Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


සමගිය දෙදරයි-පාඨලී පලා යයි-සජිත් අනාථයි


2021-01-05 7822

සිහිනයෙන් වත් නොසිතූ ප්‍රහාරයකට ලක් වෙයි

 

චම්පික රණවකගේ කුමන්ත්‍රණය ෆිල්ඩ් මාර්ෂල් හෙළි කරයි

 

තිස්සගේ නිහැඬියාවයි අශෝකගේ ප්‍රකාශයයි සැකයට තුඩු දෙයි

 

"පාඨලී හදන්නේ තර්ජනය කර 2024 අපේක්ෂකයා වෙන්නයි"

 
 
(සුජිත් මංගල ද සිල්වා)

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර ඇති වූ උග්‍ර මත ගැටුමක් හමුවේ පරාජයට පත්ව ඇති පාඨලී චම්පික රණවක මහතා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම වර්ජනය කොට නැඟිට ගොස් තිබේ.

මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (04) සවස පැවැති අතර, අදාළ මත ගැටුම ඇති වී තිබෙන්නේ "43 වැනි සේනාංකය" යන තේමාව යටතේ පාඨලී චම්පික රණවක මහතා ක්‍රියාත්මක කරමින් සිටින වැඩ පිළිවෙළ මුල් කර ගෙන ය.

"43 වැනි සේනාංකය" යටතේ සමගි ජන බලවේගයට පරිබාහිරව පුද්ගලයන්, කණ්ඩායම් සහ සංවිධාන එකට ඒකරාශි කරමින් පක්ෂයට අභියෝගයක් වන අයුරින් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ කණ්ඩායම් රැස්වීම ආරම්භයේ දී ම පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කර ඇත.

එම විවේචන ප්‍රතික්ෂේප කරමින් පාඨලී චම්පික රණවක මහතා තරයේ ප්‍රකාශ කර ඇත්තේ මෙම "43 වැනි සේනාංකය" යටතේ තමා ඇතුළු කණ්ඩායම එකට ඒකරාශි කරමින් සිටින්නේ සමගි ජන බලවේගය සමඟ සම්බන්ධ වීමට අකමැති පුද්ගලයන්, කණ්ඩායම් සහ සංවිධාන බව ය. 

පාඨලී චම්පික රණවක මහතාගේ එම ස්ථාවරය සහ කරුණු පැහැදිළි කිරීම තරයේ ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙන්නේ ඒ සියලු දේශපාලන වැඩ කටයුතු සමගි ජන බලවේගය යටතේ පමණක් සිදු කළ යුතු බව ය. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙහි දී සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය අනුමත කරමින් පාඨලී චම්පික රණවක මහතාට අවවාද කර ඇත්තේ අලුත් ම දේශපාලන පක්ෂයක් ලෙස විජයග්‍රාහී ගමනක යන සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති නොකර, ඕනෑම දේශපාලන කටයුත්තක් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි සමගි ජන බලවේගය යටතේ පමණක් සිදු කරන ලෙස ය. 

මෙහි දී නැගී සිටී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තරයේ චෝදනා කර සිටියේ පාඨලී චම්පික රණවක මහතා කුමන්ත්‍රණය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට තර්ජනය කර 2024 ජනාධිපති අපේක්ෂකත්වය බලහත්කාරයෙන් ලබා ගැනීමට බව ය. 

"43 වැනි සේනාංකය" අටවා ගෙන සමගි ජන බලවේගයට පරිබාහිරව පුද්ගයන්, කණ්ඩායම් සහ සිවිල් සංවිධාන එකට ඒකරාශි කරමින් සිටින්නේ ඒ නිසා යැයි චෝදනා කර සිටී සරත් ෆොන්සේකා මහතා, සිවිල් සංවිධානවලට මේ මොහොත වන විට රටේ - ජන සමාජයේ කිසිදු බලයක් නොමැති අතර, යහ පාලන ආණ්ඩුව විනාශ කළේ ද, මෙම සිවිල් සංවිධාන බව වැඩි දුරටත් කියා සිටියේ ය. 

එහි දී වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා, මෙම මත ගැටුම සමථයකට ලක් කිරීමට උත්සාහ කරමින් කියා සිටියේ, මේ ප්‍රශ්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සාකච්ඡා කොට විසඳා ගත යුතු බව ය. 

සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය අනුමත නොකර, පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අශෝක් අබේසිංහ මහතා කළ මෙම ප්‍රකාශය හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මවිතයට පත්ව තිබේ. 

ඊට අමතරව, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මේ අවස්ථාවේ දී, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හෝ පාඨලී චම්පික රණවක මහතාගේ හෝ පැත්ත නොගෙන කිසිවක් නොකියා නිහඬව බලා සිට ඇති අතර, එම සිද්ධිය සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇත. 

මෙම වාතාවරණය හමුවේ අවසානයේ දී පාඨලී චම්පික රණවක මහතා සිදු කර තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එල්ල කළ මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් අදාළ රැස්වීමෙන් නැඟිට යෑම ය.  

 

Advertiesment