Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


තොරතුරු යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය


2021-02-07 14365

තොරතුරු තාක්ෂණය ආයුධකරණය වීමේ අභියෝගය 

 

DEMOCRACY IN THE INFORMATION AGE

 
 
(දේශප්‍රිය නානායක්කාර)

දේශපාලනය බොහෝ විට පරිණාමය වන්නේ වෙනස් වන සමාජ සහ ආර්ථික ප්‍රවණතාවන්ට ප්‍රතික්‍රියාවක් වශයෙනි. සංවර්ධිත ලෝකයේ බොහෝ රටවල කාර්මික යුගය තොරතුරු ආර්ථිකයකට සංක්‍රමණය වී ඇති බවට සාක්ෂි අපමණය. 1990 දශකයේ දී අන්තර් ජාලය වාණිජකරණය වීම ඇරඹුණු  විට, තාක්ෂණය ප්‍රජාතන්ත්‍රවාදයේ ගෝලීය ව්‍යාප්තිය වේගවත් කරනු ඇතැයි බොහෝ දෙනා උපකල්පනය කළහ. අදහස් සහ තොරතුරු නිදහසේ ඇසුරු කිරීමට සහ බෙදා ගැනීමට පුද්ගලයන්ට බලය ලබා දෙන විමධ්‍ය ගත ජාලයක් වන අන්තර් ජාලයේ සැලසුම ලිබරල් මූලධර්ම පිළිබිඹු කරයි.

ඇමරිකානු නවෝත්පාදනයක් ලෙස, අන්තර් ජාලය සහ ඊට පසුව ඇති වූ තොරතුරු විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග තව දුරටත් මානවිකරණයට විසල් ලෙස දායක විය. නමුත් ගෝලීයව රාජ්‍යයන්වල ආරක්ෂාවට නව අභියෝග රාශියක් උද්ගත වී ඇත. බොහෝ රාජ්‍යයන් සෑම විටම ඔවුන්ගේ ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මිලිටරි  ආර්ථික සහ  තොරතුරු ක්‍රියාමාර්ගවල එකතුවක් භාවිතා කර ඇත. ඒ අනුව ගෝලීයව ජාතික ආරක්ෂාව තහවුරු කිරිම ප්‍රධාන ජාතික අවශ්‍යයතාව විය.

නව්‍ය තක්ෂණික වෙනස සියල්ල වෙනස් කර ඇත. ඒ අනුව තොරතුරු විප්ලවය 21 වන සිය වසේ රාජ්‍ය තරඟකාරිත්වයේ ස්වභාවය, ගැටුම් සහ ජාත්‍යන්තර සබඳතාවල ස්වභාවය වෙනස් කරමින්, තොරතුරු බලය උපයෝගී කර ගන්නා ආකාරය වඩාත් රැඩිකල් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී ඇත්තේ රට වැසියන්ට විශ්වාසදායක තොරතුරු ලබා ගත හැකි තීරණාත්මක සංයුක්තයක් මත වන අතර එම තොරතුරු රජයේ, ප්‍රජා සහ ආයතනික තීරණ ගැනීමේදී භාවිතා කළ හැකිය. තොරතුරු යුගයේ තක්ෂණයන් බොහෝ දුරට ගොඩනඟා ඇත්තේ මෙම සංයුක්තය ශක්තිමත් කරනු ඇතැයි යන උපකල්පනය මත ය. 

ප්‍රධාන තොරතුරු තාක්ෂණයන් පසුගිය වසර පහ ඇතුළත දී වේගයෙන් විකාශනය වී ඇත. ඊට සමගාමිව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ආයුධ වශයෙන්ද උක්ත තාක්ෂණය සක්‍රියව ඇති බව ගෝලීය භූ දේශපාලන සිතියමට අනුව පැහැදිළිව දර්ශනය වේ. නොයෙක් විධ දත්ත පදනම් කර ගත් තාක්ෂණයන්හී (Data-Driven Technologies) ගමන් මඟ, යන්ත්‍ර ඉගෙනීම (Machine Learning) සහ කෘතිම බුද්ධියේ, (Artificial Intelligence) ප්‍රධාන වෙනත් අංශ ඇතුළුව තොරතුරු මෙහෙයුම්වල පරිමාණය, සංකීර්ණත්වය සහ ඵලදායීතාවය වඩා කාර්‍ය්ක්ෂමව සහ වඩා විශ්වාසි අයුරින් උසස් තත්ත්වයට පත් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සහ අධිකාරීවාදී රාජ්‍යයන් අතර භූ දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක ආතතීන් (Ideological Tensions) උත්සන්න වන විට, වේගවත් තියුණු තාක්ෂණික දියුණුව මානව සංහතියේ සාමයට එරෙහිව භාවිතා කිරිමට ඇති අවස්ථා ප්‍රමාණයෙන් විශාල අතර විවිධාකාර වූ විනාශයන් පුරෝකථනය කිරීම ද දුෂ්කර වී ඇත. ප්‍රජාතන්‍ත්‍රවාදයට සහ එහි ජීව ගුණ ධර්මයන්ට දත්ත තාක්ෂණය හමුවේ ඔරොත්තු දීමේ හැකියාව ඇතත්, උක්ත හැකියාව අවශ්‍යය පමණට සමත් නොවනු ඇත. එළඹෙන තොරතුරු යුද්ධයේ රැල්ල යටතේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙනු ඇතැයි යනු භාවි කථනය කිරිම අතිශෝක්තියක් නොවනු ඇත.

නව්‍ය ජාතික ආරක්ෂක සුසමාදර්ශීය රූපාවලියක් (New National Security Paradigm) ඇතත් සැබවින්ම තොරතුරු තාක්ෂණය ආයුධකරණය (Weaponization Of Information Technologies) කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වනු ඇත. තොරතුරු තාක්ෂණය ආයුධකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සේම ජාතික ආරක්ෂාව පාලනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ඇති හැකියාව අවදානමට ලක් කිරීමටත්, රාජ්‍ය ක්‍රමයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ජනතාවගේ විශ්වාසය අඩපණ කිරීමටත් අභියෝගයක් බව අවබෝධ කර ගෙන කටයුතු කිරිම ජාතික අවශ්‍යතාවයන්ගේ  පළමු අවශ්‍යතාව වනු ඇතැයි යන්න නිවැරදිය.

 


 

Advertiesment