Tuesday 26th of October 2021

English Tamil
Advertiesment


One-Galle Face හී ආයෝජනය කළ ස්වදේශිකයින් අනාථයි 


2021-01-21 7215

"Shangri-La" චීන්නු දේශීය ආයෝජකයින් සූරා කන හැටි මෙන්න 

 

අපේ රටට ඇවිත් චීන්නු අපේම මිනිස්සුන්ට කෙළින්නේ මෙහෙමයි 

 

ස්වදෙශිකයින්ට තර්ජන-ගර්ජන-බලපෑම් 

 

ස්වදෙශිකයින්ට වඩා චීන්නු උසස් යැයි ප්‍රබල චීනෙකු පුරසාරම් දොඩලා

 

ලෝක ප්‍රසිද්ධ සන්නාමය කෙළසා ගනී- "Shangri-La" ගේ හිඟනකම මාට්ටු 

 

"One-Galle Face" පාළු සොහොන් පිටියක් වෙලා-ආයෝජනය වතුරේ..!  

 
 
(සුජිත් මංගල ද සිල්වා)  

 

සාධාරණ ලාභයක් උපයා ගැනීමට නොහැකි වීම සහ අසාධාරණ පිරිවැයක් දැරීමට සිදුව තිබීම හේතුවෙන්, ලොව පිළි ගත්-සුප්‍රසිද්ධ වෙළෙඳ සන්නමයක් වන "Shangri-La" හෝටල් සමාගමට අනුබද්ධිත "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණයේ සුපිරි වෙළෙඳ කුටිවල සිය ව්‍යාපාර ආරම්භ කරමින් ඊට රුපියල් කෝටි ගණන් ආයෝජනය කළ දේශීය ව්‍යාපාරිකයෝ මේ වන විට අනාථ වී සිටිති.  

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ එම වෙළෙඳ කුටිවල ආයෝජනය කිරීමෙන් ලබා ගත හැකි විශාල ලාභය, ඒ වෙනුවෙන් ආයෝජකයින්ට ලබා දෙන පහසුකම්, ඉදිකිරීම් සංවර්ධන කරන ආකාරය, සුපිරි වෙළෙඳ සැල් කළමනාකරණය කරන ආකාරය සහ වෙළෙඳ කළමනාකරණයට අදාළව ජාත්‍යන්තර පාරිභෝගික අභියාචනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයන් මගින් උපදෙස් ලබා දීම ඇතුළුව එම ආයෝජකයින්ට ලබා දුන්  පොරොන්දු උල්ලංඝනය කරමින් ද, ස්වදේශික ව්‍යාපාරිකයින් නොසලකා හැර ඔවුන්ට තර්ජන-ගර්ජන-බලපෑම් කරමින් ද, අතිශය අසාධාරණ විශාල පිරිවැයක් ඔවුන් මත පටවා ඔවුන් සූරා කමින් ද "Shangri-La" හෝටල් සමාගමට අනුබද්ධිත "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණයේ පාලනාධිකාරිය ගෙන යන අත්තනෝමතික, අධානග්‍රාහී සහ ඒකාධිපති පරිපාලනය වේ.

මෙම "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණයේ වෙළෙඳ කුටි ඉදි කිරීමේ කටයුතු ගිවිස ගත්  නියමිත කාලය ඇතුළත අවසන් කර ස්වදේශික ව්‍යාපාරිකයින්ට භාර දීමට අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු පූර්ව COVID-19 වකවානුවේ දී අසමත් වූ අතර ඒ හේතුවෙන් එම වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම මාස ගණන් ඇදී ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල ආදායමක් අහිමි වී ගොස් ඇති අතර ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල ප්‍රමාද පිරිවැය දැරීමට "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණයේ පාලනාධිකාරියට සිදුව තිබේ. එහිදී එම පාලනාධිකාරිය සිදු කර තිබෙන්නේ ව්‍යාපෘතියේ ප්‍රමාද පිරිවැය ඇතුළු අති විශාල අලාභය ස්වදේශික ව්‍යාපාරිකයින් මත අසාධාරණ ලෙස බලහත්කාරයෙන් පැටවීම වන අතර ඒ හේතුවෙන් එම ව්‍යාපාරිකයින් කිසිවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණ වී ඇත.

ගිවිස ගත්  නියමිත කාලය ඇතුළත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර භාර දීමට නොහැකි වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු කියමින් "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණයේ අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු අවධාරණය කර ඇත්තේ, "Shangri-La" හෝටලයට 2019 අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා එල්ල කෙරුණු මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග රටේ උද්ගත වූ තත්ත්වය ඊට බලපෑ බවය. එහෙත් ස්වදේශික ව්‍යාපාරිකයින් තරයේ කියා සිටින්නේ, "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණය "Shangri-La" හෝටලයට සම්බන්ධ නැති එම හෝටලයෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වූ ව්‍යූහයක පිහිටා ඇති නිසා අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු කියන කතාව කිසිසේත් පිළි ගත නොහැකි අතර එම කාරණය නිදහසට කරුණක් නොවන බවය.

චීන ජාතිකයෙකු වන මෙම ව්‍යාපෘතියේ සංවර්ධකයා (Developer) හෙවත් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු ශ්‍රී ලාංකේය ව්‍යාපාරික සංස්කෘතිය පිළි ගැනීම ප්‍රතික්ෂේප කරන අතර ස්වදේශික ව්‍යාපාරිකයින්ට වඩා තමා උසස් පුද්ගලයෙකු බව මානයෙන් යුතුව අඟවමින් සිටින්නේ ස්වදේශිකයින්ට විවිධ කෙණහිලිකම්, බලපෑම්, අවමන්, නොසලකා හැරීම් සහ තර්ජන ද කරමිනි. මේ අතර "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණයේ දේශීය කළමනාකරණ කණ්ඩායමට ද සාප්පු ඉදිකිරීම, සංවර්ධනය කිරීම, කල් බදු සේවා සැලසීම සහ එම වෙළෙඳ සංකීරණයේ අඩුපාඩු සේම අවශ්‍යතා පිළිබඳව සොයා බලා කළමනාකරණය කිරීම ඇතුළු කාර්යභාරයන්, රාජකාරී සහ වගකීම් සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක්, අත්දැකීමක්, පළපුරුද්දක් හෝ පුහුණුවක් නොමැත.

"One-Galle Face" ව්‍යාපෘතිය විවෘත කිරීම විශාල වශයෙන් ප්‍රමාද වීම කෙරෙහි මේ සියලු තත්ත්වයන් බලපා තිබෙන අතර ඒ වෙනුවෙන් අධික පිරිවැයක් දරමින් වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ස්වදේශික ආයෝජකයින්ටය. ව්‍යාපෘතියේ ප්‍රමාද පිරිවැයට අදාළව එම වෙළෙඳ සංකීරණයේ වෙළෙඳ කුටි කුලියට ගෙන සිටින ස්වදේශික ව්‍යාපාරිකයින්ට දැරීමට සිදුව තිබෙන මුදල වෙනුවෙන් ව්‍යාපෘති සංවර්ධකයා (Developer) ඔවුන්ට ලබා දී තිබෙන්නේ සුළු වට්ටමක් වන අතර එම ව්‍යාපාරිකයින් කර ඇති රුපියල් කෝටි ගණනක ආයෝජනයට සහ ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් ඔවුන්ට අහිමි වූ විශාල ආදායමට සාපේක්ෂව එම වට්ටම ඉතාම සොච්චමකි. ඒ කියන්නේ ව්‍යාපෘති සංවර්ධකයා (Developer) සිය කළමනාකරණ නොහැකියාව කිසිසේත් නොපිළි ගන්නා අතර ඔහුගේ නොහැකියාවේ, වැරදි කළමනාකරණයේ සහ අනවබෝධයේ පිරිවැය දරන ලෙසට ස්වදේශික ආයෝජකයින්ට බලපෑම් සහ තර්ජනය කර ඇති බවය.

COVID-19 වසංගතය රට පුරා පැතිර යාමත් සමග ආර්ථිකය කඩා වැටී ව්‍යාපාර අඩාල වී ජනතාවගේ ආදායම් අහිමි වී සියලු දෙනා අනාථ වී සිටින නමුත් ඒ කිසිවක් නොතකන "Shangri-La" - "One-Galle Face" ව්‍යාපෘතියේ පාලනාධිකාරිය සිය වෙළෙඳ සංකීරණයේ ස්වදේශික ව්‍යාපාරිකයින්ට ඒ අයගේ වෙළෙඳ කුටිවල කුලිය වෙනුවෙන් කිසිදු සහනයක් ලබා නොදී සිය කුලී ආදායම අඛණ්ඩවම පවත්වා ගෙන යන්නේ අතිශය අමානුෂික ලෙසය. තර්ජනය කිරීම, වගකීම් පැහැර හැරීම, ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කර නියමිත වේලාවට ලබා නොදීම, අකාර්යක්ෂමතාවය, පොරොන්දු කඩ කිරීම සහ ස්වදේශික ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණනක් ලබා ගැනීම ඇතුළු අසාධාරණකම්වලට එරෙහිව සටන් කරද්දී "One-Galle Face" ව්‍යාපෘතියේ පාලනාධිකාරිය සහ සංවර්ධකයා (Developer) කරන්නේ දේශීය ව්‍යාපාරිකයින්ට සිය බලය යොදවා තර්ජනය කිරීමය.

සිය කුලී ලාභය උපරිම කර ගැනීම සඳහා "Shangri-La" - "One-Galle Face" ව්‍යාපෘතියේ පාලනාධිකාරිය දේශීය ව්‍යාපාරිකයින්ට බල කරමින් කියා සිටින්නේ වෙළෙඳාමක් තිබුණත් නැතත් එම වෙළෙඳ කුටි විවෘත කර තබන ලෙසය. මේ හේතුවෙන් දේශීය ව්‍යාපාරිකයින් විශාල වශයෙන් මුල්‍ය දුෂ්කරතාවලට මුහුණ පා සිටින අතර සමහරුන් මේ වන විටත් බංකොලොත් වී ඇත. මේ අතර වෙළෙඳ කුටි සඳහා වන කුලිය ගෙවීමට ප්‍රමාද වුව හොත් ඒ වෙනුවෙන් අසාධාරණ ලෙස දඩයක් අය කිරීමට ද "Shangri-La" - "One-Galle Face" ව්‍යාපෘතියේ පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින අතර ඒ දඩ මුදල කුලිය වගේ දෙගුණයක් වේ. එමෙන්ම එම දඩ මුදල ගෙවීම පැහැර හරින අයගේ කුලී ගිවිසුම අහෝසි කරන බවට ද ඔවුහූ දේශීය ව්‍යාපාරිකයින්ට තර්ජනය කරමින් සිටිති.

සිය ව්‍යාපාර වසා දමන ලෙසට බොහෝ ව්‍යාපාරිකයින්ට මොවුන් තර්ජනය කරමින් බල කර සිටින අතර ඒ හේතුවෙන්ම "One-Galle Face" වෙළෙඳ සංකීර්ණය මේ වන විට බොහෝ සෙයින් හිස් අවකාශයක් බවට පත් වෙමින් තිබේ. මේ තත්ත්වය අමාරුවෙන් හෝ සිය වෙළෙඳ කුටිය පවත්වා ගෙන යමින් ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයින්ට අහිත කර ලෙස බලපා තිබේ. කෙසේ නමුත් මහා පරිමාණ සමාගම්, බහු අඩවි සහ බලවත් කුලීකරුවන්ට ඕනෑ තරම් සහන, පහසුකම් සහ විශේෂ පරිත්‍යාග ලබා දීමට "One-Galle Face" පාලනාධිකාරිය ක්‍රියා කරන්නේ සුළු පරිමාණ කුලීකරුවන්ට අතිරික්ත ගාස්තු ගෙවීමට බල කරමින් සහ තර්ජනය කරමිනි.  

මේ අතර "One-Galle Face" හී ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පනවා ඇති අතිශය අසාධාරණ සහ අත්තනෝමතික කොන්දේසි හේතුවෙන් "One-Galle Face" වෙළෙඳ සංකීරණයේ සේවය කරන සාමාන්‍ය සහ සුළු සේවක සේවිකාවන්ගේ රැකියා ද අහිමි වෙමින් පවතියි. එපමණක් නොව මොවුහූ COVID-19 ට මුවා වී කිසිම අනුකම්පාවක්-හිතක්-පපුවක් නොමැතිව එම අන්ත අසරණ සාමාන්‍ය සහ සුළු සේවක සේවිකාවන්ගේ මාසික වැටුපෙන් 35%ත් 45%ත් අතර ප්‍රතිශතයක් අසාධාරණ ලෙස කප්පාදු කරති. සිය රැකියාව කෙසේ හෝ රැක ගැනීම සඳහා දේශීය සේවක සේවිකාවෝ මේ සියලු අසාධාරණ ඉවසා දරා ගෙන සිටිති. ඒ සිය රැකියාව අහිමි වුණොත් සිය දූ දරුවන් සහ දෙමව්පියන් පෝෂණය කිරීමට සහ රැක ගැනීමට කිසිදු මාර්ගයක් නොමැති අතර කිසිවෙකුගේ අවුහරණක් නොලැබෙන බව ඔවුන් දන්නා නිසාය."One-Galle Face" කළමනාකරණ කණ්ඩායමට මහා පරිමාණ වෙළෙඳ කළමනාකරණය පිළිබඳව අත්දැකීම් නොමැති අතර ව්‍යාපාර යථාර්ථය ගැන ද කිසිදු දැනුමක් හෝ අවබෝධයක් නොමැත. 

මෙම පසුබිම යටතේ  "Shangri-La" හෝටල් සමාගමට අනුබද්ධිත "One-Galle Face" සුපිරි වෙළෙඳ සංකීරණය වෙත පාරිභෝගික ජනයාගේ පැමිණීම විශාල වශයෙන් අඩාල වී ඒ හේතුවෙන් ව්‍යාපාරික කටයුතු බිඳ වැටී වෙළෙඳ සංකීරණය පාළුවට ගිය සොහොන් පිටියක් හා සමාන මට්ටමකට පත්ව ඇති අතර පහත ඡායාරූපවලින් ඒ බව මනාව පැහැදිළි වේ.   

 

  

       

  

  

Advertiesment