Monday 7th of October 2024

English Tamil
Advertiesment


2021ත් කොරෝනාටම සින්න වෙයිද..?


2021-02-12 14330

වසංගතය අවසන් කර ගැනීමට නොහැකි ගෝලීය අභියෝග 

 

COVID-19 ගැන රජයේ සේම ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නැහැ  

 

 
(මහේෂ් හපුගොඩ)

 

කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිරෝධයක් ලෙස මිනිස් ප්‍රතිශක්තිය ඇති කරනු පිණිස දැනට ලොව පුරා භාවිත වන ඇස්ට්‍රාසෙනිකා (AstraZeneca) නොඑසේ නම් ජනප්‍රිය ඔක්ස්ෆර්ඩ් වැක්සීනය කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් (New Variants) පාලනය කිරීම සඳහා යම් හෙයකින් අසමත් වුව හොත් එම තත්ත්තවය ගෝලීය වෛරස් මර්දන ක්‍රියාවලිය විශාල වශයෙන් පසු පසට යාමට හේතුවක් විය හැකි බව ගෝලීය වෛරස් විශේෂඥයෝ පෙන්වා දෙති.

විශේෂයෙන් තුන් වන ලෝකයේ රටවල් මෙම පසු බැසීම මත බරපතළ ලෙස සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය බලපෑමට හසු විය හැකි බවයි ඔවුන්ගේ මතය. තුන් වන ලෝකයේ රටවල් සඳහා දැනට මිළදී ගැනීමට හැකි සහ ගබඩා කිරීමට හැකි වැක්සීනයක් ලෙස අනුමත වී ඇත්තේ මෙම "ඇස්ට්‍රාසෙනිකා" එන්නත පමණි. "ෆයිසර් බයෝඑන්ටෙක්" එන්නත මිලෙන් අධික වීම සහ ගබඩා කිරීමේ ප්‍රශ්න මත තුන් වන ලෝකයේ භාවිත වන්නේ නැහැ. කෙසේ වුවද රුසියානු "ස්පුට්නික්" එන්නත ද යහපත් ප්‍රතිඵල පෙන්වමින් තිබීම එක්තරා අයුරකින් තුන් වන ලෝකයට සැනසීමක් විය හැකි පුවතකි. මේ අතරට තවත් මිලෙන් අඩු එන්නත් කිහිපයක් ම පැමිණෙමින් ද තිබේ. 

දැනට කෝවිඩ් ව්‍යාප්තියේ බරපතළ ප්‍රවර්ගයක් වන දකුණු අප්‍රිකානු ප්‍රභේදය (South African Variant) මර්දනය කිරීම සඳහා "ඇස්ට්‍රාසෙනිකා" එන්නත යම් ආකාරයකට අපොහොසත් වනවා යන උපකල්පනය මත දකුණු අප්‍රිකාව මෙම එන්නත නවත් වනු  ලැබීම මත මෙම අවදානම් තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙමින් පවතියි. එසේම ලොව පුරා ආසාදිතයින් මිලියන ගණනින් හමුවීමත්, එසේම මරණ සංඛ්‍යාව ඉහළ යාමත් හේතුවෙන් ගෝලීය ප්‍රජාව මෙම පැන්ඩමික තත්ත්වය අවසන් කර ගන්නේ කවදාද යන්න ගැන පසු වන්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකිනි. අනෙක් අතට මෙම වෛරසය කලින් කලට සිය උදාසීන වීම සමඟ අලුත් අලුත් පෙර නොවූ මුහුණුවරවල් ලබා ගැනීම වෛරස් විශේෂඥයින්ගේ වික්ෂිප්ත බවට හේතු වී තිබේ. 

ඒ සමඟම ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ පවා මෙවන් ප්‍රභේද ගණනක් දැන් හඳුනා ගැනීම සහ අසාදිතයින්ගේ ඉහළ යාමේ තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා පෙන්වා දෙන්නේ මෙම වසංගත තත්ත්වය ගැන රජයේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අවධානය මීට වඩා යොමු විය යුතු බවයි.  විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්ක සීමාවෙන් පිට ග්‍රාමීය ප්‍රදේශවල විශාල වශයෙන් රෝගීන් හමුවීම මත මෙම වසංගතය පාලනයෙන් ගිලිහී යාමේ විශාල ඉඩක් මතුව ඇත. මේ බව යම් ආකාරයකින් සෞඛ්‍ය පරීක්ෂකවරු පවා පෙන්වා දෙමින් සිටිති.

මේ අතර ඇමෙරිකානු ජොන්සන් සහ ජොන්සන් සමාගමේ තනි මාත්‍රාවේ (Single Dose Vaccine) කෝවිඩ් මර්දන එන්නත හඳුන්වා දෙමින් එහි ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ ඉදිරි වසර හතක කාලය සඳහා සෑම වසරකටම වරක් ගෝලීය මිනිස් ප්‍රජාව නැවත නැවත එන්නත්කරණයට ලක් කිරීමට සිදු විය හැකි බවයි. ඊට හේතුව නම් "ඇස්ට්‍රාසෙනිකා" එන්නත මෙන්ම අනික් සියලු එන්නත් වසරක කාලයක ඇවෑමෙන් ඒවායේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වීමට හැකි සම්භාවිතාවයයි. 

අනෙක් අතට වෛරසය විසින් කලින් කලට ඇති කරන නව ප්‍රභේද සඳහා නව එන්නත් හූවනයන් (Boosters) හඳුන්වා දීමට සිදු වුව හොත් කලින් කලට ඒවාද මිනිසාට එන්නත්කරණය කිරීමට සිදු විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. නමුත් දැන් අප මේ වෛරසය ගැන බොහෝ දේ දන්නා බැවින් එවන් "එන්නත් බූස්ටර්" නිපදවීම සහ එන්නත් කිරීම වෛරසය සොයා ගත් මුල් කාලයේ මෙන් අපහසු නොවනු ඇති බව බොහෝ අයගේ මතයයි.  

යුරෝපීය හවුලේ රටවල් ගණනාවක "ඇස්ට්‍රාසෙනිකා" එන්නත වයස් ගත පුද්ගලයින් වෙනුවෙන් ලබා නොදේ. ඊට හේතුව නම් වයස් ගත පුද්ගලයින් සඳහා මෙම එන්නත ප්‍රතික්‍රියා කරන අන්දම ගැන ධනාත්මක තොරතුරු හීන වීමයි. කෙසේ වුවත් මේ කුමන එන්නතක් හෝ විශාල ප්‍රමාණයෙන් සැලසුම් සහගත ලෙස ජනතාවට ලබා දෙන රටවල වාර්තා වන අසාදිත සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ රෝහල් ගත වන සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩු වෙමින් පවතියි. එම වාතාවරණය අපගේ සැළකිල්ලට ලක් විය යුතු තත්ත්වයකි. 

මෙම පැන්ඩමිකය අවසන් කර ගැනීම සඳහා දැනට පියවා ගත නොහැකි එකම හිඩැස (Gap) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දකින්නේ ලෝකයේ දුප්පත් සහ පොහොසත් රටවල් අතර හිඩැස විසින් ඇති කර ඇති දැවැන්ත අසමානතාවයි. ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ලබා දීමට නිෂ්පාදකයින්ට නොහැකි වීමත් පැන්ඩමිකය අවසන් කිරීමේ මනුෂ්‍ය ගමන් මාර්ගයේ ඇති තවත් එක් මාර්ග බාධකයකි. 

එන්නත් කිහිපයක් ලෝකයට හඳුන්වා දීමෙන් පසු මේ අඳුරු කොරිඩෝව තුළ ආලෝකයක් අප බලාපොරොත්තු වුවත් ඒ ආලෝකය තවත් ඇත්තේ බොහෝ දුරින් බව දැන් දැන් මිනිස් ප්‍රජාවගේ වැටහීමයි. පවත්නා ගමන් මාර්ගයේ විශාල වෙනසක් සිදු නොවුණ හොත් 2021 වසරද කෝවිඩ් වසංගතය වෙනුවෙන් ම ගත වනු ඇති.

Advertiesment