Saturday 8th of May 2021

English Tamil
Advertiesment


COVID-19 එන්නත සාධාරණ ලෙස ලබා දෙනු


2021-01-29 7857

රටේ හොරකම් ගැන සිය ස්ථාවරය පැහැදිළි කිරීම ජනපතිගේ කීර්ති නාමයට හොඳයි 

 

සීනි ගනුදෙනුව-ලංකා බැංකු ණය මුදල ගැන ප්‍රකාශයක් අවශ්‍යයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ඉන්දියාවෙන් සහ චීනයෙන් පරිත්‍යාග ලෙස ලැබෙන COVID-19 එන්නත ප්‍රමුඛතාවය අනුව සාධාරණ සහ විනිවිද භාවයකින් යුතුව අත්‍යවශ්‍යම සහ සුදුසුම අය වෙත ලබා දීමට රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (28) සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව පැවසූ කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

කොවිඩ් වසංතය පාලනය කිරිම සඳහා ඉන්දියානු රජයෙන් එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා. එමෙන්ම චීන රජයෙන්ද එවැනි පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවට නිවේදනය කර තිබෙනවා. මේ එන්නත් අදාළ රටවල් ලබා දෙන්නේ පරිත්‍යාග ලෙසයි. ඒ පිළිබදව අප අතිශයින්ම සතුටු වෙනවා. ඒවගේම පුරවැසියන් ලෙස අප ඉන්දීය රජයටත්, චීන රජයටත් ඒ පිළිබදව ස්තූතිවන්ත වෙනවා.

මේ තත්ත්වය මත අදාළ එන්නත් අත්‍යවශ්‍යම සහ සුදුසුම අය වෙත ලබා දෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.එම එන්නත් ලබා දීම ඉතාමත්ම සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව සිදු වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. 

ඒවගේම රජයේ සමහර අංශවල සිදුව ඇති වංචා සහ දූෂණ ගැන ගරු ජනාධිපතිතුමා දැඩිව කතා කළා. ඒ ගැන අපි සතුටු වෙනවා. සතොස සීනි ගණුදෙනුව සහ ලංකා බැංකුවේ ණය මුදල ගැන රජයේ ස්ථාවරය පැහැදිළි කළොත් එම තත්ත්වය ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට වැදගත් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

නමුත් තවමත් මේ පිළිබදව රජයේ ස්ථාවරය පැහැදිළි කර නැහැ. එම තත්ත්වය සවිස්තරාත්මක පැහැදිළි කළ යුතුයි. එසේ නොවීම නිසා දැනටමත් මේ ගැන සමාජයේ යම් බලවත් අවිශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. ඒක සාධාරණ අවිශ්වාසයක්. යම් පදනමක් ඇතිව ගොඩනැගී ඇති අවිශ්වාසයක්. අප මේ කරුණු අවධාරණය කරන්නේ හේතු සහිතවයි. එමෙන්ම සත්භාවයෙන් යුතුවයි. 

තවමත් නොවිසදු රටට විශාල හානිකර කරුණක් විය හැක්කේ කොවිඩ් වසංගතය නිසා සිදු වන මුස්ලිම් මරණ ආදාහනය කිරීම පිළිබඳ ප්‍රශ්නයයි. ලෝකයේ බොහෝ රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අද ඒ ගැන දැඩි ස්ථාවරයක් ගෙන තිබෙනවා. මුස්ලිම් රටවල් දැනටමත් සිය අසතුට ප්‍රකාශ කර තිබෙනවා. අන්තර්ජාතිකව අප තනි වුණොත් පීඩා විඳින්නේ අසරණ ජනතාවයි. තවත් කල් නොහැර මේ ගැන රජයේ ස්ථාවරය අවසාන වශයෙන් පැහැදිළි කිරීම යෝග්‍ය බව අපගේ හැඟීමයි.

එමෙන්ම මේ දිනවල අලි - මිනිස් ගැටුම නිසා ඇතිව තිබෙන ජනතා පීඩනය ගැන රටේ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා. ජීවිත අහිමිවීම්, නිවාස සහ භව භෝග විනාශවීම් ආදිය නිසා අසරණ ජනතාව ගෙවන දුක්ඛිත ජීවිත ගැන අපගේ අවධානය යොමු විය යුතුයි. මේ කරුණ අපගේ බුද්ධි මණ්ඩලය විසින් අධ්‍යයනය කර අපගේ අදහස් මීට පෙරත් ඉදිරිපත් කර තිබෙනවා.

කිසිම ආණ්ඩුවක් මෙතෙක් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා පියවරක් නොගත් බවට ජනතාව චෝදනා කරනවා. අලි - මිනිස් ගැටුම ගැන උපදෙස් ලබා ගත හැකි කීර්තිමත් වියතුන් අපේ රටේ සිටිනවා. ඔවුන්ගේ ප්‍රකාශන ලෝක ඇගයීමට ලක්වී තිබෙනවා. ඒවාහි ඇති නිර්දේශ සමහර රටවල් දැනටමත් උපයෝගී කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනටමත් ආදර්ශ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව,මැලේසියාව හා මියන්මාරය වැනි රටවල නියෝජිතයින් මෙම ආදර්ශ ව්‍යාපෘති අනුකූලව සිය රටවල අලි - මිනිස් ගැටුම් බොහෝ දුරට විසඳා ගෙන තිබෙනවා. ඒවගේම අප්‍රිකානු රටවල් 13ක නියෝජිතයින් 2017 ශ්‍රී ලංකාවට පැමිණ අපගේ ක්‍රමවේදය අධ්‍යයනය කර ගෙන තිබෙනවා.

අපි මේ කරුණු දෙවැනි වතාවටත් සඳහන් කරන්නේ මෙම ප්‍රශ්නය විසදීමට අවශ්‍ය බුද්ධිය මේ රටේ තිබෙන බව කීමටයි. අවශ්‍ය වන්නේ රජයේ ක්‍ෂණික අවධානය යි. මෙම ගැටලුව විසදීමට ගම සමඟ බද්ධ විය යුතුයි. ග්‍රාම නිළධාරී සිට දිසාපති දක්වා සෑම නිලධාරියෙකුම මේ කණ්ඩායමට ඇතුළත් විය යුතුයි. දැනට වගා හානිය සඳහා කිසිම වන්දියක් නොගෙවීම අසාධාරණයි. මෙම ජනතාව බොහෝවිට වගා කටයුතු සිදු කරන්නේ තමන්ගේ කන කර බඩු උකසට තබා මුදල් ලබා ගෙනයි. එම නිසා තමන්ගේ කන කර බඩු උකස් කර ලබා ගත් මුදල් විනාශ වූ විට නැගෙන අදෝනාව අප අසා තිබෙනවා. එවිට අපටත් ඇති වන්නේ දැඩි වේදනාවක්.එම නිසා වන සතුන් විසින් සිදු කරන වගා හානි සඳහා අදාළ ගොවීන්ට කිසියම් වන්දි මුදලක් ගෙවීම ඉතාමත්ම සාධාරණයි. 

මෙම කටයුතුවල සාර්ථක ප්‍රතිළුල ලැබීමට නම් ජනාධිපති කාර්ය සාධක බලකායක් වහාම ස්ථාපිත කළ යුතුයි. එහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවට විශාල කාර්ය භාරයක් කළ හැකියි. අප සංවිධානය මඟින් යහපත් චේතනාවෙන් ඉදිරිපත් කරන මෙම යෝජනා ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානයට යොමු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
 

Advertiesment