Saturday 8th of May 2021

English Tamil
Advertiesment


ජනතාව කුපිත නොකරනු-වැරදි නිවැරදි කර ගනු


2021-01-07 6267

සංචාරක ප්‍රවර්ධනයට මුවා වී ජනතාවගේ ජීවිත එක්ක කරන සූදුව නතර කරනු 

 

යුක්රේන ජාතිකයින්ට ඇති සැලකිල්ල අපේ රට විරුවන්ට නැත්තේ ඇයි..?

 

දේශමාමක බලධාරීන් නිදිද..?

 

කරු ජයසූරිය ආණ්ඩුවට අනතුරු අඟවයි..!

 

රාජ්‍ය සේවයයි-හමුදාවයි එකට මුහු කරනු බැහැ 

 

 

(සුජිත් මංගල ද සිල්වා)

 

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් ඊට මුවා වී රටේ ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබමින් ආණ්ඩුව කරන සූදුව වහාම නතර කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා කියා සිටියි.

එසේ නොවුණ හොත් දැඩි අසහනයට පත්ව ඇති ජනතාව කුපිත වී ආණ්ඩුවට නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයි ද එම නිසා ජනතාව කුපිත නොකර සිය වැරදි නිවැරදි කර ගැනීමට ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු යැයි ද කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවැසූ කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කියා සිටියේය. 

රටටත්,ජනතාවටත් බලපාන ජාතික වැදගත්කමින් යුතු කරුණු කිහිපයක් ගැන අප ව්‍යාපාරයේ අදහස් හා යෝජනා පැහැදිලි කිරීම සදහා මේ සාකච්ඡාව  අවස්ථාවක් කර ගන්නවා. රටත්,ජනතාවත් මහා ව්‍යසනයට මුහුණදී ඇති අවස්ථාවක වැඩ කටයුතු අවුල් කිරීමට හෝ අපහසුතාවයකට පත් කිරීමට හෝ රජය අනිසි විවේචනයට ලක් කිරීමට අපි බලාපොරොත්තු වන්නේ නැහැ. දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව කටයුතු කරන අප ක්‍රියා කරන්නේ පොදු අරමුණකින් මිසක පටු බල දේශපාලනික අරමුණු පෙර දැරිව නොවේ. රටේ ජනතාවගේ හා නූපන් පරපුරේ යහපත උදෙසා මෙම කරුණු දැක්වීම සිදු කරන්නේද ඉතාමත් ම සද්භාවයෙන් බව කිව යුතුයි.

අද අප රටේ සිදු වන බොහෝ දේවල් පිළිබදව සැලකීමේදී රටේ සහ මහජනතාවගේ යහපතට වඩා එක් එක් පුද්ගලයන්ගේ පටු අරමුණු හා අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා කටයුතු සිදු වන ආකාරයක් පෙනි යනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව රටේ යහපත සහ ජනතාවගේ සුබ සෙත උදෙසා ගනිමින් සිටී වැදගත් ආදර්ශයන් සහ ක්‍රියා මාර්ග දේශපාලන බලය හෝ වේවා පටු ආර්ථික අරමුණු උදෙසා හෝ වේවා යම් යම් බලවත් චරිත විසින් අවභාවිතා කරන ආකාරයක් අද වන විට දැක ගත හැකියි. මේ තත්ත්වය එක්තරා විදිහකට භයානක තත්වයක් වන අතර ශෝචනීය කාරණයක් ද වනවා.

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් අද වන විට මේ රටේ සිදු වන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබා සිදු කරන සූදුවක් බවට පෙනෙන්නට තිබෙනවා. යුක්රේනය යනු අප ඉතාමත්ම ගරු කරන අපගේ මිත්‍ර රාජ්‍යයක්. නමුත් ඒ සමඟම අප අමතක නොකළ යුතු කාරණය වන්නේ යුක්රේනය ඇතුළු ඒ අවට අනෙකුත් බොහෝ රටවල ද විශේෂයෙන්ම යුරෝපය පුරාවටම ද අද වන විට කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වීම හා එහි ඇති වේගවත් පැතිරීම සම්බන්ධයෙන් අද මුළු මහත් ලෝකයේම දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

එවැනි පරිසරයක අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී රටක් විදිහට අප විශේෂයෙන්ම සැලකිලිමත්විය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. රටේ ජනතාවගේ සුබ සෙත උදෙසා ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. සංචාරක ව්‍යාපාරයට ඇති හිතකාමී පරිසරය ස්වභාව ධර්මයෙන් අපට දුන් විශාල දායාදයක් බව ඇත්ත. ඒ වගේම අප එම දායාදයෙන්  උපරිම ප්‍රයෝජනත් ගත යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් අද වන විට සමස්ත ලෝකය පුරාම මතු වෙමින් ඇති වසංගත රෝග අභියෝගය සැලකීමේදී සියල්ලටම පෙර අප සැලකිලිමත් විය යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනයි. රටේ ජනතාවගේ යහපත ගැනයි.

නමුත් අද රටේ සිදු වෙමින් පවතින්නේ කුමක්ද..? මාධ්‍ය වාර්තා අනුව යුක්රේනයේ සිට කැදවා ගෙන ආ සංචාරකයන් සම්බන්ධයෙන් රටේ නිල සංචාරක බලධාරීන් පවා දැනුවත්ව ඉදලා නැහැ. මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යන්නේ දේශපාලන බලය ඇති එක්තරා පිරිසක් රටේ සියලුම නීති හා සම්මත ක්‍රමවේදයන්ගෙන් බැහැරව මෙම කටයුත්ත සිදු කර ඇති බවයි. ඒ ගැන අද බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා නැගෙනවා. එහි සත්‍යක් ඇත්නම් එම ක්‍රියාව බරපතළ වැරැද්දක්. අප ඊට බලවත් විරෝධය පළ කරන අතර අදාළ බලධාරීන් වහාම මේ ගැන අවධානය යොමු කර නිවැරදි පියවර ගනු ඇතැයි ද අප අපේක්ෂා කරනවා.

මෙහි තවත් ඛේදනීය පැත්තක්ද තිබෙනවා. ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් විවිධ රටවල ඔවුන්ගේ රැකියා පවා අහිමි වී  ඉතාමත්ම අසරණව දුක් විදින තත්ත්වයක් තිබ්යදී ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරමින් යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දීම ගැන විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් අද වන විට දැඩි විරෝධය පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව රටක් ලෙස පොදුවේ අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලිය යුක්රේන සංචාරකයන් සඳහා අදාළ නොකර ගනිමින් ඔවුන් වෙත දක්වා ඇති විශේෂ සැලකිල්ල රටට විදේශ විනිමය ගෙන එන ශ්‍රී ලාංකිකයන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කරමින් සිටිනවා.

එක්තරා ශ්‍රි ලාංකික කාන්තාවක් අන්තර්ජාලය හරහා සිදු කර ඇති සංවේදී ආයාචනය ගැන මේ රටේ බලධාරීන් දැන්වත් අවධානය යොමු කළ යුතුයි. එම දුක්ගැනවිල්ලෙන් කිය වෙන ශෝචනීය කතාව කුමක්ද..? ඇය මුළු මහත් ලෝකයටම ඇසෙන සේ කියන්නේ කුමක් ද..? තම රටට ආපසු එන්නට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අද වන විට ඇතැම් කාන්තාවන් තම ශරීරය විකුණන තත්ත්වයකට පත්ව සිටින බවයි. එම තත්ත්වය මොන තරම් ශෝචනීයද..? ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මොන තරම් වේදනාකාරී පණිවිඩයක්ද..? මේ රටේ දේශමාමක බලධාරීන්ට මේ තත්ත්වය පෙනෙන්නේ නැද්ද..? ඇහෙන්නේ නැද්ද..? මෙවැනි සිද්ධීන් ඇසීමට-දැකීමට ලැබීම අපේ අවාසනාවක් ද..? රටේ අවාසානාවක් ද..? අද අපට ඇත්තේ එවැනි ප්‍රශ්නයක් බව කිව යුතුයි. 

ඒ වගේම තවත් එක් ප්‍රමුඛ වැදගත් කාරණයක් පිළිබදව ද ඔබගේ අවධානය යොමු කිරීමට කැමතියි. මේ රටේ කොවිඩ් පාලනය සදහා යැයි ප්‍රකාශ කරමින් රටේ දිස්ත්‍රික්ක 25 සදහා ම අමතර හමුදා නිලධාරීන් 25 දෙනෙකු අද වන විට පත්කර තිබෙනවා. ඒ ගැන සමාජයේ විවිධ මත පළ වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ යම් අසහනකාරී වාතාවරණයක් මතුව ඇතැයි අපට වාර්තා වෙනවා. ඔවුන් ඒ ගැන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට සම්බන්ධ මහා සංඝරත්නය වෙතත් අනෙකුත් ආගමික නායකයන් වෙතත් අප ව්‍යාපාරයටත් කරුණු දක්වමින් සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායන්හි දී සිවිල් සේවය තරමට ම හමුදා සේවය ද ඉතා වැදගත්. එහිදී අප අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ  සිවිල් සේවයට වඩා සපුරාම වෙනස් වූ සුවිශේෂි අරමුණු හා වෙනස් සම්ප්‍රදායක් හමුදා සේවයෙන් අපේක්ෂා කරන බවයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සෑම රටකම මේ ආයතන පද්ධති දෙක ඒ ඒ ආයනවවලින් අපේක්ෂා කරන සක්‍රීය, කාර්යක්ෂම හා විනය ගරුක සේවය එම ආයතනවලට අනුරූපී ආකාරයට වෙන් වෙන්ව පවත්වා ගෙන යනවා මිසක එකට මුසු කරන්නේ නැහැ. 

හමුදා සේවයට සිවිල් පාලන ක්‍රමවේදයන් අන්තර්ගත කරන්නට හෝ සිවිල් සේවයට හමුදා පාලන ක්‍රමවේදයන් මුහු කරන්නට යන්නේ නැහැ. එවැනි මුහුන් කිරීමකට උත්සාහ ගෙන ඇති රටවල් වෙත්නම් ඒවා ඒකාධිපති ආඥාදායක රටවල් පමණයි. එවැනි ක්‍රියා මාර්ග නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල පිළිබදව ලෝක ඉතිහාසය පුරාවට අමිහිරි මතකයන් ගනණාවක්ම ඉතිරි කර තිබෙනවා.

හිටපු හමුදා නිලධාරියෙකු වශයෙන් හමුදාවේ ඇති විශිෂ්ඨත්වය, කැපවීම, දක්ෂතාවයන් සේම විනය පිළිබදවද අපට හොද අවබෝධයක් තිබෙනවා. අප පෞද්ගලික අංශයේ සේවය කරද්දී විශ්‍රාමික හමුදා නිලධාරීන් හරහා විශිෂ්ඨ ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා. නමුත් සක්‍රීය හමුදා සේවය හා සිවිල් සේවය යනු එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්. ඒ බව අප තේරුම් ගත යුතුයි.

මෙහිදී අපගේ පරිපාලන සේවයටද විශාල වගකීමක් තිබෙනවා. කිහිප විටක්ම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සමඟ අප සම්බන්ධවී සිටි නිසා රාජ්‍ය සේවකයින්ගේ විශිෂ්ඨත්වය ගැන අපිට කතා කරන්න පුළුවන්. රාජ්‍ය සේවයේ ඇති හැකියාව හා දක්‍ෂකම මා පෞද්ගලිකව දැක තිබෙනවා.
1950 – 60 දශකයේ අපගේ රාජ්‍ය නිලධාරීන් ආසියාවේ රටවල් කිහිපයක කාර්යයක්‍ෂම රාජ්‍ය සේවා ඇති කිරීම සඳහා උපදෙස් දුන් ආකාරය වාර්තා වී තිබෙනවා. අපේ රාජ්‍ය සේවය ලෝකයේ ආදර්ශමත් රාජ්‍ය සේවයක් වශයෙන් ගෞරවය උපයා ගත්තා.

රාජ්‍ය සේවයේ පිරිහීම ඇති වුණේ එම සේවය දේශපාලනීකරණය වූ නිසයි. කීර්තිමත් රාජ්‍ය සේවයක් විනාශ කිරිම ගැන සමහර දේශපාලඥයින් වග කිව යුතුයි. එමෙන්ම උසස්වීම් ලබා ගැනීම සඳහා දේශපාලඥයන් පසු පස ගිය සමහර නිලධාරීන්ද සිටියා. 2002 වර්ෂයේදී 17 වන සංශෝධනය ගෙන ආවේ යම් විදිහකින් හෝ මෙම තත්ත්වය වෙනස් කිරිම සඳහායි. ඉන්පසු 2015 ගෙන ආ 19 වන සංශෝධනයෙන් රාජ්‍ය සේවකයාට ලැබිය යුතු ආරක්‍ෂාව හා ගෞරවය ලබා දුන්නා.

20 වන සංශෝධනය ගෙන ඒමෙන් පසු නැවතත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය වුණා. ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව හරහා කළ පත්වීම් දෙස අප බලන්නේ බලවත් වේදනාවෙන් හා කලකිරීමෙන් යුතුවයි. ආණ්ඩුවේ පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයන්ව සිටි අය අද මෙම කොමිෂන් සභාවල තනතුරු දරමින් සිටිනවා.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස රජයට අප තරයේ කියා සිටින්නේ මේ සඳහන් කළ කරුණු ගැන කල් නොයවා අවධානය යොමු කරන්න කියායි. එසේ නොවුණ හොත් දැඩි අසහනයට පත්ව ඇති ජනතාව නිසි පිළිතුරු දීම නවත්වන්නට බැරි වේවි. ජනතාව කුපිත නොකරන ලෙස අප රජයට යහපත් සිතින් කියනවා.

Advertiesment