය පදනම් විරහිත අශුභවාදී හැඟීම් බවයි. 2005, කෝනල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයා ගත් පරිදි, පළමුව අප කනස්සල්ලට පත් වන දේවලින් 85% ක් කිසි විටෙකත් සිදු නොවේ. දෙවනුව, සිදු වූ කනස්සල්ලෙන් 15% ක් සමඟ, විෂයයන්ගෙන් 79% ක් සොයා ගත්තේ එක්කෝ තමන්ට බලාපොරොත්තු වූවාට වඩා හොඳින් කටයුතු කළ හැකි බව හෝ දුෂ්කරතාවය ඒ ඒ පුද්ගලයාගේ දෛනික ජීවිතයට වටිනා අත්දැකිම් සහ විවිධාකාර පාඩම් ඉගැන්වූ බවයි. 

ඒ අනුව සිතුවිලිවල පුරුද්දක් වන නොයෙක් විට කනස්සල්ලට හේතු වන එකම දේ නැවත නැවතත් සිහිපත් කිරිම පදනම් විරහිත කනස්සල්ල පිරි මානසිකත්වයට, ආතතියට සහ වෙහෙසට ප්‍රධාන හේතුවකි. එම තත්ත්වය මනසට පමණක් නොව භෞතික ශරීරයට ද අහිතකරය. එනමුත් ධනාත්මක මනෝ ගතිය පවත්වා ගැනීම සේම සිතුවිලිවල අභ්‍යන්තර කේන්ද්‍රීයභාවය සහ ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා භාවනාමය ශිල්ප ක්‍රම දිනපතා පුහුණුවීම සහ සිතුවිලි අලුත් කර ගැනිම සඳහා ශාරීරිකවත් මානසිකවත් විවේක ගැනීමේ වැදගත්කම අතිශයින්මැ තීරණාත්මකයැ.

අපගේ මනස අපගේ ලොකුම අභියෝගය සහ බාධකය විය හැකි නමුත්, අප ඒ මනස දක්ෂ ලෙස කළමනාකරණය කළ හොත්, ඒ මනස අපගේ විශාලතම මිතුරා විය හැකි බව ස්‍ථීරයැ. පුද්ගල සංවර්ධනයේ සහ කාර්ය සාධනයේ නව උසකට ළඟා වීමට විවේකී පුහුණු මනසේ ප්‍රවණතා ඉතාමත් වැදගත්මැයැ. අද්‍යතන පරම්පරාවේ විශාලතම විප්ලවය නම්, මිනිසාගේ මනසෙහි අභ්‍යන්තර ආකල්ප වෙනස් කිරීමෙන් ඔවුන්ගේ ජීවිතයේ බාහිර අංග වෙනස් කළ හැකි බව සොයා ගැනීමයි.  We Are Shaped By Our Thoughts, We Become What We Think. When The Mind Is Pure, joy Follows Like A Shadow That Never Leaves" - Lord Buddha -

 


 

Advertiesment