මේ මොහොතේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ වසංගතය මැදින් රට සීරු මාරුවෙන් ඉදිරියට ගෙන ගොස් ඉලක්ක ගත කොට ඇති පරිදි මේ වසර මැද වන විට රටම එන්නත්කරණය සිදු කොට අනතුරුව රටේ ජනතාවට දැනෙන පරිදි ආර්ථික විප්ලවයක් සිදු කිරීමට අවශ්‍ය පදනම සකස් කර ගැනීමයි.
ජනාධිපතිවරයාගේ දැක්මෙන් සහ ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් මේ කාර්ය දැනටමත් සිදු කරමින් තිබේ. එහි ප්‍රතිඵල දැනුදු ලබමින් තිබෙන අතර, නිදහස ලැබුණු දා සිට අප රටට ලැබුණු ආදායම් අහිමිව තිබියදීත් රට මේ තත්ත්වයේ තිබෙන්නේ ඒ දුරදක්නා දැක්මේ සහ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසයි.
මැති ඇමතිවරුන් කළ යුත්තේ මේ කාර්යට සහාය ලබා දීමයි. අති බහුතරයක් වන මැති ඇමතිවරු ඊට එකතු වී සිටිති. එහෙත් අවාසනාවන්ත කරුණ නම්, සුළු පක්ෂ නියෝජනය කරන විමල් වීරවංශ වැනි අය මේ රටේ මූලික ආර්ථික ප්‍රශ්නය විසඳන ආණ්ඩුවේ කර්තව්‍යයට සහාය නොදී සිය දේශපාලන බල න්‍යාය පත්‍ර ක්‍රියාත්මත කරමින් සිටීමයි.
ඔවුන්ට ආණ්ඩුවක් විසින් කළමනාකරණය කළ යුතු බරපතළ වගකීම් ගැන සැලකිල්ලක් නොමැති අතර මස් රාත්තලම ඉල්ලන ජනප්‍රිය සටන් පාඨ ඉදිරිපත් කරමින් ආණ්ඩුවේ සාමූහික වගකීම දැරීම අත හැර දැමීම තෝරා ගෙන ඇත. එම වාතාවරණය බරපතළ තත්ත්වයකි. ආණ්ඩුවේ "හොඳ" පමණක් තමන් වෙත පවරා ගන්නා මොවුහූ "නරක" අනෙකාට පවරා අත පිස දමා ගනිති. එහි ඇත්තේ ආත්මාර්ථකාමී දේශපාලන බල ලෝභයයි. එනම් ආණ්ඩුවෙන්ම යැපෙමින් එහි පොදු යහපත අත හැර සිය යහපත වෙනුවෙන් පමණක් පෙනී සිටීමයි.
ඒ ආකාරයෙන් ආණ්ඩුවක් ගෙන යා හැකි නොවේ. ආණ්ඩුව ගන්නා තීන්දු තීරණවලදී ඒවා වෙනුවෙන් පෙනී සිටීම කොන්දේසි විරහිතව සිදු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුය. තමන්ට ඒවාහි වගකීම දැරිය නොහැකි නම් කළ යුත්තේ තම තනතුරුවලින් ඉවත් වී විපක්ෂය තෝරා ගැනීමයි. ආණ්ඩුව සහ විපක්ෂය යන භූමිකා දෙකම එක වර කිරීමට ඉඩ ලබා දිය යුතු නැත. එසේ වන්නේ නම් එම තත්ත්වය ආණ්ඩුවේ විනය පිළිබඳ ප්‍රශ්නයකි. ආණ්ඩුව ඒ ගැන වහා තීරණයක් ගත යුතුව තිබේ.
Lanka Newsweek © 2024