Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


මහින්ද ගත් තීරණයට කරූගේ ප්‍රණාමය  


2021-02-11 6772

කොවිඩ් මෘත දේහ භූමදානයට අවසර දීම අගය කළ යුතුයි

 

තීරණය නොපමාව ක්‍රියාත්මක කළ යුතුයි 

 

COVID-19 වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අගය කරන අතර එම තීරණය නොපමාව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

කොවිඩ් හේතුවෙන් සිදු වන මරණ භූමදානය කිරීම සඳහා  අවසර දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි ප්‍රසාදය පළ කරන්නෙමු. රජය ගත් මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරන ලද නිර්දේශයන් ද සැලකිල්ලට ගෙන සිදු කරන ලද තීරණයක් වන්නේ යැයි අප සංවිධානයේ විශ්වාසයයි. 

රටේ සංහිදියාව පිළිබඳව සැලකීමේදී එම තීරණය අතිශය වැදගත් තීරණයකි. එමෙන්ම ආගමික සහ වාර්ගික වෙනස්කම් පිටු දැකීමකි. සමස්තයක් වශයෙන් සැලකීමේදී විද්‍යාත්මක පදනමක පිහිටා ගනු ලැබූ තීරණයක් ලෙසද සැලකිය හැකිය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශිත මෙම තීරණය එතුමන්ගේ දේශපාලනික පරිණතභාවය පිළිබද පැහැදිළි වන්නෙකි. එමෙන්ම මෑත කාලයේ රටේ සමහර ජන කොටස් අතර ගොඩනැගී තිබූ සිත් වේදනාවන් සමනය කිරීමට ගනු ලැබූ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකි. 

සාධාරණ සාමාජයක් පිළිබඳව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් කටයුතු කරන සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රජය ගත් මෙම තීරණය අතිශයින්ම අගය කරන අතර එම තීරණය නොපමාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොද වනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු. 
 

Advertiesment