ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ලබා දිය යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා "ඉරිදා ලංකාදීප" පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කළ ප්‍රකාශය දේශපාලනික වශයෙන් ඉතාම නිවැරදිය.
එසේ නොකර ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට සීමා කර තැබීම මඟින් සිදු වන්නේ ජනාධිපතිවරයාත්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ප්‍රධාන මහා ජන නියෝජිතයිනුත් දේශපාලන තන්ත්‍රයත් අතර තිබෙන සබැඳියාව දුර්වල වීම බවටත් එම තත්ත්වය ආණ්ඩුවේ වගේම රටේ නිරෝගී පැවැත්මට හිතකර නොවන බවට විමල් වීරවංශ මහතා කරන තර්කය ද සාධාරණය.
ඔහු මේ බව කියා සිටින්නේ, ඇත්තටම රට කරවන්නේ ජනාධිපතිවරයා ද, අගමැතිවරයා ද නොඑසේ නම් වෙනත් අයෙකුද යනුවෙන් එම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් වන අතර ඇත්තෙන්ම එම ප්‍රශ්නය ද අතිශය වැදගත් සහ සාධාරණ බව කිව යුතුය.
ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා අසන එම ප්‍රශ්නය අතිශය සාධාරණ වන්නේ ඇත්ත වශයෙන්ම රටේ මිනිස්සුන්ට එවැනි ප්‍රශ්නයක් තිබෙන නිසාය. ඇත්තටම රට කරවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද..? නොඑසේ නම් අගමැති මහින්ද රාජපක්ෂ ද..? එසේත් නොමැති නම් අදිසි පාර්ශවයක් ද..? රටකට හෝ දේශපාලන පක්ෂයකට පමණක් නොව මරණාධාර සමිතියකට වුවත් සිටිය යුත්තේ එක නායකයෙකු විනා නායකයින් දෙදෙනෙකු නොවන බව පැහැදිළිව කිව යුතුය.
දේශපාලන පක්ෂයක නායකත්වය සහ එම පක්ෂයේ බහුතරයේ සහය නොමැතිව කිසිවෙකුට මේ රටේ ජනාධිපතිකම් කරමින් රට-ජනතාව මෙහෙය විය නොහැකි බව අපේ රටේ දේශපාලන ඉතිහාසය සාක්කි දරනු ඇති අතර විමල් වීරවංශ මහතා මතු කර පෙන්වීමට උත්සහ දරන්නේ එම දේශපාලන යථාර්ථය වේ.
ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යනු මේ යථාර්ථය තරයේ විශ්වාස කළ සහ ඇදහූ අද්විතීය නායකයෙකු වන අතර ඔහු සිය එක්සත් ජාතික පක්ෂ නායකත්වය හරහා පාර්ලිමේන්තුවේ පාලනය සියතට ගැනීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂයට සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සියල්ල මෙහෙය වීය. හොඳට හෝ නරකට එකම නායකයා ඔහුය. ඔහුට ඉහළින් කිසිවෙකු නොවීය. ඔහුගේ නායකත්වය සහ විධානය කෙතරම් බලවත් ද යන්න පිළිබඳව පැහැදිළි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීමට පවා ඔහු සමත් වීමෙන්ය.
අපේ රටේ තිබෙන්නේ මිශ්‍ර ජනාධිපති ක්‍රමයකි. ඒ කියන්නේ පාර්ලිමේන්තු බහුතරයයි-ජනාධිපති විධායකයි. මේ දෙක එකට යා යුතුයි. පාර්ලිමේන්තු බහුතරය සහ ජනාධිපති විධායකය අතර අවියෝජනීය බැඳීමක් තිබිය යුතුයි. එවැනි ක්‍රමයක් යටතේ රටේ ජනාධිපති වූ පමණින් ඒ රට පාලනය කළ නොහැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලය සහ පාලනය අත්‍යවශ්‍ය වේ.
ජේ.ආර් ජයවර්ධන මහතාට දෙවරක්ම මේ රටේ ජනාධිපති ධූරයට පත් වීමට හැකි වූයේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම නිසාය. එම නායකත්වය නිසා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පූර්ණ සහයෝගය ඔහුට ලැබුණු නිසාය. ඒ හරහා පාර්ලිමේන්තුවේ පාලනය සියතට ගැනීමට ඔහු සමත් වූ නිසාය.
ජේ.ආර් ජයවර්ධනට පසුව මේ රටේ බලයට පත් වූ රණසිංහ ප්‍රේමදාස, ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ තත්ත්වය ද ඒ හා සමානය. සියලු දෙනා එකට ඒකරාශී කර, විසිර යා නොදී එක මිටට ගෙන එක විධානයක් යටතේ ඍජුව රට කර වීමට එම ජනාධිපතිවරුන් සමත් වූයේ ද ඒ ඒ පක්ෂ නායකත්වයන් හරහා පාර්ලිමේන්තුවේ පාලනය සියතට ගැනීමට සහ සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගය ලබා ගැනීමට ඔවුන් සමත් වූ නිසාය.
ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ද දෙවරක්ම මේ රටේ ජනාධිපතිකම් කිරීමට හැකි වූයේ මේ කියන ශක්තිමත් දේශපාලන පසුබිම නිසාය. කුරිරු එල්.ටී.ටී.ඊ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් නොවන්නට රණසිංහ ප්‍රේමදාස මහතා ද දෙවරක්ම මේ රටේ ජනාධිපතිකම් කරනු නියතය.
නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනපති සටනට ආ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වුණාට පසුව නිර්පාක්ෂිකකම් පසෙක තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගත්තේ මේ යථාර්ථය නිසා වන අතර ඒ හරහා පාර්ලිමේන්තුවේ පාලනය සියතට ගැනීමට සහ සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගය ලබා ගැනීමට ඔහු ද සමත් විය.
එහෙම බැලුවාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තත්ත්වය කෙබඳු ද..? ඔහු, ඔහුව ජනාධිපති කර වූ දේශපලන පක්ෂයේ නායකයාවත් නොවේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයාවත් නොවේ. ඒ අනුව තමාව ජනාධිපති කර වූ දේශපලන පක්ෂයේ සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා නොවී ඔහු පාර්ලිමේන්තුවේ පාලනය සියතට ගෙන රට කරවන්නේ කෙසේද..? පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයේ සහය ගන්නේ කෙසේද..? දේශපලන පක්ෂයක නායකයෙකු නොවන ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවේද..?
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මතු කරන්නේ මේ දේශපාලන යථාර්ථය වන අතර ඒ ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කලබල විය යුතු නැත. සිය ප්‍රකාශය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා රටේ ජනතාවගෙන් සමාව ගත යුතු බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ එම පෙරමුණේ කලබලයේ තරමය.
එම කලබලයෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ආණ්ඩුව සහ පවුල අභ්‍යන්තරයේ පවතින බල අරගලයේ සහ අර්බුදයේ තරම නොවේද..? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා දුන්නා වගේ සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය ලබා දී ඔහුගේ ගමන ශක්තිමත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි ඇයි..?
Lanka Newsweek © 2024