Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


මානව හිමිකම් සවිබල ගැන්විය යුත්තේ ඇයි..?


2021-02-13 1395

(දේශප්‍රිය නානායක්‌කාර)

 

මානව අයිතිවාසිකම් යනු මිනිසාට අත්‍යවශ්‍ය මූලික සහ අන්‍යසන්තක අයිතිවාසිකම් යැයි සඳහන් කළ හොත් පූර්ව නුතන යුගයේදී පවා උක්‌ත මානව අයිතිවාසිකම් පිළිබඳ ගෝලීය අවධානය යොමු වී තිබූ බව ඉතා පැහැදිලිව දක්‌නට ඇත. 

සෑම පුද්ගලයකුටම ඕනෑම පරිවේෂණයක්‌ යටතේ හිමි විය යුතු අයිතිවාසිකම් පිළිබඳව, විශේෂයෙන්ම ස්‌පාඤ්ඤ යටත් විජිත පාලකයන් විසින් ඇමරිකාවේ ස්‌වදේශිකයන්ට සැලකිය යුතු අන්දම පිළිබඳව පැරණි ස්‌පාඤ්ඤ ගෝලීය නීති ලේඛකයෝ වන ගෝලීය දේශපාලන දර්ශනයේ නිර්මාතෘ වශයෙන් පිළිගන්නා ෆ්රැන්සිස්‌කෝ ඩී. වික්‌ටෝරියා ප්‍රමුඛ (Francisco De Vitoria.1483 -1546 ) හියුගෝ ග්රෝසස්‌ (Hugo Grotius 1583 -1645) මෙන්ම ඔල්බෙරිචෝ ජෙන්ටලි (Alberico Gentili.1552 -1608) ද ස්‌වාභාවික නීති මූලධර්ම මත මානව අයිතිවාසිකම් පිළිබඳව ගැඹුරු විවාදවල යෙදී ඇත.

 
වහල් වෙළෙඳාම 

 

ස්‌පාඤ්ඤ යටත් විජිතයන්ට වහලුන් සැපයීමේ ඒකාධිකාරිය 1773 දී ස්‌පාඤ්ඤයෙන් ලබා ගත් බ්‍රිතාන්‍ය උක්‌ත ඒකාධිකාරිය දක්‌ෂිණ මුහුදු සමාගමට පවරා දෙන ලදී. එතැන් පටන් 1680 - 1786 අතර කාලයේදී බ්‍රිතාන්‍ය ජාතික වෙළෙඳුන් පමණක්‌ ලක්‌ෂ විස්සකට වැඩි අප්‍රිකානු මිනිසුන් වහලුන් වශයෙන් ඇමරිකාවට ප්‍රවාහනය කර ඇති අතර සමස්‌ථයක්‌ වශයෙන් ගත් කල මිලියන 15ක් පමණ අප්‍රිකානුවන් පිරිසක්‌ වහල් සේවය සඳහා ඇමරිකාවට යවා ඇත. ඒ අතර වහල් වෙළෙඳාමට එරෙහිව එක්‌සත් රාජධානියේත් ඉන් පිටතත් එල්ල වූ තීව්‍ර උද්ඝෝෂණවල ප්‍රතිඵලයක්‌ වූයේ 19 වැනි සිය වසේදී වහල් වෙළෙඳාම තහනමට යටත් වීමය.

වහල් වෙළෙඳාම හෙළා දකින පළමු ගිවිසුම (The Treaty Of Paris, Signed on May 1814) 1814 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය විසින් අත්සන් කරන ලදී. 1815 වියනා කොංග්‍රසය මගින් ද (The Congress Of Vienna.) 1890 අප්‍රිකානු වහල් වෙළෙඳාම පිළිබඳ බ්‍රසල්ස්‌ සම්මේලනයේ පොදු ආඥා පනතට (Brussels Conference Act Of 1890) මුල් වූ බහුපාර්ශ්වික ගිවිසුම් මගින් ද උක්‌ත මානුෂික මූලධර්මය අනුමත වී ඇත. 

රාජ්‍ය පරිචය විමසීමේදී, 1815 දී පවා එකල ප්‍රචලිතව තිබූ බලවත් වහල් වෙළෙඳාම මර්දනය කිරීමේ ගිවිසුම් ප්‍රතිස්‌ථාපනය කර ගැනීමට රාජ්‍යයන් උනන්දු කරවීමට මහා බ්‍රිතාන්‍යය ක්‍රියාත්මක වී ඇත. විවිධ වර්ගයන්ගේ අසාධාරණතාවලින් පුද්ගලයන් ආරක්‌ෂා කිරීම සඳහා නොයෙක්‌ ගිවිසුම් ඉනික්බිති ශත වර්ෂවලදී ඇති කර ගෙන ඇත. 1919 සාම ගිවිසුම (Paris Peace Conference 1919) අත්සන් කිරීමත් සමගම මානව අයිතිවාසිකම් පිළිබඳ නෛතික ක්‌ෂේත්‍රයේ විශාල ඉදිරි පියවරක්‌ තැබිණි .

එසේ වුවද පරදේශිකයන් (එනම්, වෙනත් රාජ්‍යයන්ගේ පුරවැසියන්) සැලකීම සම්බන්ධයෙන් අවම ජාත්‍යන්තර ප්‍රමිතියක්‌ ගෝලීය නීතිය මගින් නියම කරන ලද්දේ මීට වසර 200 ටත් ඉහතදීය. (Geneva Conventions (1949) And Additional Protocols) රාජ්‍යන් සහ ඔවුන්ගේම පුරවැසියන් අතර සම්බන්ධතා, පොදුවේ ගත් කල, ඒ ඒ රාජ්‍යයේ අභ්‍යන්තර විෂයක්‌ සේ සැලකිණි. දෙවන ලෝක යුද්ධයට සමගාමීව උක්‌ත තත්ත්වයේ වෙනසක්‌ ඇති විය.

 
සිව් වැදෑරුම් නිදහස්‌ අයිතිවාසිකම්

 

උක්‌ත වෙනසට පුරෝගාමී වූයේ ඇමරිකාවේ 32 වන ජනාධිපතිවරයා වූ ෆ්න්ක්‌ලින් රුස්‌වෙල්ට්‌ (Franklin Delano Roosevelt 1933 - 48) විසින් 1941 දී ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලය වෙත නිකුත් කරන ලද සංදේශයේ එක්‌සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ මුඛ්‍ය පරමාර්ථයන් ලෙස නම් කරන ලද සිව් වැදෑරුම් නිදහස්‌ අයිතිවාසිකම්ය. 

ඒ සිව් වැදෑරුම් නිදහස් අයිතිවාසිකම් වන්නේ කථන සහ ප්‍රකාශන නිදහස, ආගමික නිදහස, ආර්ථික හිඟකමින් සහ ආක්‍රමණ භීතියෙන් මිදීමේ නිදහසය. පසුව උක්‌ත නිදහස්‌ අයිතිවාසිකම් අත්ලාන්තික්‌ ප්‍රඥප්තියේ අන්තර්ගත කරන ලදී. ජාතික සමාජවාදී පාලනය යටතේ ක්‍රමානුකූලව සිදු කරන ලද අති බිහිසුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනයන්ට පසුව, සියලුම පුද්ගලයන් වෙත සර්ව ව්‍යාප්ති ආරක්‌ෂාවක්‌ සැලසීමට ප්‍රයත්නයක්‌ දරන ලද්දේ 1945 දී එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කිරීමෙන්ද පසුවය. (1941 - 1945 (Preparatory Years) -70 Years, 70 Documents)

මානව (හෝ මූලික) අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ඉතා ගතිකමය (Dynamic) සංකල්පයකි. බටහිර රාජ්‍යයන්ගේ ව්‍යවස්‌ථාවන්ගේ ඉතිහාස වාර්තාවලට අනුව පෙනෙන පරිදි මෙම සංකල්පය වෙනස්‌වීම්වලටත්, නොයෙක්‌ ආකාරයේ වර්ධනයටත් ලක්‌ වී ඇත. එහෙත් උක්‌ත සංකල්පයේ වැදගත්ම හරය වනුයේ, සෑම පුද්ගලයෙකුටම රාජ්‍යයේ අතුරු බාධකවලින් සහ රාජ්‍යන්ගේ බලතල අප-යෙදුම්වලින් ඔහු හෝ ඈ ආරක්‌ෂා කරන අන්‍යසන්තක සහ නීතිමය වශයෙන් බලාත්මක කළ හැකි යම් අයිතිවාසිකම් ඇති බවයි. සිවිල් අයිතිවාසිකම් හෝ මූලික නිදහස්‌ අයිතිවාසිකම් නම් උදාහරණ වනුයේ සාධාරණ නඩු විභාගයක්‌ සඳහා ඇති අයිතිය, ආගමික නිදහස සහ කතා කිරීමේ නිදහසය.

ප්‍රථම පරම්පරාවේ, රාජ්‍ය අන්තර්බාධකවලින් මිදී සිටීමට ඇති පුද්ගලික නිදහස ආදී එම සිවිල් අයිතිවාසිකම් ප්‍රථම පරම්පරාවේ අයිතිවාසිකම් ලෙස සැලකෙන අතර රැකියාවක්‌ කිරීමේ අයිතිවාසිකම් සහ අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම් වැනි සුභ සාධන වරප්‍රසාද රජයෙන් ඉල්ලා සිටීමේ සමාජීය අයිතිවාසිකම් දෙවැනි පරම්පරාවේ අයිතිවාසිකම් වශයෙන් ගිනිය හැකිය. තවද අද්‍යතනව 

ඊට අමතරව "තෙවන පරම්පරාවේ" මානව අයිතිවාසිකම් වර්ගයක්‌ද යෝජනා කරනු ලැබ ඇත. උක්‌ත මතය වෙනුවෙන් අදහස් සහ ‌යෝජනා ඉදිරිපත් කරන්නෝ එම වර්ගයේ අයිතිවාසිකම් වශයෙන් ඉදිරිපත් කරනුයේ සාමය සඳහා ඇති අයිතිය, ස්‌වයං තීරණය සඳහා ඇති අයිතිය, පොදු මානව දායාද මූලධර්මය, සංවර්ධනය සඳහා ඇති අයිතිය, සුළු ජන අයිතීන් සහ පිරිසිදු පරිසරයකට ඇති අයිතිය යනාදී අයිතිවාසිකම්ය.

 
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය

 

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යනු එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වැනිදා සම්මත කරන ලද අභියෝජනාවකි. උක්‌ත අභියෝජනාවේ විධිවිධාන ප්‍රධාන කාණ්‌ඩ 02 කි. එහි පළමු කාණ්‌ඩයට අයත් වනුයේ, සිවිල් සහ දේශපාලනමය හිමිකම් වශයෙන් ප්‍රකාශයට පත් වූ විධිවිධානයන්ය. උක්‌ත විධිවිධානයන්ට අනුව වහල් සේවය, අමානුෂික සැලකීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, පෞද්ගලිකත්වය අත්තනෝමතික ලෙස අවහිර කිරීම, වර්ගියභාවය, වර්ණය, ස්‌ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම සහ දේශපාලනමය හෝ වෙනත් තත්ත්වයක්‌ මත පදනම් වූ විශේෂ්‍ය කිරීම් (Discrimination) තහනම් ය.

සාධාරණ නඩු විභාගයක්‌ සඳහා ඇති අයිතිය, ගමන් කිරීමේ සහ පදිංචි වීමේ නිදහස, දේශපාලන රැකවරණය ලැබීමේ අයිතිය, පුරවැසිභාවය ලබා ගැනීමේ සහ  අත හැරීමේ අයිතිය, විවාහ වීමේ අයිතිය, දේපොළ හිමි කර ගැනීමේ අයිතිය, ඇදහීමේ සහ වන්දනා කිරීමේ නිදහස, මතයක්‌ දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමීව රැස්‌වීමේ සහ සංවිධානය වීමේ නිදහස, නිදහස්‌ මැතිවරණ සහ පොදු තනතුරු ලබා ගැනීමේ සමාන අවස්‌ථා ලබාදීමේ අයිතිය ද උක්‌ත විධිවිධානයන් මඟින් ප්‍රකාශ වේ.

දෙවන වර්ගයේ විධිවිධාන නම්, දැනට ආර්ථික, සමාජීය සහ සංස්‌කෘතික අයිතිවාසිකම් වශයෙන් හැඳින්වෙන ඒවාට සම්බන්ධ විධිවිධානයන්ය. එනම්, සමාජීය රක්‌ෂණයට ඇති අයිතිය, පූර්ණ සේවා නියුක්‌ති අයිතිය, සාධාරණ සේවා කොන්දේසිවලට ඇති අයිතිය, ප්‍රමාණවත් ජීවන තත්ත්වයකට ඇති අයිතිය, අධ්‍යාපනයට සහ ප්‍රජාවගේ සංස්‌කෘතික ජීවිතයට සහභාගිවීමට ඇති අයිතිය ඇතුළු අයිතීන්ය.

ප්‍රඥප්තියේ 13 වැනි වගන්තිය අනුව, මානව හිමිකම් ප්‍රශ්නයන් පිළිබඳ අධ්‍යනයන් දියත් කිරීමටත් නිර්දේශයන් ඉදිරිපත් කිරීමටත් එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට ක්‍රියා කළ හැක. මේ සම්බන්ධයෙන් වැදගත් කමිටුවක්‌ වනුයේ ( Economic And Social Council - ECOSOC- ) නොහොත් ආර්ථික සහ සමාජීය මණ්‌ඩලයයි. උක්‌ත මණ්‌ඩලය මහා මණ්‌ඩලය විසින් ඡන්දයෙන් තෝරා පත් කෙරෙන සාමාජිකයන් 54 දෙනෙකුගෙන් සමන්විතය.

ප්‍රඥප්තියේ 62 වැනි වගන්තිය අනුව, මානව හිමිකම් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, සම්මුතීන් කෙටුම්පත් කිරීමටත්, ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනය කැඳවීමටත් ECOSOC මණ්‌ඩලයට ක්‍රියා කළ හැක. විවිධ මණ්‌ඩල විසින් ඉදිරිපත් කෙරෙන වාර්තාද උක්‌ත මණ්‌ඩලයට සලකා බැලිය හැකිය.

පර්යේෂණ කටයුතු මෙහෙය වීම සහ ප්‍රඥප්තියේ 55-56 වගන්ති ක්‍රියාත්මක කිරීමට සන්ධාන කෙටුම්පත් කිරීම සඳහා මානව හිමිකම් කොමිසමක්‌ ECOSOC මණ්‌ඩලයේ අතිරේක මණ්‌ඩලයක්‌ ලෙස, උක්‌ත කොමිසමේ අද්‍යතනව භූගෝලීය ව්‍යාප්ති පදනම මත පත් කළ සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිතයන් 43 කුගෙන් සමන්විතය. 

එක්‌සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට බලයක්‌ උක්‌ත මණ්‌ඩලයට එහි පළමු විසි වසරේ දී හිමි නොවීය. දකුණු අප්‍රිකාවේ දක්‌නට ලැබුණු තත්ත්වයේ පසුබිම යටතේ 1967 දී සම්මත කරන ලද අභියෝජනාවක්‌ අනුව, "මානව හිමිකම් දැඩිලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු සලකා බැලීමට" සහ "මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ අඛණ්‌ඩ රටාවක්‌ පිළිබිඹු කරන අවස්‌ථාවන්" අධ්‍යයනය කිරීමට ECOSOC මණ්‌ඩලයට බලය ලබා දෙන ලදී.

එක්‌සත් ජාතීන්ගේ සංගමය, ජිනීවා නුවර මානව හිමිකම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වා ගෙන යන අතර එහි සේවය කරන විශේෂඥයන් සංඛ්‍යාව 50ක් පමණි. එහි අයවැය එක්‌සත් ජනපද ඩොලර් එකොළහකට, එනම් එක්‌සත් ජාතීන්ගේ අයවැයෙන් 0.7% ට සීමාවී ඇත. 1993 දී වියනා නුවර පවත්වන ලද මානව හිමිකම් ජගත් සම්මන්ත්‍රණයට (World Conference On Human Rights, 14 - 25 June 1993) පසුව, මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස්‌ තනතුරක්‌ ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය විසින් පිහිටු වන ලදී.

 
ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව

 

ශ්‍රී ලංකාවේ 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ද මිනිස්‌ මූලික අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමේ අවශ්‍යතාවය පිළි ගැනීම සිදු වුවත්,එම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ සිදුවූ විට ඒ සඳහා සහනයක්‌ ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු, සරල වූත් එමෙන්ම ක්‌ෂණික වූත් ක්‍රියාමාර්ගයක්‌ උක්‌ත ව්‍යවස්‌ථාවේ දක්‌නට නොලැබිණි. එම අතපසු වීම 1978 සම්මත කෙරුණු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මඟින් නිවැරදි කර ඇත.

1978 අද්‍යතන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 වැනි පරිච්ඡේදයෙහි 10 වගන්තියේ සිට 16 වැනි වගන්තිය දක්‌වා මිනිස් සහ ‌මූලික අයිතිවාසිකම් සඳහන් කර ඇත. 1979 දී එංගලන්තයේ ස්‌වදේශ කටයුතු භාර ඇමතිවරයාට එරෙහිව නඩුවේදී (Minister Of Home Affairs, et al v Fisher, et al [1979] AC 319) විනිසුරු විල්බර්ෆෝර්ස් සාමිවරයා (Richard Orme Wilberforce, Baron Wilberforce, QC, PC (11 March 1907 - 15 February 2003) ප්‍රකාශ කළේ, "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇතුළත් කර තිබෙන මිනිස්‌ මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධානයන් අර්ථකථනය කිරීමේදී, ලැයිස්‌තු ගත නීති ගැතියාවේ දැඩි බවින් මිදී පුද්ගලයන් වෙත ඔවුන්ට හිමි මූලික අයිතිවාසිකම් සහ පූර්ණ නිදහස සැපයෙන ආකාරයට වඩාත් ත්‍යාගශීලි ලෙස අර්ථකථනය කිරීම අවශ්‍ය කෙරේ" යනුවෙනි. 

(While The Manner Of Interpretation Of a Constitutional Instrument Should Give Effect To The Language Used, Recognition Should Also Be Given To The Character And Origins Of The Instrument, In Particular, And To Its Sections Dealing With Fundamental Rights And Freedoms Of The Individual)

ඒ ආකාරයටම වැදගත් වන පහත ප්‍රකාශය කරන ලද්දේ ඇමරිකාවේ කීර්තිමත් විනිශ්චයකාරවරයකු වූ බෙන්ජමින් නේදන් කාර්ඩෝස්‌ය. (Benjamin Nathan Cardozo (May 24, 1870 - July 9, 1938) ඔහු ප්‍රකාශ කළේ අවශ්‍ය වන්නේ "ඉක්‌ම යන හෝරාව සඳහා වන රීතීන් සමූහයක්‌ නොව අද්‍යතන තත්ත්වය පුළුල් වන අනාගතය සඳහා පවත්නා වූ මූලධර්මයන්" බවය.

මේනකා ගාන්ධි එරෙහිව ඉන්දියාව නඩුවේදී (Maneka Gandhi vs Union Of India on 25 January, 1978 Equivalent Citations - 1978 AIR 597, 1978 SCR (2) 621) විනිසුරු මඬුල්ලේ වයි. වී. භගවතී (Y.V. Bhagwati) විනිසුරුවරයා ප්‍රකාශ කළේ, "මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අර්ථකථන ක්‍රියාවලියේදී අධිකරණයේ කාර්යභාරය විය යුත්තේ එමඟින් ඒවායේ අර්ථය සහ සන්දර්භය දුර්වල කරනවාට වඩා එහි විෂය සීමාවන් පුළුල් කිරීම අවශ්‍ය බවයි."

ඇමරිකාවේ "තෝමස්‌ වී. කොලින්ස්‌" (Thomas V. Collins, 323 U.S.516 (1945) නඩුවේ මෙම ඡේදය ඕනෑම රටකට වැදගත්ය. එනම්, "විශාල සැහැසිකම් මුල් බැස ගන්නෙත්, වැඩෙන්නෙත් සුළු සැහැසිකම් මගිනි. උක්‌ත සත්‍යය වඩාත් පැහැදිලි වන්නේ එම සැහැසිකම් මිනිසා සතු ඉතාමත් වටිනා මූලික අයිතිවාසිකම් කෙරෙහි ආරෝපණය කෙරෙන අවස්‌ථාවේදීය. සැහැසිකම්වලින් සහ නීතියේ සුජාත භාවය නොමැති භූමියේ රෝපණය කෙරෙන් බීජ, ඉතා සරුවට වැඩෙන අතර එම නිසාම නිදහස පිළිබඳ පදනමද කඩා වැටෙනු ඇත."

මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය ඉතාම නූතන වූත්, ප්‍රායෝජනවත් වූත් ඉතාම දියුණු වූත්, මානව අයිතිවාසිකම් ආරක්‌ෂා කරන ජාත්‍යන්තර පද්ධතිය බව මෙහිලා පැවසීම යුක්‌ති සහගතය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මානව හිමිකම් පද්ධතිය යුරෝපා සම්මුතිය තරම්ම සවි බලකරණයට අවශ්‍ය සිවිල් ජන සහයෝගය සහ කැපවීම යනු වත්මන් පරපුරේ පමණක්‌ නොව අනාගත පරපුරේද යහපතට හේතුවන බව මොහොතකට හෝ අමතක නොකළ යුතුය.

 

Advertiesment