Sunday 13th of October 2024

English Tamil
Advertiesment


හුදකලාවේ අමාත්‍ය..!


2021-02-13 14349

හුදෙකලාව ගැන ක්‍රියා කිරීමට ජපානයෙන් අලුත් ඇමතිවරයෙක් 

 

හුදෙකලාව නිසා ජපානයේ සිය දිවි නසා ගැනීම් වැඩි වෙලා 

 

වැඩි පිරිසක් කාන්තාවන් 

 

 

(මහේෂ් හපුගොඩ)

 

ලොව මුල්වරට මිනිස් හුදකලාව ගැන සැළකිලිමත් වීම පිණිස "හුදකලාව පිළිබද අමාත්‍යවරයෙකු" (Minister of Loneliness) නම් කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. කෝවිඩ් 19 සමග මතුවී ඇති අතිශයින් දුක්ඛිත මිනිස් ඉරණමක් වන හුදකලාභාවය විසින් දිනෙන් දින මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගනිමින් තිබෙන අවස්ථාවකයි ජපන් අගමැතිවරයා මේ තීරණය ගෙන තිබෙන්නේ. 

ජපන් අගමැති යොෂිඩා සුගා විසින් ටෙට්ශුෂි සුකමොටෝ මෙම විෂය පථය සඳහා නම් කරන මොහොත වන විටත් ඔහු ජපානයේ කේන්ද්‍රීය සමාජ ප්‍රශ්නයක් වන අඩු උපත් සංඛ්‍යාව ගැන සොයා බලමින් සිටිනු ලැබ තිබෙනවා. 

නිසි කලට විවාහ සිදු නොවීම, විවාහය ගැන ඇති සෘණ ආකල්පය, රැකියාවේ ස්වභාවය, මනුෂ්‍ය සම්බන්ධතා ගැන ඇති ආකල්පය, අධ්‍යාපනය, විදෙස් ගත වීම, බටහිරකරණය, සමාජයෙන් පසුබෑම (Social Withdrawal) වැනි කරුණු ගණනාවක් මේ තත්ත්වය සඳහා ජපානයේ බලපා තිබෙනවා. තරුණ මෙන්ම වයස් ගත ජපන් ජනතාව අතරත් මේ හුදකලාව නිසා ඇති වන විෂාදය සහ ඒ හේතුවෙන් සිය දිවි නසා ගැනීම ඉතා උග්‍ර අතට හැරෙමින් තිබෙනවා. 

නූතන ජපන් සහ ජපන් සම්භවයක් ඇති ලෝ ප්‍රකට ලේඛකයින් වන කශුවෝ ඉෂිගුරෝ, හිරුයුකි ඉත්සුකි, සයකා මුරාටා මෙන්ම හරුකි මුරකමිගේ කෘතිවල මේ නූතන ජපන් හුදකලාව ගැන ගැඹුරින් දක්නට ලැබෙනවා. මේ අතරින් මිනිස් හුදකලාව ගැන ජපානයේ මෙන්ම ගෝලීයව ද ජනප්‍රිය රචකයෙක් වන හිරුයුකි ඉත්සුකි (Hiroyuki Itsuki) පවසන්නේ හුදකලාව යනු අප නිර්භීත ලෙස වැළඳ ගත යුතු තත්ත්වයක් බවයි. 

බෞද්ධ පදනමක් සහිතව ලේඛනයේ යෙදෙන ජපානයේ අතිශයින් ජනප්‍රිය හිරුයුකි ඉත්සුකිගේ "තරිකි" (Tricycle) කෘතිය මගින් මතුපිට හුදකලාවේ යටින් පවතින මිනිස් සාංදෘෂ්ටික බව ඔහු චිත්‍රණය කරනවා. කාලය ගැන තැකීමක් නොකර ඔබ ගමන් කරන්නේ නම් හුදකලාව යනු අතික්‍රමණය කළ හැකි තත්ත්වයක් බව ඔහුගේ අදහසයි. ඒ අනුව හුදකලාව යනු "නූතන" යමක් නොවන බව ඔහු අදහස් කරනවා. නූතන බවට පෙර පටන් මිනිසා හුදකලාව අත්විඳිමින් ඇති අතර බොහෝ විට ඔහුට එම තත්ත්වය ජය ගැනීමට නොහැකි වූ බව හිරුයුකි ඉත්සුකි පවසනවා.  

ජපන් ප්‍රබන්ධ චරිත අතර හුදකලා, නිර්ලිංගික, ප්‍රතිචාර නොදක්වන, දවසේ වැඩි කාලයක් රැකියාවේ යෙදෙන, නිවසට කොටුවීමට ආශා කරන (Hikkikomori) පෞරුෂ බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. ඔවුන් මේ හුදකලාව රෝග ලක්ෂණයක් ලෙස විඳින අවස්ථා කොතෙකුත් දකින්නට පුළුවන්. මේ තත්ත්වය එක්තරා "ගල් ගැසුණු විශාදයක්" ලෙස ඇතැමුන් හඳුන්වනවා. (Frozen State Of Depression) 

නමුත් අද වන විට සමාජ ප්‍රශ්නයක් වී ඇත්තේ මේ හුදකලා සොම්බි චරිත සිය දිවි නසා ගැනීමට පෙළඹීමයි. විශේෂයෙන් ස්ත්‍රීන් අතර මේ හුදකලා බව සහ සිය දිවි නසා ගැනීම ඉතාම ඉහළ තත්ත්වයක් ගෙන තිබීම හේතුවෙන් ජපන් රජය මේ ගැන වැඩි සැළකිල්ලක් දැක්වීමට තීරණය කර තිබෙනවා. 
අද කෝවිඩ් නිසා වඩාත් හෙළිදරව් වන කරුණ වන්නේ කෝවිඩ්වලට වඩා සමාජය දේහය පුරා පැතිරී පවතින හුදකලා බවයි. කෝවිඩ්වලට පෙර යම් තරමකට හෝ මිනිස් ආශ්‍රයක් පැවතියේ නම් එම ආශ්‍රය පවා මෙම වසංගතය නිසා මිනිසාගෙන් දුරස් වීම මෙම නව සිය දිවි නසා ගැනීම්වල හේතුවයි. 

හුදකලා බව තුරන් කර ගැනීම පිණිස නවීන උපදේශන සේවා (Counselling) පැවතියත් කෝවිඩ් තත්ත්වය නිසා එම සේවා පවා සිදු වන්නේ ජාල ගත ක්‍රමයට වීම නිසා මිනිස් විගලිත බව (Alienation) තව තවත් වර්ධනය වීමට හේතුවක්. මීට පෙර බ්‍රිතාන්‍යයේ පවා මෙම මිනිස් හුදකලාව හේතුවෙන් අමාත්‍ය වගකීමක් වෙන් වුවද සෘජුවම "හුදකලා වසංගත" (Epidemic Of Loneliness) වෙනුවෙන් අමාත්‍ය ධූරයක් වෙන් වුණේ ජපානයේ වීම පෙරදිග අර්ථයෙන් සුවිශේෂ තත්ත්වයක්.    

එන්නත් ගහල කෝවිඩ් ඉවර කර ගත්තත් පැමිණෙන තවත් සකලවිධ වසංගතවලින් නම් අපිට ගැලවිල්ලක් නැහැ කියල වෙලාවකට හිතෙනවා. ඒ කොහොම වුණත් හුදකලාව උත්කර්ෂයට නඟමින් හිරුයුකි  ඉත්සුකි මෙහෙම කියනවා. "ඔබේ හැඩහුරුකම මා නොදන්නා බැවින්, හැම හැඩහුරුකමකටම මම ආදරය කරමි. හැම හැඩහුරුකමක් විසින්ම මා ඇතුළත පුරවා දමන බැවින් හැම තැනකම ඔබ ජීවත් වනු මට දැනේ. හැම තැනකම ඔබ ජීවත් වන බව මට වැටහෙන බැවින් මා ද හැම තැනකම ජීවත් වේ" 

 

Advertiesment