සිරිලක හැත්තෑ තුන් වන නිදහස් සමරුව උදා වී ඇත. නිදහස් සමරුවත් සමග අපට නිතැතින්ම සිහිපත් වන නාමයන් අතර පළමු තැන්හිලා සිහියට එන්නේ ජාතියේ පියා වූ අතිගරු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ය . නිදහස් රටක් බිහිකිරීම සදහා සිය කාලය, ධනය, ශ්‍රමය, හැකියාව ආදි සියල්ලක්ම කැපකල මෙතුමා විටෙක අධිරාජ්‍යවාදින්ගේ සිර ගෙදරද නවාතැන් ගත්තේය. ගලන ගඟක් බාධක පනවා වළකාලන්නට නොහැකි වුවා සේම ඩී.එස්. සේනානායකයන්ගේ ගමන නවතාලන්ට අධිරාජ්‍යවාදීන්ට නොහැකි විය.1815 මාර්තු 02 වනදා ඵෙතිහාසික කන්ද උඩරටදී අප රටේ ගුවන් තලයේ ලෙලදි දී තිබී බිමට පාත් කළ අපගේ ජාතික ධජය යළි වසර 133 කට පසු අහසට ඔසවා ලොවට අප නිදහස් ජාතියක්, නිදහස් දේශයක් බව පවසන්නට හැකි වූයේ ඩී.එස්.ගේ සුරතින් යළි මෙරට ජාතික ධජය අහසට එසවීමත් සමගය.
වර්ෂ 1884 ඔක්තෝම්බර් 20 වන දින මීරිගම බෝතලේ වලව්වේදී උපත ලද ඩී.එස්. සහෝදර සහෝදරියන් හතර දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා විය. දෙමාපියන් වූයේ දොන් ස්ටේපර් සේනානායක මුදලිතුමා සහ කැතරික් එළිසබත් පෙරේරා ගුණසේකර ළමා තැනියයි. ඩී.එස්.ට වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු විය. ඔවුන් නම් දේශබන්දු ඇෆ්. ආර් සේනානායක මහතා සහ ඩී. සී. සේනානායක යන මහත්වරුන්ය. ඩී. එස්. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සාමාන්‍ය අධ්‍යාපනයක් ලබා පාසල් ජීවිතයෙන් සමු ගෙන තම පියාගේ වතු පිටිවල සේවයට යොමු වූයේ කුඩා අවධියෙදීය. සේනානායක පවුල සතුවූ අක්කර 500 පමණ විශාල කොවුල්වැව වතුයාය සංවර්ධනය කිරීමේදී එම භූමියෙන් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් වගා කිරීම සිදු කළේ ඩී. එස්. ගේ අතින් බව අතීතයේදී පැරණි අය පවසා තිබේ.
පොල් වලවල් කැපිම, කාණු දැමිම, පැළ සිටුවීම, එම වගාවන් වන සතුන්ගෙන් බේරා ගැනිම ආදී කරුණු රාශියක් ඩී.එස්. විසින් සිදු කර ඇත. පොල් එකතු කිරීම, කොප්පරා වේලීම, එම කොප්පරා කරත්ත මගින් කොළඹට ගෙන ඒම ආදී කටයුතුවලට නායකත්වය දුන්නේ ඩී.එස්. විසින්මය. තම ගමේ සිට වෙළද බඩු පටවා ගෙන කොළඹට කරත්ත මගින් සිය නිෂ්පාදන රැගෙන එනවිටද ඩි.එස්. ඔවුන් සමග එකටම පැමිණියේය. අතරමග රාත්‍රියේදී ගැල්වල නවාතැන් ගනිමින්, කරත්තකරුවන් සමග බත් බුලත් කමින්, කරත්ත කවි, පැල් කවි ආදිය ගායන කරමින් පැමිණි මෙම ගමන් වාර ඩී.එස්.ට ගෙන දුන්නේ අමුතුම මිහිරියාවකි. එදා ගම්වල සිට කොළඹට පැමිණෙන මෙම ගමන් තව පැත්තකින් භයානක ඉරණම් විසඳෙන්නක්ද විය. ඒ මන්දයත් අතරමග රාත්‍රි කාලයේ වෙළෙන්දන් හමුවට පැමිණ ඔවුන් බිය ගන්වා මං පහරන හොරු රංචුද මේ ගමන් වාරවලදි හමු වන නිසාය. නමුත් ඩී.එස්. ගමන් කළ කිසිදු වාරයක අතරමගදී මං පහරන හොරුන්ට ගොදුරු නොවීම විශේෂ සිද්ධියක් විය.
දිවි ගමනේ 26 වන වියේදී විවාහ දිවියට පත්වූ ඩී.එස්.ගේ ප්‍රිය මනාලිය වූයේ මොලී දුනුවිල කුමාරි හාමිය. ඔහුගේ වැඩි මහල් සොහෝදරයා වූ ඩී. සී. සේනානායක මහතා විවාහ වූයේද ඇයගේ වැඩි මහල් සහෝදරිය සමගය. ඩී.එස්. යුවළට පිරිමි දරුවන් දෙදෙනකු විය. වැඩි මහල් පුතණුවන් වූයේ මෙරට සිවු වරක් අගමැති වූ ඩඩ්ලි සේනානායක මහතාය . දෙවන දරුවා වූයේ රොබට් සේනානායක මහතාය. සේනානායක පවුලේ ක්‍රියාකාරි සමාජ සේවයට පැමිණි ප්‍රථම පුද්ගලයා ලෙස හැදින්විය හැක්කේ එෆ්. ආර්. සේනානායක මහතාය. විදේශ ගත අධ්‍යාපනයක් ලබා අධි නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ආපසු සිය රටට පැමිණි එෆ්.ආර්. සේනානායක මහතා සැබෑම බෞද්ධයෙකු වු අතර දානපති සමාජ සේවකයෙකුද විය.
එක්වරක් තම නිවසට පැමිණි යදින්නෙකු දැක ඔහුට ආහාර පාන ආදියද දි මුදලක්ද පරිත්‍යාග කිරීමට සේවකයෙකුට පැවරූ එෆ්.ආර්, ටික වේලාවකට පසු යළි එළියට පැමිණියේය. පෙර පැමිණි සිටි සිගන මිනිසා තම නිවස දෙස බලා සිටිනු දුටු එෆ්.ආර්. ඔහු අසලට ගොස් තමාට මොනවත් ලැබුණේ නැද්දයි විමසීය. කිසිවක් නොලද බව ඔහු එෆ්.ආර්. ට පැවසීය. තවත් දෙවරක් කල්පනා නොකළ එෆ්.ආර්. තම අතෙහි මුදුගිල්ලෙහි ඇති විවාහය සංකේතවත් කරන රන් මුදුව ගලවා යදියාගේ පොල්කටුවට දමා ඔබ මේ මුදුව මුදල් කර දුප්පත්කම නැති කර ගන්නා ලෙස ඉල්ලීය. මෙම සිදුවිම ඈත සිට බලා සිටි සේනානායක මැතිනිය එතැනට දිව විත් සිදු වූ දේ විමසිය. සියල්ල පැවසූ එෆ්.ආර්. ඔබට මෙම රන් මුදුව උවමනා නම් එහි නියම වටිනාකම මෙම මිනිසාට ගෙවා මුදුව ලබා ගන්නා ලෙස දැන්වීය. වහා නිවසට රන්කරුවෙකු ගෙන්වූ සේනානායක මැතිනිය මුදුව කිරා මැන බලා එහි වටිනාකමට සමාන මුදල් ඔහුට ගෙවා යළි මුදුව එෆ්.ආර්. ගේ මුදුගිල්ලෙහි දැමුවේය. මේ ආදී සත් ක්‍රියා නිසා අප රටේ ජනි ජනයා එෆ්.ආර්. හැදින් වූයේ දේශයේම ඥාතියා ලෙසය. එම හැඳින්වීම කැටි කොට "දේශබන්දු" නාමය පට බැදුනි.
පසුගිය සිය වසේ මුල් දශකයේදී ඉංග්‍රිසි ආණ්ඩුව මෙරට ජනතාව මත් පැනට හුරු කිරීමේ අරමුණින් ගම් බිම් පුරා සුරා සැල් විවෘත කළේ රජයට මුදල් උපයා ගැනීමේ ක්‍රියා මාර්යක් ලෙසිනි. මේ තුළින් ජාතියට සිදු වන විපත දුටු එෆ්.ආර්. සේනානායක මහතා තවත් ජාති හිතෛශින් රැසක් එකතු කොට ගෙන 1913 වසරේ අගෝස්තු මස 31 වන දින මීරිගම ප්‍රදේශයේදී මහා රැස්වීමක් පවත්වා අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කළේ එහි රැස් වූ ජනී ජනයාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේදීය. මෙම රැස්වීම අමතා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක යන මහත්වරුන් කථා කොට ඇත. මෙම අමද්‍යප සටනට තම පියා වූ දොන් ස්ටේපර් සේනානායක මුදලි තුමන්ද තම සොහොයුරන් වූ ඩී.සී. සහ ඩී.එස්. යන සොයුරන් දෙපලද සහභාගී කරවා ගත්තේය.
මේ වෑයම හරහා ජනතා සේවයට බට වඩාත් සුවිශේෂී පුද්ගලයා වූයේ ඩී.එස්. සේනානායක මහතාය. වර්ෂ 1915 වසරේදී සිදුවූ අවාසනාවන්ත ජාතිවාදී කෝලාහලයෙන් පාඩම් උගත් මෙරට දේශප්‍රේමීන් 1919 දි ලංකා ජාතික සංගමය පිහිටුවා ගත්තේ මෙරටට නිදහස ලබා ගැනිම වඩාත් වේගවත් කර ගැනිම උදෙසාය. ලංකා ජාතික සංගමයේ ප්‍රබල නායකයන් වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ආචාර්ය සි.ඩබ්ලියු.ඩබ්ලියු. කන්නන්ගර, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම්, රාජ නීතිඥ ප්‍රැන්සිස් ද සොයිසා, ඊ. ඩබ්ලියු. පෙරේරා, රාජ නීතිඥ ඇම්.ටී.එස්. ද අමරසේකර, ඩී.ආර්. විජේවර්ධන, ජී.එස්. කොරෙයා සමඟ ඩී.එස්. සේනානායක මහතාද මෙහි ප්‍රබල නායකයෙක් විය.
1924 වසරේදි ඉංග්‍රිසි ආණ්ඩුව මගින් ආරම්භ කරන ලද ව්‍යවස්ථා දායක සභාවට මන්ත්‍රිවරයෙකු වශයෙන් නිතරගයෙන් තේරී පත්වූ ඩී.එස්. සේනානායක මහතා මීගමුව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයා ලෙස සිය දේශපාලන ගමන ඇරඹුවේය. එතැන් සිට 1952 දක්වා මැති සභා නියෝජිතයෙකු ලෙස වසර 32 ක් අඛණ්ඩව කටයුතු කළේ මෙරටේ දේශපාලන වංශ කතාවේ නව පිටු පෙරළමිනි. වර්ෂ 1931 වසරේ දී ඇරඹුණු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම සහ ඉඩම් ඇමතිවරයා වූ ඩී.එස්. මෙරට නව ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමට ගත් පියවරයන් ප්‍රශංසනියවේ.
මින්නේරිය, ඇළහැර, මිනිපේ, රාගම, බකමූණ, නාච්චදුව ආදී ගොවි ජනපද ආරම්භ කළ ඩී.එස් වන ගත වී තිබූ මෙරට රජරට වාරි මාර්ග ශිෂ්ඨාචාරයට ජීව වායුව යළි පිම්ඹේ මෙරට අතීතයේ විසූ රජ දරුවකු ලෙසින්ය. එදා සුදුසු අයුරින් මං මාවත් නොතිබුණු යුගයක විටෙක බක්කි කරත්තයෙන්ද, තවත් විටෙක බර කරත්තයෙන්ද ගම්වලට ගියේය. එසේ ගමන් කළ නොහැකි මාර්ගවල අලි ඇතුන් පිට නැගීමෙන්ද, තවත් විටෙක අශ්වයන් පිට නැගීද ගමන් කළේ නොයෙකුත් බාධක මැදය. සමහර ගම්වලට ගියේ ගොනුන් පිට නැග ගෙනය. මේ හැම ආකාරයෙන්ම බිය නොමැතිව ගමන් කිරීමට ඩි.එස්. ට මනා පළපුරුද්දක් තිබිණි. මෙසේ දුෂ්කර ගමනක යෙදී රටේ අස්සක් මුල්ලක් නෑර ගමන් බිමන්වල යෙදෙමින් ගොවි ජනතාවගේ දුක සැප සොයා බලන්නට ඔහු ගත් වෙහෙස එදා මෙදා තුර කිසිම නායකයෙකු ගත්තාද යන්න ප්‍රශ්නයකි. ගම් බිම්වලට පිවිසුණු පසු ගම් වැසියන් සමග සාකච්ඡා කර අවසානයේ එම ගමේම ගසක් යට ගිනිමැලයක් දල්වා ගෙන ගම්වැසියන් සමග මදුරුවන් තලමින්, ජනකතා, ජනකවි, සී පද කියමින්, අල බතල අනුභව කරමින් රෑ පහන් කළේ ගම් වැසි කාටවත් දෙවෙනි නොවන ගැමියෙකු ලෙසය.
ඩී.එස්.ගේ මෙම ගැමිකමට ගොවියන් අතුළු සියලු දෙනා ඇලුම් කළේ හද පිරි සතුටනි. මෙය කිසිම විටක මවා පෑමක් හෝ රගපෑමක් නොවන බව ජනතාවට ඒත්තු ගොස් තිබුණි. විටෙක ගොවියෙකු නුහුරට උදැල්ල අල්ලා කුඹුර කොටන විට ඔහු ළගට ගොස් උදැල්ල අල්ලන නිවැරදි ක්‍රමය කියා දුන්නේය. ගොවියන් සමග කුඹුරට බැස නගුලෙන් සී සෑවේය. පසුව ඇළට හෝ දොළට පැන ගොවියන් සමග දිය බුම් ගසමින් පිහිනා නෑවේය. ඩී.එස් සැබවින්ම ගොවියාට ගොවියෙක්ම විය.
ඔහු ගොවිකම් ඇමති ධූරය දැරු කාලයේ දී පළමුවෙන්ම ගොවියන් උදෙසා ඉඩම් අක්කර 27,000 ක් බෙදා දුන්නේ උපන් බිමේ අයිතිය ජනසතුවට ලක් කරමිනි. දෙවනුව තවත් අක්කර 32, 000ක් ගොවි ජනපද පුළුල් කිරීමේ වැඩසටහන යටතේදී බෙදා දෙන ලදි. මේ අතර ගොවියන් නොවන මධ්‍යම පාන්තික ජනතාවටද ඉඩම් අක්කර 5800 ක් ලබාදීම සිදු කළේය. මෙමගින් එක්ලක්ෂ හැට දහසක් පමණ ජනතාවට සිදුවූ සෙත එදා අප රටේ ජන ගහනය දෙස බැලීමේදී විශාල ප්‍රමාණයකි. සිය අමාත්‍ය ධූරයෙන් මේ තරම් විශාල භෞමික සංවර්ධන ක්‍රියාවලියක් සිදු කළ ද, රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය මගින් තම රටට නියම නිදහසක්වත්, සංවර්ධනයක්වත් නොලැබෙන බව වටහා ගත් ඩී.එස්. සේනානායක මහතා තම රටට අවශ්‍ය එකම දේ පූර්ණ නිදහසක් බව තම සිතෙහි තබා ගත්තේය.
1931 සිට 1947 දක්වා වසර 15 ක් පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමයට ඉතා ඉක්මනින් සමු දිය යුතු බව ඔහුගේ පොදු අදහස විය. ඒ බව හේතු සාධකව පෙන්වා දුන් අවස්ථා බොහෝ ගණනක් විය. නිදහස දිනා ගැනීමේ සටන ප්‍රබල කරමින් මීට වසර 75 කට පෙර අප රටේ පැවති දේශපාලන සංවිධාන රාශියක් ඒකරාශි කර ගනිමින් 1946 සැප්තැම්බර් මස 06 වන දින කොළඹ "ෆාම් කෝට්" මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගැනිමට ඩී.එස්. සේනානායක මහතා නායකත්වය දුන්නේය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතිකයන්ද බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී ආගමික නායකයින්ද එක් අරමුණකට ගෙන ඒමෙන් නිදහස දිනා ගෙන රට පාලනය කිරීම සිය අරමුණ කර ගත්තේය. මේ අතරවාරයේ එංගලන්තයේ සංචාරයකට එක් වුණු ඩී.එස්. සේනානායක මහතා අප රටට පූර්ණ නිදහස ලබා ගැනිමට අවශ්‍ය සාකච්ඡා කිහිපයකට සහභාගි විය. සියලු ජනතා නායකයින් එකට එක්වී ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස 1947 ජූලි මස 01 දා එතෙක් පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය විසුරුවා හැර ශ්‍රී ලංකාවටද පාර්ලිමේන්තු ක්‍රමයකට අවශ්‍ය ඉඩකඩ සලසා දීමට ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රියාත්මක විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු ඡන්දය 1947 වසරේදී පවත්වා තේරි පත්වූ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් 1947 නොවැම්බර් 15 වන දින අප රටේ ප්‍රථම පාර්ලිමේන්තුව රැස් වූයේ අගමැති පදවියට පත්වූ ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් රජයක් පිහිටුවමිනි. ඩී.එස්. සේනානායක මහතාගේ රජයේ එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, නුගවෙල, ඇම්.ඩී. බණ්ඩා, ලලිත රාජපක්ෂ, ටී.බි. ජයා, ජේ.ආර්. ජයවර්ධන, ඒ රත්නායක වැනි ප්‍රබල නායකයන් ඇමති ධූර හෙබ වීය.
නව රජය අප රටට නිදහස දිනා ගැනීම සදහා නිදහස් පනත ඉදිරිපත් කළේ තිර අධිෂ්ථානයකින් යුතුවය. එම මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 59 දෙනකුගේ ඡන්දයෙන් නිදහස් පනත සම්මත විය. එහි ප්‍රතිඵලය වූයේ මීට වසර 73 කට පෙර එනම් 1948 පෙබරවාරි 04 වන දින නිදහස හිමි වීමයි. එදා සිට මෙරට ජනතාව ඩී.එස්. සේනානායක මහතා "ජාතියේ පියා" යන විරුදාවලියෙන් පිදූහ. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයාද වූ ඩී.එස්. සේනානායක මහතා කෙත, කුඹුර, වැව, දාගැබ, ගම, පන්සල, පිරිවෙණ,පාසල, පල්ලිය, කෝවිල, දේවාලය, දෙව් මැදුර යන සියල්ල එකතු කර ගෙන ජාතික සමගියෙන් යුතුව දේශයක් ගොඩනගන්නට ගත් ක්‍රියාමාර්ග ඉමහත්ය. ලක් දිවයිනේ විසූ රජ දරුවකුගේ ස්වරූපයත්, තීක්ෂණ බුද්ධියත්, දුර දක්නා ඉසිවර නුවණත් කැටි කොට ශ්‍රී ලංකාව පාලනය කළේ දේශයටත්, ජාතියටත් ආදරය කළ ශ්‍රේෂ්ඨ පියෙකු ලෙසයි. ඔහු සැබවින්ම නායකයෙකි. දේශ සේවකයෙකි. එබැවින් අප රටේ හැත්තෑ තුන් වන නිදහස් දින හැමරුම යෙදෙන මේ මොහොතේ ජාතියේ පිය වූ, අති ගරු ඩි.එස්. සේනානායක ශ්‍රීමතාණෝ සිහිකිරීම කෘත ගුණ දන්නා ලක්වැසි සියලු දෙනාගේම යතුකමයි. මිනිස් වෙස් ගත් බෝසතෙකි. ඩී.එස්. වෙනුවෙන් චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ සමරු ගීතයේ පද පෙළකින් මම මෙම ලිපිය අවසන් කරමි.
"සිතෙනුත් නායක, ගතෙනුත් නායක,
ජන නායක සිරි ලක් පොළවේ
දොන් ස්ටීවන් සේනානායක
ගරු තර නාමය ලොව පළවේ..
රුහුණේ ලා දළු, රජ රට දියවැලි
මායා රට මල්පෙති සොලවා,
හෙල බිම නිදහස් කළ නායකයා
සමරමු හද බැතියෙන් පුරවා...
ජීවනයේ බල ඔද තෙද ගන්වවු
සේනානායක නම සමරව්.."
Lanka Newsweek © 2024