Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ක්‍රිකට් ලෝක කුසලානය යනු පංති අරගලයක ජයග්‍රහණයක් 


2021-01-17 14339

අර්ජුන රණතුංග ක්‍රිකට් ප්‍රජාතාන්ත්‍රීයකරණය කළේ මෙහෙමයි 

 

බමුණු කුලයේ ගල් ලෙන බිඳලා ක්‍රිකට් මහා පොළවට ගෙන ආවා 

 

කුසලතා සපිරි ඉංග්‍රීසි බැරි කොල්ලන්ට තැන දුන්නා

 

අරගලයට හයිය දුන්නේ ගාමිණී දිසානායක

 

ක්‍රිකට් ලෝක කුසලානයේ තිරය පිටුපස සමාජ-දේශපාලන කතාව මෙන්න..!   

 
 
(සුදර්ශන ගුණවර්ධන)

 

ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය පළමු සහ එකම වතාවට ශ්‍රී ලංකාවට දිනා දුන් නායකයා වන අර්ජුන රණතුංග මහතා සමග සජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව 2016 මාර්තු 17 වනදා මට හිමි විය. ඒ ජාතික රූපවාහිනිය වෙනුවෙනි. හරියටම ඊට වසර විස්සකට පෙර ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

ලෝකයේ එතරම් ප්‍රසිද්ධියක් නැති කුඩා රටක් වන ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කරා පැමිණීමේ රහස හාරා අවුස්සා ගන්නට මම උත්සාහ කළෙමි. අර්ජුන රණතුංග ඒ පිළිබඳව කළ විස්තරයෙන් මට තේරුම් ගියේ අතිරේක ක්‍රීඩකයන්ද සමග දක්ෂයන් 14 දෙනෙකුගේ සංචිතයක් තෝරා ගැනීම වෙනුවට "තමාට පෙර රට" යන ආදර්ශයෙහි පිහිටා ක්‍රීඩා කරන, කණ්ඩායම් හැඟීමෙන් යුතු, නායකත්වයට ගරු කරන කණ්ඩායමක් තෝරා ගෙන, වසර දෙකක පමණ ඉලක්කයක් සහිතව එම කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම ජයග්‍රහණයේ රහස බවයි. 

එවන් කණ්ඩායමක් තෝරා ගැනීම කළ හැක්කේ රට පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයන් සොයා ගෙන ඉදිරියට ගැනීමෙනි. ඒ සඳහා විවිධ අන්තර් පාසල් සහ අන්තර් ක්‍රීඩා සමාජ තරග නරඹමින්, දක්ෂතා ඇති අංකුර ක්‍රීඩකයන් සොයා ගැනීම පූර්ව කොන්දේසියක් විය. එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සභාපතිව සිටි අභාවප්‍රාප්ත ගාමිණි දිසානායක මහතා ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයේ අනුග්‍රහය ඇතිව එවන් ක්‍රීඩකයන් හඳුනා ගෙන කොළඹට ගෙන ඒමට අර්ජුන ගත් උත්සාහය පිළිබඳ විස්තරය අසන විට මට සිහි වූයේ අනාගත සංග්‍රාමයකට අවශ්‍ය දස මහ යෝධයන් හෙවත් සෙන්පතියන් හඳුනා ගෙන එක් රැස් කිරීම කළ මාගම්පුර රාජධානියේ කාවන්තිස්ස රජතුමාය. 

එසේ ක්‍රමානුකූලව ගොඩනගා ගත් කණ්ඩායමට චිත්ත ධෛර්යය හෙවත් "මොරාල්" එක සපයා ඉදිරියට ගෙන යාමට එක් පූර්ව කොන්දේසියක් වූයේ කණ්ඩායම අභ්‍යන්තරයේ සන්නිවේදනය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා කණ්ඩායම අභ්‍යන්තරයේ විවෘතව සාකච්ඡා කිරීමේ සම්ප්‍රදායක් ඇති කළ යුතුව තිබිණි. සාකච්ඡා කිරීමට භාෂාව අවශ්‍ය වන අතර කාලයක් තිස්සේ එක්තරා පැළැන්තියක් අත පමණක් රැඳී තිබුණු ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත ඒ පැළැන්තියේ සහ ඔවුන්ගේ බස වන ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය බිඳ දැමීම අවශ්‍ය විය. සමහරු මෙම ක්‍රියා මාර්ගය "Royal-St.Thomas" ආධිපත්‍යය බිඳ දමා සිංහල බෞද්ධ පාසල් වන "Ananda-Nalanda" යන විදුහල් අතට ආධිපත්‍යය මාරු කිරීමක් ලෙස වරදවා දැක්වුවද, අර්ජුන රණතුංග කියන්නේ එම බෙදීම ව්‍යාජ එකක් බවයි. 

එවකට ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදුණේ එක්තරා පැළන්තියක සහ පරම්පරාවක උදවිය වූ අතර, ඔවුන් රාජකීය-ශාන්ත තෝමස් වැනි විද්‍යාලයන්හි පමණක් නොව ආනන්ද-නාලන්ද වැනි විද්‍යාලයන්හිද සිටියහ. මේ දෙවර්ගයේම පාසල්වල සිටි එකී පැළැන්තියට අයත් නොවන සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව විවෘත නොවීය. "SSC" හෙවත් සිංහල ක්‍රීඩා සමාජයේදී අර්ජුන රණතුංග සමග සිංහලෙන් කතා කරන්නේ ශාන්ත තෝමස් විද්‍යාලයට ගිය මොරටුවේ ලුයිස් රොහාන් දුලිප් මෙන්ඩිස් විනා ආනන්ද විද්‍යාලයෙන් පැමිණි සිදත් වෙත්තමුනි නොවේ. 

තමා එංගලන්තයට ගිය විට සිංහල ක්‍රීඩා සමාජයේ හෙවත් "SSC" ය සහ එංගලන්තය අතර වෙනසක් සොයා ගැනීමට තමාට නොහැකි වූ බව අර්ජුන රණතුංග කියන්නේ අතිශයෝක්තියෙන් නොව සිංහල ක්‍රීඩා සමාජය එතරම්ම ඉංගිරිසිකරණය වී තිබූ බැවිනි. එහෙව් සිංහල ක්‍රීඩා සමාජයේ නායකත්වයට පත් වන අර්ජුන රණතුංග එහි උත්සවවලට ජාතික ඇඳුම ඇඳ ගෙන යාම වනාහි එක්තරා ආකාරයක සංකේතීය කැරැල්ලකි. 

ඔහු කියන පරිදි ගම්පහ, උඩුගම්පොල සිට ආනන්ද විද්‍යාලයට පැමිණි ඔහුට හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීම අසීරුව පැවතිණි. පුළුවන් ඉංග්‍රීසියෙන් කතා කිරීම යනු ඉංග්‍රීසි වහරන පැළැන්තියේ සේම ඉංග්‍රීසි කතා කළ නොහැකි පැළැන්තියේද අවඥාවට ලක් වන කාරණයකි. අමාරුවෙන් හෝ ඉංගිරිසියෙන් අදහස් ප්‍රකාශ කරන්නට උත්සාහ ගන්නා එවැනි අයට ඉංග්‍රීසි වහරන පැළැන්තිය "රජා මරණ" බවට ද, ඉංගිරිසි කතා කළ නොහැකි පැළැන්තිය "කඩ්ඩ" දාන්න එන බවට ද කියමින් අවඥාවට ලක් කරති. එහි සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ඉංගිරිසි හරියට වහරන්නට නොහැකි පුද්ගලයා ඒ ඒ සාකච්ඡා ඇතුළත දී කට පියා ගන්නා අතර වැඩ බැරි වුණත් "කඩ්ඩ පොලිෂ්" හාදයන් පොරවල් වීමය. 

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාකච්ඡා සාමාන්‍යයෙන් පැවැත්වී තිබුණේ ඉංග්‍රීසියෙනි. එම සාකච්ඡා විනාඩි පහළොවකට හෝ විස්සකට වඩා දිගට ඇදී නොයයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස 1982 දී "Test" කණ්ඩායමට ඇතුළු වූ අර්ජුන රණතුංග එවන් සාකච්ඡාවලදී බොහෝ දුරට නිහඬ වත පුරන ලද්දේ සිය නිර්ව්‍යාජ හැඟීම් සහ අදහස් කියා පෑමට භාෂාව බාධාවක් වූ බැවිනි. 

එහෙත්, තමා නායකත්වයට පැමිණි පසු කළ පළමු විදෙස් සංචාරයේදීම කණ්ඩායම් රැස්වීම් සිංහලෙන් පැවැත්වීමට අර්ජුන රණතුංග ක්‍රියා කළේය. ඒ හේතුවෙන් භාෂා බාධකය බිඳී ගියේය. මේ ගැන අර්ජුන රණතුංගගේ වචනයෙන්ම කිව්වොත් "අලුත් ළමයින්ද ඇතුළු සියලු දෙනාම තරගය සැලසුම් කිරීම පිළිබඳ තම අදහස් දක්වන්නට වූහ. පැය කාලේ සාකච්ඡා පැය එක හමාර දක්වා ඇදී ගියේය. ප්‍රතිඵලය විශ්මයජනක විය.ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ උඩ පන්දුවක් ලැබුණු විට "Ctach Him" යන වචන වෙනුවට කඩුළු රකින රොමේෂ් කලුවිතාරණගේ "අල්ල ගන්නවා..අල්ල ගන්නවා" යන කෑ ගැසීම ක්‍රීඩා පිටිය සිසාරා රජ කරන පසුබිමකය. 

ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඉල්ලුමක් හට ගත්තේය. කණ්ඩායමට ඇතුළු වීමට මතු නොව ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වීමට පවා විශාල තරඟයක් ඇති විය. ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය විය. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් විදේශීය "ප්‍රීමියම් ලීග්" තරඟවලදී "ෆ්‍රැන්චයිස්" වෙත වෙන්දේසියේ විකිණෙන වෙළෙඳ භාණ්ඩ බවට පත් විය. එහෙත්, ක්‍රිකට් ක්‍රීඩාව දේශීයකරණය කිරීම මගින් එම ක්‍රීඩාව ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමට අර්ජුන රණතුංග ඇතුළු පිරිස කළ මෙහෙය මෙම නිශේධනීය ප්‍රතිඵලවලින් අඩු තක්සේරු කළ නොහැකිය.

සිංහල සහ දෙමළ යන භාෂා දෙකක් වහරන ජන කොටස් දෙකක් සිටින රටක දේශීයකරණය සහ ප්‍රජාතාන්ත්‍රීයකරණය යනු සිංහලකරණයක් වීම වැළැක් විය හැක්කක් නොවන බව අපි මේ වන විට අත්දැකීමෙන්ම දනිමු. සර්ව ජන ඡන්ද බලය, නිදහස් අධ්‍යාපනය, ස්වභාෂාකරණය හෙවත් සිංහල රජ බස කිරීම වැනි උතුම් පරමාර්ථයන් ඇතිව ආරම්භ කෙරුණු සාර්වත්‍රිකව පිළිගත් පියවරයන් සියල්ල අවසානයේ ගමන් කළේ සිංහලකරණයට සහ එමගින් දෙමළ කතා කරන ජනයා ආන්තිකකරණයට ලක් කිරීමට බව සැබෑය. 

ඒ අනුව මේ මොහොත වන විට අප හමුවේ ඇත්තේ එසේ ආන්තිකකරණය වූ දෙමළ බස වහරන ජනයා සමග්‍රහණය හෙවත් අනුකලනය කර ගැනීමේ කාර්යයයි. නමුත්, ඒ සඳහා නැවත ඉංගිරිසිය වෙත යාමෙන් හෝ ස්වදේශීයකරණය වෙතින් ලබා ගත් ප්‍රජාතාන්ත්‍රීකරණය හෙළා දැකීමෙන් පලක් නොවේ. එසේ කිරීමේ ප්‍රතිඵලය විය හැක්කේ සිංහල-දෙමළ-මුස්ලිම් යන ත්‍රිවිධ ප්‍රජාවන්ගෙන්ම පැන නැගී ඉංග්‍රීසි බසින් වැඩ කරන පිරිසක් බලවත් වීම පමණි. එමගින් තාවකාලික සමගි සන්ධානයක් ඇති කර ගත හැකි වුවද, ඒ හරහා පාර කැපෙන්නේ දීර්ඝ කාලීන පන්ති අරගලයකටය. එබැවින්, පර්යන්ත ජනපදවලින් පැමිණි දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට ඉදිරියට පැමිණ රට වෙනුවෙන් ක්‍රීඩා කොට තහවුරු වීමට සහ රටට ජයග්‍රහණ ගෙන ඒමට ඉඩ සලසමින් අර්ජුන රණතුංග ඇතුළු පිරිස කළ ඒ ඓතිහාසික කාර්යභාරය අප විසින් අගය කළ යුත්තේ පුළුල් පර්යාවලෝකයක පිහිටුවමිනි.


Advertiesment