Friday 14th of May 2021

English Tamil
Advertiesment


රන්ජන්ට දුන් දඬුවම නීතියට අනුව සාධාරණ ද..?


2021-01-13 2305

යුක්ති සහගත ද..?

 

සිවිල්-දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට එකඟ ද..?  

 

නූතන ලෝකයට අනුව අධිකරණ අපහස කවරාකාර ද..?

 

අධිකරණ අපහාසය නියාමනයට අණ පනත් ඕනෑ 

 

වික්ටර් අයිවන් අධිකරණ තීන්දුව ගැන කතා කරයි  

 

 

(වික්ටර් අයිවන්) 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන සිව් අවුරුදු සිර දඬුවම නීතියට අනුකූල සාධාරණ හෝ යුක්ති සහගත දඬුවමක් ලෙස සැලකිය නොහැකිය. 

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කල්පනා කරන ස්වභාවයේ තරම එමගින් පෙන්නුම් කරයි. අධිකරණයට අපහාසයක් ඇති කරන ආකාරයේ විවේචනයන්ට පවා නූතනවාදී ලෙස සිතන අධිකරණ දඬුවම් කරන්නේ නැත. වර්තමානයේ දඬුවම් කළ යුතු අධිකරණ අපහාස ලෙස සලකන්නේ අධිකරණ නියෝගයක් හෝ තීන්දුවක් ක්‍රියාවට නැගීම නීතියට පටහැනිව වළකන ක්‍රියාකාරකම්වලට ය.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධිකරණ අපහාස විෂය නියාමනය කරන අණ පනත් ඇති කර ගෙන ඇතත් එම විෂයේදී ශ්‍රී ලංකාව ඉන්නේ අඳුරු සහගත තත්ත්වයකය. එම තත්ත්වය අපේ රටේ පාර්ලිමේන්තුවේ අකර්යක්ෂමතාවය පෙන්නුම් කෙරෙන තවත් නිදර්ශනයක් ලෙසද සැලකිය හැකිය. අඩුම වශයෙන් එස්.බී.දිසානායකට සහ ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට දඩුවම ලබා දීමෙන් පසුව වත් මේ විෂයේදී අධිකරණය බුක්ති විඳින හිතුවක්කාර බලය නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව සුදුසු නීතිරීති ඇති කළ යුතුව තිබුණි. 

ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දු අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් අග විනුසුරු සරත් සිලවා සහ එම කොමිසමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වගඋත්තර කරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කළ අවස්ථාවේදී, පෙත්සම්කරු පළ කළ විරෝධය නොසලකා අගවිනිසුරු ඇතුළත් විනිසුරු මඩුල්ලක් විසින් අධිකරණයට අපාහාස කිරීමේ චෝදනා යටතේ ටෝනි එමෑනුවෙල් ප්‍රනාන්දුට එක් අවුරුදු සිර දඩුවමක් ලබා දෙන ලද අතර එම තීන්දුව ජාත්‍යන්තර අවධානය දිනා ගත් බිහිසුනු සිද්ධියක් විය.

රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය නිවැරදි නැතත්, ඒ සඳහා ලබාදී තිබෙන දඬුවම කිසි සේත්ම සාධාරණ නැත. අධිකරණය ඔහු සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන දර්ශනයට මුළුමනින් පටහැනිය.

Advertiesment