Saturday 8th of May 2021

English Tamil
Advertiesment


වසරකට ඩොලර් මි. 4205ක් ඉතිරි කර ගන්නා හැටි මෙන්න


2021-01-07 1581

වාර්ෂික විදේශ ණය වාරිකයට විසඳුමක්

 

පරිප්පු ආනයනය අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 1600යි 

 

වියළි මිරිස් ආනයනය කපා හැරීමෙන් රු. මිලියන 10,000යි

 

කිරිපිටි ආනයනය නතර කිරීමෙන් ඩොලර් මිලියන 400යි 

 

පෙට්‍රල්වලට මිශ්‍ර කළ හැකි ප්‍රභවයක් ලෙස කසිප්පු දියුණු කිරීමෙන් ඩොලර් මිලයන 650යි 

 

වාහන ආනයනය අත්හිටුවීමෙන් ඩොලර් මිලියන 1573.5යි   

 

 

(වික්ටර් අයිවන්)

 

ආහාර විෂයේ දී ශ්‍රී ලංකාවේ පරිප්පුවලට ලැබී තිබෙන වැදගත්කම අති විශාල වන අතර පේ‍්‍රමය නැති ජීවිතය හඳුන්වා තිබෙන්නේ පරිප්පු නැති හෝටලයකට සමාන කෙරෙන ආකාරයටය. වසරකට පරිප්පු ආනයනය සඳහා කරන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 1600ක් තරම් විශාලය. ශ්‍රී ලංකාවේ මයිසූර් පරිප්පු වගා කළ නොහැකි වුවත් තෝර පරිප්පු වගා කළ හැකි අතර පියලි කෙරුණු මුං ඇට පරිප්පුවලටත් වඩා රසවත් ය. ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය තරමට තෝර පරිප්පු සහ මුං ඇට වගා කරන තැනකට යමින් පරිප්පු ආනයනය මුළුමනින් කපා හැරීමෙන් පමණක් වසරකට ඉතිරි කර ගත හැකි විදේශ විනිමය ප‍්‍රමාණය ඩොලර් මිලියන 1600කි. 

ශ්‍රී ලංකාව මිරිස් අවශ්‍යතාවයෙන් නිපදවන්නේ සියයට පහලොවක් තරම් ප‍්‍රමාණයක් පමණය. වසරකට වියළි මිරිස් මේට්‍රික් ටොන් 50,000ක් පමණ ආනයනය කරන අතර ඒ සඳහා කරන වියදම රුපියල් මිලියන 10,000කි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව කුඹුරු අක්කරයකින් ඉපයිය හැකි ආදායම රුපියල් 40,000ක් වන විට මිරිස් අක්කරයකින් ඉපයිය හැකි ආදායම රුපියල් 3,33373කි. මිරිස් බීජ ගැන කෙරෙන පර්යේෂණ විශාල ප‍්‍රමාණයකට අත හැර තිබීම නිසා අමු මිරිස් විනා වියළි මිරිස් සඳහා හොඳ මිරිස් ප‍්‍රභේදයක් තවමත් සොයා ගෙන නැත.

ප‍්‍රමුඛ ජාතික වැදගත්කමක් ලැබෙන ලෙස ජාන තාක්ෂණය යොදා ගනිමින් ඒ සඳහා පර්යේෂණ කරන තැනකට යන්නේ නම් කොල කොඩවීමේ රෝගයට ඔරොත්තු දෙන අමු මිරිස් කිලෝ හතරක් තරම් ප‍්‍රමාණයකින් වියළි මිරිස් කිලෝවක් නිපදවා ගත හැකි මිරිස් ප‍්‍රභේදයක් අවුරුද්දකට අඩු කාලයකදී  නිපදවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි නොවනු ඇත. 

මිරිස් වගාව පරණ ක‍්‍රමය වෙනුවට "Green House" ක‍්‍රමයට වගා කරන තැනකට යා හැකි නම් ඒ සඳහා යන ආරම්භක වියදම විශාල වුවත් ඒ මගින් උපයා ගත හැකි ආදායම ඉතා විශාල වන අතර ඒ ක‍්‍රියාමාර්ගය එක තැන පල් වන තැනක තිබෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීන තැනකට ගෙන යන ක‍්‍රියා මාර්ගයක පුරෝගාමී අවස්ථාවක් බවට පත් කර ගත හැකිය.

ශ්‍රී ලංකාව කිරිපිටි ආනයනය සඳහා කරන වාර්ෂික වියදම ඩොලර් මිලියන 400කි. ශ්‍රී ලංකාව කිරි අවශ්‍යතාවයෙන් 45% ක් නිපදවන රටක් වන නිසා කිරිපිටි ආනයනය මුළුමනින්ම කපා හැරිය ද එම තත්ත්වය ශ්‍රී ලංකාවට දැරිය නොහැකි තත්ත්වයක් නොවනු ඇත. එළ හරක් ඇති කිරීම සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් රටට තිබෙන්නේ නම් කිරිවලින් ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත කිරීම අමාරු කාර්යක් වන්නේ නැත. 

කිරි සහ මස් යන අවශ්‍යතා දෙකම වෙනුවෙන් විනා කිරි පිණිස පමණක් එළ හරක් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායි වන්නේ නැත. ඉන්දියාව හරක් මස් කන්නේ නැතත් හරක් මස් අපනයනය කරන ප‍්‍රධාන රටකි. ශ්‍රී ලංකාව හරක් මස් කන්නේ නැති නම් අපනයන කර්මාන්තයක් වශයෙන් හෝ එම කර්මාන්තය පවත්වා ගෙන යාමට ඉඩ දිය යුතුය. හරක් ඇති කිරීම ආර්ථික වශයෙන් ලාභදායි ව්‍යාපාරයක් බවට පත් වනු ඇත්තේද, රට කිරිවලින් ස්වයං පෝෂිත කර ගත හැකි වනු ඇත්තේද එවිටය.

ශ්‍රී ලංකාව මෝටර් රථ ආනයනය සඳහා කරන වාර්ෂික වියදම ඩොලර් මිලියන 1573.5කි. සියලුම වර්ගයේ මෝටර් රථ වාහන ආනයනය වසර 5ක් වැනි කාලයක් සඳහා තහනම් කළ හැකිය. ආනයන කරන වාහනවලට  බදු අය කරන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වන නිසා එමගින් රජයට ලැබෙන බදු ආදායමේ පහත වැටීමක් ඇති විය හැකි වුවත් ඒ මගින් ගෙවුම් ශේෂ ප‍්‍රශ්නයට ලොකු සහනයක් ලබා ගත හැකිය. ඉන්ධන ආනයනය සඳහා කරන වියදම ද ඒ මගින් අඩු කර ගත හැකිය. රටට අවශ්‍ය තරමටත් වඩා මෝටර් රථ තිබෙන නිසා එවැනි ප‍්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තිබෙන මෝටර් රථ ප‍්‍රශස්ත ලෙස පාවිච්චි කරන තැනකට රට යොමු කිරීමට ද, මෝටර් රථ කාර්මික අංශයේ වර්ධනයක් ඇති කිරීමට ද හැකි වනු ඇත. 

ඉන්ධන වියදම ආනයන වියදමේ තිබෙන ලොකුම වියදම් සංරචකය ලෙස සැලකිය හැකිය. වාර්ෂික ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 4151කි. බ්‍රැසීලය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව වැනි රටවල් පෙට්ට‍්‍රල්වලට 10% සිට 15% දක්වා එතනෝල් හෝ ඇල්කොහොල් විශේෂ කලවම් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි. කවලම් කොට හදා ගන්නා එම පෙට්ට‍්‍රල් විශේෂය සැලකෙන්නේ පරිසර හිතකාමී ඉන්ධන විශේෂයක් ලෙසය. බ‍්‍රසීලය එතනෝල්වලින් පමණක් ධාවනය කිරීමේ හැකියාවක් ඇති මෝටර් රථ විශේෂ දෙකක්ද නිපදවා තිබේ. 

ශ්‍රී ලංකාවට මෙවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයි..? ගෘහස්ථ මට්ටමෙන් නිපදවන "කසිප්පු" එම අවශ්‍යතාවය සඳහා යොදා ගත හැකි ප‍්‍රභවයක් බවට හරවා ගැනීමේ හැකියාවක් නැද්ද..? ඒ සඳහා හැකියාවක් තිබෙනු ඇත. ඒ සඳහා වෙනත් රටවල අත්දැකීම් ප‍්‍රයෝජනයට ගනිමින් ගෘහස්ථ මට්ටමෙන් නිපදවන "කසිප්පුවල" ඇති කළ යුතු වෙනස්කම් මොනවාද යන්න ගැන කරුණු හොයා බලන පර්යේෂණ කරන තැනකට යා යුතුය.

පෙට්ට‍්‍රල්වලට මිශ‍්‍ර කිරීම සඳහා යොදා ගත හැකි කදිම මිශ‍්‍රණයක් බවට හරවා ගැනීම සඳහා "කසිප්පුවල" ඇති කළ යුතු වෙනස්කම් හඳුනා ගනිමින් එම ප‍්‍රභවය සාර්ථක විකල්පයක් බවට හරවා ගත හැකි නම් පෙට‍්‍රල් ආනයනය සඳහා යන වියදමෙන් ඉතිරි කර ගත හැකි විදේශීය විනිමය වත්කම්වල ප‍්‍රමාණය ඩොලර් මිලියන 650කි. 

එමගින් නීති විරෝධී ස්වරූපයෙන් පවත්වා ගෙන යන ගෘහස්ත කර්මාන්තය නිසි නියාමනයකට යටත් කර රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙන කර්මාන්තය බවට පත් කළ හැකිය. එම කර්මාන්තය වී නිෂ්පාදනයෙන් වසරකට ජාතික නිෂ්පාදනයට එකතු කරන අගයට වැඩි අගයක් එකතු කරන කර්මාන්තයක් බවට පත් කළ හැකිය. එම නිෂ්පාදන කර්මාන්තයේ වාර්ෂික ණය ඩොලර් මිලියන 650ක් හෙවත් රුපියල් මිලියන 1,17500කි. ඒ මගින් ග‍්‍රාමීය ආර්ථිකයට ගලා යන ආදායම්වල වටිනාකම රුපියල් මිලියන 1,17500කි. 

මෙම යෝජනා ක‍්‍රියාත්මක කිරීම මගින් පමණක් වසරකට ඉතිරි කර ගත හැකි විදේශ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 4205ක් බව සඳහන් කළ යුතුය. එම මුදල ණය සේවාකරණය සඳහා අපට ගෙවන්නට සිදුවී තිබෙන වාර්ෂික වාරිකයේ වටිනාකමට සමාන ය.

(ප්‍රවීණ ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් "විපත සැපතක් බවට හරවා ගැනීම" යන මාතෘකාව යටතේ ලියා පළ කරන ලද ලිපියේ කොටසක් උපුටා ගෙන සංස්කරණය කොට සකස් කරන ලද්දකි.)

 

 

Advertiesment