Saturday 8th of May 2021

English Tamil
Advertiesment


බැසිල්ගේ ප්‍රහාරයට කරූගෙන් දැඩි ප්‍රතිප්‍රහාරයක්


2021-01-09 7235

ආණ්ඩුවට ගියේ රට ශක්තිමත් කිරීමට විනා දෑත් ශක්තිමත් කිරීමට නොවේ 

 

ඒ එජාප-ශ්‍රීලනීප ගිවිසුමට අනුවයි

 

එජාපයට යළි ආවේ කිළිනොච්චි පරක්කු වූ නිසා නොවෙයි 

 

එජාප-ශ්‍රීලනීප ගිවිසුම් ගත කාලය අවසන් වූ නිසයි 

 

"බැසිල් වගේ මම එජාපය හැර කිසිම පක්ෂයක ලැග්ගේ නැහැ" 

 

නැගෙනහිර පළාතේ සිවිල් පරිපාලනය තහවුරු කළා 

 

බැසිල්ගේ ගුණමකුකම ගැන කරූ කරන හෙළිදරව්ව මෙන්න

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

තමා ප්‍රධාන කණ්ඩායමක් එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක් වූයේ කිසිවෙකුගේ දෑත් ශක්තිමත් කිරීමට නොව රට ශක්තිමත් කර කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට යැයි දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

එමෙන්ම ආණ්ඩුවට එදා එසේ එක් වූයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති අවබෝධතා ගිවිසුම යටතේ බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා නැගෙනහිර පළාතේ සිවිල් පරිපාලනය ද යළි තහවුරු කිරීමෙන් අනතුරුව යුද්ධය ජය ගැනීමට අවශ්‍ය පසුබිම ද සකසා එක්සත් ජාතික පක්ෂයට නැවත පැමිණියේ අදාළ අවබෝධතා ගිවිසුමේ කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව යැයි ද සඳහන් කර සිටියි.

එසේ නොමැතිව බැසිල් රාජපක්ෂ මහතා කියන ආකාරයට ආරක්ෂක හමුදාවන්ට කිළිනොච්චි අල්ලා ගැනීමට ප්‍රමාද වූ නිසා හෝ ආණ්ඩුවට යුද්ධය ජය ගැනීමට නොහැකි බව පෙනී ගිය නිසා හෝ නොවන බව ද ඔහු සඳහන් කර සිටියි.

2021 ජනවාරි මස 05 වැනිදා "හිරු" රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "සලකුණ" වැඩ සටහනට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් දේශබන්දු කරු ජයසූරිය මහතා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.   
 
2021 ජනවාරි මස 05 වන දින හිරු රූපවාහිනී නාලිකාවෙහි විකාශය වූ සලකුණ වැඩ සටහනට සහභාගි වෙමින් ගරු බැසිල් රාජපක්ෂ මහතා මා පිළිබදව කරන ලද සදහන ජනතාව නොමඟ යවන්නකි. 

කරුණු නොදැන සිදු කළ ප්‍රකාශයක් නොවේ නම් එම ප්‍රකාශය සත්‍ය කරුණු වසන් කරමින් රටේ මහජනතාවද නොමඟ යවා පුද්ගලිකව මාවෙත යම් අපහාසාත්මක යමක් කිරීම එහි අරමුණ වූවා විය හැකිය. ඒ නිසා මා ප්‍රථමයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ගැන කණගාටු වෙමි. එහෙත් ඒ කරුණු මුල් කර ගනිමින් කිසිසේතම කම්පා නොවෙමි. අමනාප නොවෙමි. ඒ මාගේ දේශපාලන දර්ශනයයි.

එසේ වුවත් බැසිල් රාජපක්ෂ මහතා මාගේ නම සඳහන් කරමින් සිදු කරන ලද එම ප්‍රකාශයේ හරය සැලකිල්ලට ගෙන ඊට පදනම් වූ කාලය හා එම කාල වකවානුවේදී මගේ දේශපාලන භාවිතයට තුඩු දුන් කරුණු ජනතාවට පැහැදිළි කරලීම කළ යුතු වගකීමක් කොට සලකමි. 

බැසිල් රාජපක්ෂ මහතා සලකුණ වැඩසටහනේදී මෙසේ කියයි. "කරු ජයසූරිය මහත්තයා කිලිනොච්චිය පරක්කු වෙන කොට පැන්නා. එයා ඇවිල්ලා යුද්දේ ඉවර වෙනකම් අපේ දෑත් ශක්තිමත් කරන්න කියලා...17 දෙනෙක් එක්ක ඇවිල්ලා...කිලිනොච්චිය ටිකක් පහු වුණානේ...අපේ හමුදාව ඉස්සරහට යන්න. එතකොට එයා හිතුවා වැඩේ කෙල වුණා තමා අපට යන්න බැහැ මෙතනින් ඉස්සරහට කියලා. එයා පැන්නා අනිත් පැත්තට" 

ප්‍රථමයෙන්ම අවධාරණය කළ යුත්තේ මා කිසිවෙකුගේ දෑත් ශක්තිමත් කරන්නට ආණ්ඩුවට එක් නොවූ බවය. මා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර වෙනක් කිසි පක්ෂයක සාමාජිකයෙකු ලෙස එක පැයක් හෝ ගත කර නැත. 

2007 වසර වන විට මේ රට පැවැතියේ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ බරපතළම තර්ජනයට ගොදුරු වෙමින් සිටි පසුබිමකය. රුදුරු ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ යුතුව ඇතැයි යන අදහස සමස්ත ජනතාවගේ ඒකායන අධිෂ්ඨානය බවට පත්ව තිබූ කාලය විය. එහෙත් එදා පැවැති රජයට පාර්ලිමේන්තුව තුළ පැහැදිළි බහුතර බලයක් නොතිබූ අවස්ථාවක ඕනෑම මොහොතක ආණ්ඩුව දුර්වල වීමට හෝ කඩා වැටීමට හැකිව තිබූ පරිසරයක එසේ වූයේ නම් එමගින් එල්ටීටීඊ සංවිධානයේ අවසන් ජයග්‍රහණයේ ආරම්භය සනිටුහන්වීමට බොහෝ සේ ඉඩ තිබුණි. එම අනතුර අන් බොහෝ දෙනෙකුට පෙර හොදින්ම දැන සිටියේ අප යි.

ඒ අනුව මේ රටේ අති ගෞරවණීය මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම ආගමික නායකයන්ගේද, රට පිළිබද අවංක හැගිමකින් යුත් සෑම පාර්ශවයකගේම ද, ඉල්ලීම වූයේ එවන් මොහොතක සිදු විය යුත්තේ රට මුහුණ දී ඇති ත්‍රස්තවාදී තර්ජනය පරාජ කිරිම සඳහා ආණ්ඩුව දුර්වල නොකළ යුතු බවය. අප පිළි ගත්තේ සමස්ත ජාතියම එක හඩින් එදා ඉල්ලා සිටි එම වගකීමය. එදා ආණ්ඩුවට තිබුණේද එක් වැඩි ඡන්දයක් පමණි.

සමහර විට අප එදා කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එකතු නොවුණා නම් තවත් වසර විසි තිස් ගණනකට උතුරේ යුද්ධය ඇදී යන්නට ඉඩ තිබුණි. කෙටියෙන් කියනවා නම් එදා අප කණ්ඩායම එකතු වූ නිසා තමයි ආණ්ඩුව ශක්තිමත් වුණේ. ආණ්ඩුව ශක්තිමත් වුණ නිසා තමයි යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමේ මාවතට අවතීර්ණ වුණේ. යුද්ධය දිනුව නිසා තමයි අද අප සියලු දෙනාටම ජීවත්වන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ඒ තීරණය කිසිවෙකුගේ දෑත් ශක්තිමත් කිරීමක් නොවේ. ඒ පියවර රට ශක්තිමත් කිරීමට ගත්තා වූ තීරණයකි. මෙහිදී රජය රැක ගැනීමට සහය දුන් අනෙක් මන්ත්‍රීවරුන් 16 දෙනාට ද බැසිල් රාජපක්ෂ මැතිතුමා අපහාස කරයි. එම ක්‍රියාව ගුණමකු ක්‍රියාවක් ලෙස මම දකිමි. 

දෙවනුව, මා බැසිල් රාජපක්ෂ මහතාට අවධාරණයෙන් යුතුව සිහිපත් කරන කාරණය වන්නේ මා එදා රජයට සහය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස වන බවය. මා කිසිදු මොහොතක මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ කිසිදු පක්ෂයක සාමාජිකත්වය ගෙන නැත. වෙනත් ආකාරයකට කියන්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගෙන ක්‍රියාකාරීව කටයුතු කර ඇති ආකාරයට මා කටයුතු කර නැත.

තෙවනුව, සඳහන් කරන්නේද ඉතාමත්ම වැදගත් සිහිපත් කිරිමකි. එනම් මා ද ඇතුළත් කණ්ඩායම එදා ආණ්ඩුවට එක් වූයේ එක්සත් ජාතික පක්ෂයද පිළි ගෙන පැවැති වැදගත් සම්මුතියකට අනුගතවය. එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 2006 වසරේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුවය. එවකට ශ්‍රීලනිප මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එජාපයේ සභාපති වූ මලික් සමරවික්‍රම මහතාගේ අත්සන් සහිතව 2006 ඔක්තෝම්බර් 23 වන දින කොළඹ දී අත්සන් කරන ලද එකී සම්මුතියට අනුව කරුණු පහකට අදාළව වසර දෙකක කාලයක් එය බලාත්මක විය යුතු විය. 

එහි සම්මුති ගත පළමු වන කරුණ වූයේ උතුරු හා නැගෙනහිර අර්බුදයට එක්ව විසදුමක් ලබා ගැනීමය. අප ඉටු කරන ලද්දේ එකී වගකීමය. ඒ අනුව නියමිත වසර දෙකක කාලය තුළ යුද්ධය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවට සහය දුන් මා 2008 වසරේ පැවැති 2009 වර්ෂයට අදාළ අයවැය ජන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්දය ලබාදී එදිනම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වෙත පිය නැගුවෙමි. 

මා කලින් දරමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයේ වැඩ කටයුතු නැවත සුපුරුදු ලෙස ආරම්භ කළෙමි. මා ආණ්ඩුවේ කටයුතු කළ වසර දෙකක කාලය තුළ එජාපයේ නියෝජ්‍ය නායක ධූරයට වෙනත් කිසිවෙකු පත් කරලීමට පක්ෂය කටයුතු නොකළ බවද එහිදී තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ත්‍රස්තවාදය නිම කිරීම සඳහා මා ගත් පියවර ගැන මරණමංචකය දක්වා සිහිකරමි. ඒ රට වෙනුවෙනි, නූපන් දරු පරපුර වෙනුවෙනි.

ඒ අනුව මා ආණ්ඩුවෙන් ඉවත් වූයේ බැසිල් රාජපක්ෂ මහතා කියන ආකාරයට කිලිනොච්චියේදී හමුදාව ලැබූ යම් පසුබෑමක් නිසා නොවේ. සම්මුති ගතව මා රජය සමඟ සිටින බවට එකඟවී සිටි වසර දෙකක කාලය ඒ වන විට ආසන්න වී තිබූ නිසාය. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධය සාර්ථකව අවසන් කිරීම සඳහා වන ශක්තිමත් පදනම ඉතා පැහැදිළි ලෙස ඒ වන විටත් සම්පූර්ණ වී තිබූ නිසාය. අවසන් යුද්ධයට අවශ්‍ය සියලුම අවි ආයුද ලබා ගනු ලැබුවේ අප අන්තිමට සහාය ලබා දුන් අයවැය ලේඛනනි.

පස් වන්නට, හා අවසාන වශයෙන්ද බැසිල් රාජපක්ෂ මහතාට එක් දෙයක් සිහිපත් කිරීමට මා කැමැතිය. එනම් එදා රජය සමඟ මා ගත කළ එකී වසර දෙකක කාලය පුරා මා දරමින් සිටියේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරයයි. එම අමාත්‍ය ධූරය දරන කාලයේ සිදු කරන ලද සමස්ත කාර්ය භාරය මා මෙහි සදහන් නොකරන්නේ වුවද නැගෙනහිර පළාතේ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කරන්නට අමාත්‍යවරයා ලෙස කළ මැදිහත්වීම ගැන යමක් සිහිපත් කළ යුතුමය.

මා එදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රාජකාරී භාර ගත්තේ දින 180ක කාලයක් තුළ නැගෙනහිර පළාතේ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කරන බවට පැහැදිළි පොරොන්දුවක් දෙමිනි. එදා සිට මා ප්‍රමුඛ අවධානයක් නැගෙනහිර පළාත වෙත යොමු කළෙමි. එම පළාතේ සෑම ප්‍රාද්ශීය කාර්යාලයක් වෙත ගමන් කරමින් ආගමික නායකයන්, රාජ්‍ය සේවකයන්, ගොවියන් හා ධීවරයන් හමුවෙමින් කටයුතු සංවිධානය කළෙමි. එදා ඒ සමාරම්භක දිනයේ අප නැගෙනහිර පළාතට ගියේ යුධ ටැංකියක නැගී ගෙනය. නැගෙනහිර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ඝාතනයට ලක් වූයේ එම දිනයේ දීය.

එහෙත් මාස 03කට පසු නැගෙනහිර පළාතේ සියලු රාජ්‍ය ආයතන සක්‍රීයත්වයේ ඉහළම තලයට ගෙන එන්නට අපට හැකි විය. රාජ්‍ය සේවය නැවත පණ ගැන් වුණු අතර ධීවරයෝ සුපුරුදු ලෙස නිදහසේ මුහුදු ගියහ. සංචාරකයෝ වෙරළ තීරයේ නිදහසේ සැරි සැරූහ. සියලුම රාජයේ කාර්යාල, පොලිස් ස්ථාන ආරෝග්‍ය ශාලා, පාසල් ආදී සෑම ස්ථානයක්ම යළි පණ ගැන්විණි. එම ජයග්‍රහණය සංඛේතාත්මකව සනිටුහන් කරමින් 2008 ජුනි මස 14 හා 15 යන දෙදින තුළ මුළු නැගෙනහිර පළාතම නියෝජනය වන සේ සමඟි රැස්වීම්ද සංවිධානය කරන ලදී. 

ගරු ජනාධිපතිතුමා නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ ජනාධිපති ලේකම්වරයා ය. නැගෙනහිර පළාතේ සිවිල් පරිපාලනය යළි සක්‍රීය වීමේ ජයග්‍රහණය පිළිබදව ගරු ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කරමින් විශේෂ සන්නසක් ගරු ජනාධිපතිතුමා වෙත පිළි ගැන්වීම සිදු කළ අතර ජනාධිපති ලේකම්වරයා එතුමා නියෝජනය කරමින් පැමිණ සිටියේය.

පළමු වරට ජාතික ගීය පාසැල් දරුවන් විසින් ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරන ලදි. එය ඓතිහාසික අවස්ථාවක් විය. එහෙත් එම විශේෂ අවස්ථාව ආවරණය කිරීම සඳහා නියමිතව සිටී රජයේ ජනමාධ්‍යෙව්දීන් බොහෝ දෙනෙක් බැසිල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට කැදවා ගෙන ගොස් ඇති බව මා දැන ගත්තේ පසුවය. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිවෙත විය යුතුය. ඒ කෙසේ වෙතත් මා හැමවිටම මා ජනිත වූ මේ මව්බිමට කෘතගුණ දක්වන්නෙමි. බැසිල් රාජපක්ෂ මැතිතුමාට ද කෘතගුණ දැක්වීමේ වැදගත්කම පෙන්වා දීමට කැමැත්තෙමි.
 
 

Advertiesment