Monday 10th of May 2021

English Tamil
Advertiesment


අධිකරණයේ ස්වාධීනත්වය කෙළසන්න ඉඩ දෙන්නේ නැහැ 


2021-02-10 5957

උපාලි අබේරත්න වාර්තාවට ජනතාව උත්තර දෙයි 

 

දේශපාලන පළි ගැනීම් සෙවූ ජනපති කොමිසම නීති විරෝධියි 

 

කොමිසමේ නිර්දේශ ජාත්‍යන්තරව පවා සමච්චලයට ලක් වෙලා

 

රජයේ පළි ගැනීමේ චේතනාව හෙළිදරව් වුණා 

 
 
(සුජිත් මංගල ද සිල්වා)  

 

අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය කෙළසීමට කිසිදු බලවේගයකට ඉඩ තබන්නේ නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇස්-කන්-නාස වසා ගෙන නොසිට රට-ජනතාව වෙනුවෙන් සටන් කරන්නේ යැයි කියා සිටී කරු ජයසූරිය මහතා රටට ආදරය කරන සියලු දෙනාම උපාලි අබේරත්න වාර්තාවට එරෙහිව ඉදිරියේ දී නැගී සිටිනු ඇතැයි ද පෙන්වා දුන්නේය. 

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, දේශපාලන පළි ගැනීම් පිළිබඳ කරුණු සොයා බැලූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් කොළඹ "ජානකී" හෝටලයේ දී අඟහරුවාදා (09) පැවැති විශේෂ විද්වත් සාකච්ඡා සභාවට එක් වෙමිනි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරුණු මෙම විශේෂ විද්වත් සාකච්ඡා සභාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද කීය. 

ජාතික යුතුකමක් වශයෙන් සලකා මෙම සාකච්ඡා සභාව සංවිධානය කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කටයුතු කළේ ලෝකයේ කිසිම රටක සිදු නොවුණු ආකාරයට උත්තරීතර අධිකරණයට හානි කරමින් නිකුත් කර ඇති දේශපාලන පළි ගැනීම් පිළිබඳ නිර්දේශ ඇතුළත් උපාලි අබේරත්න වාර්තාව ගැන රට දැණුවත් විය යුතු  නිසා.

මෙම සම්මන්ත්‍රණයට අධිකරණ ක්ෂේත්‍රයේ වියතුන් ඇතුළු සමාජයේ ප්‍රභු පුද්ගලයින් පැමිණ සිටීම අධිකරණය රැක ගැනීමට රටට ලැබෙන ශක්තියක් බව කිව යුතුයි. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේදී අප යම් යම් පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන අතර ජනාධිපතිවරයා හෝ රජය අපහසුතාවයට පත් කිරීමට ද බලාපොරොත්තු වන්නේ නැහැ. එමෙන්ම කිසිඳු පටු චේතනාවක් නැහැ. එම කරුණ මුලින්ම පැහැදිළි කළ යුතුයි.

මෙම වාර්තාව නොනිල වශයෙන් පිට වුණාට පසුව ඒ ගැන විශාල ආන්දෝලනයක් දේශීයව සහ ජාත්‍යන්තරව ඇති වුණා. සමහරුන්ට මේ තත්ත්වය තේරුම් ගැනීමට අපහසු වුණා. බොහෝ දෙනෙකු මේ වාර්තාව සහ එමගින් කර තිබෙන නිර්දේශ දකින්නේ දේශපාලන වශයෙන් පළි ගනීම සඳහා රජය දරන උත්සාහයක් ලෙසිනුයි. 

මේ ගැන ලෝකයේ විද්වතුන්ගේ මතය වන්නේ මෙම ජනාධිපති කොමිසම පත් කිරීම නීති විරෝධී වන අතර එමගින් කර තිබෙන නිර්දේශ සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී බවයි. ස්වාධීන අධිකරණ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රටවල ප්‍රවීණ නීතිවේදීන් මෙම ජනාධිපති කොමිසම සහ එමගින් කර තිබෙන නිර්දේශ සමච්චලයට ද ලක් කළ අවස්ථා අප අසා තිබෙනවා.

යහ පාලන රජය දූෂණ විරෝධී ක්‍රියාදාමය ආරම්භ කළේ එවකට ජනපති සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව. ඒ සඳහා නිලධාරීන් පත් කළේ නීත්‍යානුකූලවයි. එමෙන්ම නඩු ගොණු කළේ එකල සිටි නීතිපතිවරයාගේ නිර්දේශ අනුවයි.

එසේනම්, තෝරා ගත් හිටපු මැති ඇමතිවරුන්ට, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම වගේම හිටපු නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමට එරෙහිව අදාළ පොලිස් සහ නීති නිලධාරීන්ට නඩු පැවරීමට ක්‍රියා කිරීම සමාජය දකින්නේ රජයේ විකෘති පළි ගැනීමේ චේතනාවක් ලෙසයි.

අපට පේන ආකාරයට සමාජයේ දැඩි විරෝධයක් මෙම කොම්සම් වාර්තාව ගැන ඇති වෙමින් තිබෙනවා. මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් සේම සමාජයේ විවිධ පුද්ගලයින් මෙම වාර්තාවට එදිරිව ක්‍රියා කරමින් සිටින අතර එම විරෝධතා ඉදිරියේදී තව තවත් උත්සන්න වනු නියතයි. යුක්තිය සාධාරණය රජයන සහ ස්වාධීන අධිකරණ පද්ධතියක් බල පැවැත් වෙන රටක මිහිදන් වීමට පතන රටට ආදරය කරන සෑම පුද්ගලයෙකුගේම විරෝධය ඉදිරියේදී දකින්නට පුළුවන් වේවි.

මේ සියල්ලන්ටම වඩා මේ වන විට අපේ මව්බිමට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. විවිධ කරුණු කාරණා සහ සිද්ධීන් පදනම් කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් එල්ල වන චෝදනා ප්‍රබලයි.  

මේ අනුව බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව ක්‍රියා නොකළහොත්, රට ඉතා විශාල අගාධයකට පත් විය හැකියි. මෙම අභියෝග මැද තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගත හොත් එමගින් පීඩා විඳින්නේ මේ වන විටත් අන්ත අසරණව සිටින අපගේ අහිංසක ජනතාව වන අතර එම තත්ත්වය රජය තේරුම් නොගැනීම ගැන අප කණගාටු වනවා.

මෙතෙක් ජනතාව විශාල කැපවීමකින් රැක ගත් ස්වාධීන අධිකරණය මහා ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩ නොදී අධිකරණයේ එම ස්වාධීනත්වය සහ ගෞරවය රැක ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඇස්-කන්-නාස වසා ගෙන නොසිට රට වෙනුවෙන් ඇප කැප වන බව තරයේ කියා සිටිනවා. 

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කියා සිටී පරිදි උඩ යන සෑම දෙයක්ම පහළට වැටෙන සංකල්පය සිහිපත් කරමින් රජයට මේ මොහොතේ මතක් කර දෙන්නේ අතීතයේ 5/6 සහ 2/3 බලතල ලබා ගත් පාලකයින්ද අවසානයේ පහළට ආ බවයි. ඒ ගැන සිහියේ තබා ගෙන රජය සහ අදාළ සියලු බලධාරීන් කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

 

Advertiesment