සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දෙන "43 වැනි සේනාංකය" මගින් යෝජනා කරන දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඊට අදාළ වැඩ පිළිවෙළ "Zoom" තාක්ෂණය ඔස්සේ 2021 ජනවාරි 17 වැනිදා උදෑසන 9.30 ට එළිදැක්වේ.
"43 වැනි සේනාංකය" යනු මිනිසත්කම, දැනුම සහ කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සමාජ ප්‍රඥාව ගොඩනගන සියවසේ අභිමානවත් පුරවැසි ව්‍යාපාරය වන අතර http://bit.ly/43-brigade ඔස්සේ "Zoom" තාක්ෂණයෙන් ඔබටත් ඊට සම්බන්ධ විය හැකිය.
සිය අරමුණ, ප්‍රතිපත්තිය, වැඩ පිළිවෙළ සහ "43 වැනි සේනාංකය" සම්බනධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ජයතුංග මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස් මෙසේය.
"මෙහෙමයි..! අඩව් හෝ කස්තිරං මෙතන නෑ. මගේ වයස අවුරුදු 55 යි. අවුරුදු 65 න් එහා රෝද පුටු හෝ කිහිලිකරු දේශපාලනයක් කිරීම හෝ දේශපාලනය ජීවිකාව කර ගැනීම හෝ දේශපාලන පරපුරක් තැනීම මගේ අරමුණ නෙවෙයි. සියලු රටවල් දියුණු වෙද්දී ශ්‍රී ලංකාව එක තැන තව දුරටත් පල් කිරීම මහා පාපයකක්. වසර 70 ක් මේ රට පාලනය කළේ නිසි දැක්මක් නැති අය බව ජනතාගේ මතයයි. ඒ අතරින් දෙදෙනෙකුට යම් අධ්‍යාපනයක් සහ යම් දැක්මක් තිබුණද කුමන්ත්‍රණ සහ ලෝක දේශපාලනික අභියෝග කළමණාකරණය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාත් අනාථ වුණා.
මේ රටේ හැම විටම නව පාලකයෙක් සහ ආණ්ඩුවක් බිහි වූයේ හිටපු අයගේ අසමත්කම් සහ දුෂණ-වංචා-අක්‍රමිකතාවලට ජනතාව දුන් ප්‍රති ප්‍රහාර හේතුවෙන් විනා විකල්ප නායකයාට හෝ ආණ්ඩුවට රට ගොඩනැගීම සඳහා හැකියාවක්, දැක්ම සහ වැඩ පිළිවෙළක් තිබී ජනතාව ඒ ගැන පැහැදීම නිසා නොවෙයි. වර්තමානෙය් සිදුව ඇත්තේද එම සිදුවීමමයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෝෂණය වූයේ රට අන්දන ජනමාධ්‍ය භූමිකාව මගින් අනාථ කළ ගැමි සහ නාගරික අසරණ නූගත් ජනතාවගේ ද, ග්‍රාමීය ලෙස පස්-ගල්-වැලි-ගංජා-කුඩු-කසිප්පු ආදී නීති විරෝධී ව්‍යාපාර කරමින් යුක්තියට සහ නීතියට අභියෝග කළ අයගේ සහ පාතාලයින්ගේ නොමසුරු සහයෝගයෙන්ය යන්න සමාජ විද්‍යාත්මක විග්‍රහයි. ඒ සියල්ල පොදි බැඳ ගත්තත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඡන්ද ලාච්චුවට වැටෙන්නේ ඡන්ද ලක්ෂ 45 ක් පමණක් බව ඒ අය දැන ගෙන සිටියා.
එමනිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු "පොහොට්ටු අට්ටාලයට" උඩින් "වියත් මඟ" සහ "එළිය" ආදී තාවකාලික වහලක් ගසා යමක් තේරෙන අයද කොටු කර ගෙන අන්දවා අඩුව පුරවා ගැනීමට ඔවුන් සමත් වුණා. එහෙත් මාස කිහිපයකින් එම තාවකාලික "වහල" ඒ යට සිටී අයගේම හිස මත කඩා වැටුණේ නාථ දෙවියන් සහ පැණියෙන් ගොඩ යන්නට වෙහෙසුණු චන්න ජයසුමනලා සහ "කුඩ-ටැබ්" සීතා අරඹේපොළලා වැනි අයද අන්ද මන්ද කරමින් බව සමාජ මාධ්‍යවල අද පවතින විග්‍රහයයි.
"වියත් මඟ" යැයි කිව්වාට එහි සැබෑ වියතුන් සිටියේ නැහැ. එසේ සිටියා නම් පී.බී ජයසුන්දරලා වැනි මිනිසුන් අතීතයෙන් ආනයනය කර සියලු වගකීම් ඒ අයට භාර දෙන්න සිදු වන්නේ නැහැ. 2015 දී රනිල් වික්‍රමසිංහට ද මේ වගේම මිනිසුන් සිටියේ හෝ පරිපූර්ණ වැඩ පිළිවෙළක් තිබුණේ නැහැ. රණසිංහ ප්‍රේමදාස යුගයේ සිටී ආර් පාස්කරලිංගම්ලා සහ චරිත රත්වත්තේලා ද, අර්ජුන් මහේන්ද්‍රන්ලා වැනි අය පිට රටින් ද ආනයනය කරන්නට සිදු වුණේ ඒ නිසයි. එහෙත් ආර් පාස්කරලිංගම් නම් අදටත් යමක් කළ හැකි අයෙක්.
රනිල් වික්‍රමසිංහ තමා වටා රැස් කර ගෙන සිටී "Royal" කල්ලිය දන්නා අටමඟුලක් ඇත්තේ නැහැ. ඔවුන් සහජ කුසලතාවක් හෝ නිසි අධ්‍යාපනයක් පවා තිබූ අය නොවෙයි. රට පාලනයේදී තබා පාසැලේදීවත් එක් අයෙක් හැර කැපී පෙනෙන දස්කම් දැක්වූ අය ඒ කණ්ඩායමේ සිටියේ නැහැ. ඔවුන්ට තිබුණු එකම සුදුසුකම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව සහ රනිල් වික්‍රමසිංහගේ මිතුරන්වීම පමණයි.
ඒ "Royal" කල්ලියේ පිස්සු කෙළීම් සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු අයගේ සීමාව ඉක්මවා ගිය කූට "Deal" පැවැත්ම හේතුවෙන් රටත්-ජනතාවත් එක්සත් ජාතික පාක්ෂිකයිනුත් අනාථ වුණා. මේ කල්ලියේ මේ "Deal" නිසා සිදු වුණේ හොරුන් අල්ලන්නට පැමිණි ආණ්ඩුව හොරු විසින්ම අල්ලා ගනීමයි. බලය ලබා ගැනීමට නොහැකි සහ නොදන්නා රනිල් වික්‍රමසිංහ, භාහිර පාර්ශවයන් එකට එක්ව තමාට ලබා දුන් බලය කළමනාකරණය කර රැක ගැනීමට හෝ හැකියාවක් තිබූ අයෙකු නොවීම අදහාගත නොහැකියි.
මේ රටේ ඉහළම ව්‍යාපාරිකයින් බවට අද පත්ව ඇති ධමිමික පෙරේරා, සේන යද්දෙහිය, සොමල් පෙරේරා, ඉෂාර නානායක්කාර, ඩබ්ලියු.කේ.එච් වෑගපිටිය සහ අශෝක් පතිරගේ වැන්නවුන්ගේ පියා හෝ පරපුර කවුදැයි රට දන්නේ නැහැ. ව්‍යාපාර ලෝකය ජය ගත හැක්කේ ගාල්ලෙන් සහ මාතරින් පැමිණෙන දක්ෂ එහෙත් කපටි කෛරාටික මිනිසුන්ට සහ විජයවර්ධන පරපුරට පමණක් බවට අතීතයේ මතයක් තිබුණද ගෙවුණු විසි වසර ඇතුළත දී යට කී ව්‍යාපාරිකයින් එම මතය බොරු කොට ව්‍යාපාරික දැවැන්තයින් බවට පත්වී හමාරයි.
එමෙන්ම 1996 ලෝක ක්‍රිකට කිරුළ දිනූ අර්ජුන රණතුංගලාගේ, අරවින්ද ද සිල්වාලාගේ සහ සනත් ජයසූරියලාගේ පුතුන් අද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තබා "LPL" කණ්ඩායම්වලවත් ඇත්තේ නැහැ. එහෙත් මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට පමණක් පරම්පරාව, පවුල් ඒකකය, පාසැල, පංතිය මූලික වී තිබෙන අතර එම තත්ත්වය රටේ අනාගතයට අහිතකර ලෙස බලපා තිබෙනවා.
සියලු ආණ්ඩු අල්ලා ගෙන, ආනයන අපනයන-ගල්අගුරු-සීනි ආදී සියලු ව්‍යාපාර කරන්නේද නගරබද පාසැල් කිහිපයක ආදි සිසු කල්ලි විසින් බව කිව යුතුයි. විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රය ඇතුළුව මේ රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ඇති වීමට නම් රටේ දසතින් එන හැකියාව සහ දැක්මක් සහිත උගත් නැණවත් පිරිස අතට බලය හුවමාරුවීම අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුයි.
රටට-ජාතියට කිනම් ද්‍රෝහීකමක් කළත් ඒ ද්‍රෝහීන් සහ දුෂිතයින් රැක ගැනීම තට්ටු මාරු ක්‍රමයට බලය හුව මාරු කර ගන්නා මේ දේශපාලන පරපුරුවල න්‍යාය පත්‍රයයි. තම තමන්ගේ දුෂිත පරපුරු තම තමන්ට බලය තිබියදී රැක ගන්නා "Deal' කාරයින්ගෙන් රටක් ගොඩනැගිය නොහැකි අතර පවිත්‍ර සහ රටට සැබෑ දේශප්‍රේමයක් ඇති පිරිසකට බලය හුව මාරු විය යුතු බව මම කලක සිට කියා සිටින්නේ මේ යථාර්ථය මතයි.
බලය භුක්ති විඳීමට පමණක් අටවා ගත් වසර 70 ක් මුළුල්ලේ පැවැති දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති ආණ්ඩු පමණක් නොව හැකි නම් මහා නා හිමිවරුන් ලෙසත් මේජර් ජෙනරාල්ලා පත් කොට රට ගොඩ ගත හැකි යැයි සිතන බව පෙනෙන වත්මන් පාලකයන්ටද කිසිසේත් රට ගොඩගැනීමේ හැකියාවක්, දැක්මක් සහ වැඩ පිළිවෙළක් ඇත්තේ නැහැ.
ජාත්‍යන්තරයෙන් එන වටලෑම සමනය කර ගැනීමට ද, ජනතාවට සහන දී රටේ ආර්ථිකය ගොඩගැනීමට ද, නිෂ්පාදනය ඉහළ නංවා අපනයනය වැඩි කිරීමට ද, ණය උගුලෙන් රට ගලවා ගැනීමට සේම බලවත් රටවල සූදු පිටියක් බවට වේගයෙන් පත් වන මේ රට බේරා ගැනීමට ද මේ ආණ්ඩුවට නිසි දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති තත්ත්වය හමුවේ ඊළග තීරණාත්මක මැතිවරණයකදී ඔවුන්ගේ පරාජය නියතයි.
එහෙත් එහිදී අප ලබා ගන්නා ආණ්ඩුවටත් දැක්මක් සහ රට ගොඩ ගැනීමේ වැඩ පිළිවෙළක් නොමැතිව ජනතාව සහ රට තව දුරටත් අතරමං කිරීමේ අයිතියක් ඇත්තේ නැහැ. එහෙයින් රටේ මර්මස්ථාන 15 කට වැඩ බැරි දේශපාලන හෙංචයියන් පත් නොකිරීම අනිවාර්ය ජාතික අවශ්‍යතාවක් බව කිව යුතුයි.
ශ්‍රී මහා බැංකුව, රාජ්‍ය බැංකු තුන, මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන්, භාණ්ඩාගාරය, රේගුව, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය අධිකාරිය, ආයෝජන මණ්ඩලය, පරිසර අධිකාරිය, ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම, ගුවන් තොටුපොළ සහ ප්‍රවාහනය ඒ අතරින් ප්‍රධානයි. ඒ සඳහා වන වැඩ පිළිවෙළ සහ දැක්ම සකසා බල මුළු ගැන්වීම රටේ ප්‍රමුඛම කාර්යක් ලෙස මම සලකනවා.
මා වගේම රටට ජනතාවට සහ අනාගත දූ දරු පරපුරට ආදරය කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පුමුඛ සමගි ජන බලවේගයේ සියලු දෙනාත් විද්වතුනුත් මීට සහායදීම රටේ වාසනාවක් බව කිව යුතුයි. ඒ අනුව අප බලය ලබා ගන්නේ රට ගොඩනගන වැඩ පිළිවෙළක් සහ එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි සහජ කුසලතා සපිරි උගත් සහ රටේ මර්මස්ථාන දියුණු කර රටත් ජනතාවත් ආර්ථිකයත් ගොඩ ගත හැකි නිර්මාණාත්මක පිරිසක් ද සමගිනි.
එසේ නොවී තට්ටු මාරු ක්‍රමයට බලය ලබා ගෙන පැලැස්තර අලවමින් රටත් ජනතාවත් තව දුරටත් අදුරේම තැබීමේ සාම්ප්‍රදායික බල සූදුවට එක්වීම මහා පාපයකි. ඒ මන්ද මේ මහා පොළොවට වගේම වසර 70 ක් රැවටී අන්ත අසරණව සුසුම් හෙලන අසරණ ජනතාවටත් එම තත්ත්වය තව දුරටත් කිසිසේත්ම දරා ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ..."
Lanka Newsweek © 2024