Monday 10th of May 2021

English Tamil
Advertiesment


සිය මව්බිමෙහි මිහිදන්වීමට මුස්ලිම් ජාතිකයින්ට ඇති අයිතිය තහවුරු කරනු 


2020-12-22 10326

වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙනු

 

රජය ක්‍රියා කළ යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුවයි 

 

එක්සත් ජාතීන්ගේ ස්ථාවරය පිළි ගනු 

 

ශ්‍රී ලංකාව ලෝකය හමුවේ හෑල්ලුවට ලක් නොකරනු 

(සුජිත් මංගල ද සිල්වා)  

 

ලෝක මට්ටමේ පිළිගත් විශේෂඥයින් ද, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විටත් ලබාදී ඇති නිර්ණායකයන්ට, උපදෙස්වලට සහ මඟ පෙන්වීම්වලට ගරු කරමින්, COVID-19 වසංගතයෙන් මිය යන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතු වන ආගමික සිරිත් විරිත් අනුව සිදු කිරීමට රජය වහාම අවසර ලබා දිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්තියේ, සාධාරණත්වයේ සේම මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

දේශබන්දු කරූ ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ගරු කළ යුතුය. ශ්‍රී ලංකාවේ උපන් සිංහල දෙමල,මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත් පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන්වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මිය යන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයකි. එවැනි යම් හෝ උත්සහයක් මඟින් සිදු කරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක් කිරීමකි. 

කොවිඩ් වසංගතයෙන් මිය යන ශ්‍රී ලාංකීය මුස්ලිම් ජාතිකයන් මාලදිවයින තුළ භූමදාන කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එරට සමඟ සාකච්ජා කළ බවට පළවූ වාර්තාවන් පිළිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් කණස්සල්ට පත්වූ අතර මේ ආකාරයට අප මාතෘ භූමිය කවරෙකු විසින් හෝ හෑල්ලුවට ලක් කිරීම ගැන සංවිධානයක් ලෙස අපි දැඩි ලෙස සංවේගයට පත්ව සිටින්නෙමු.

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරයන් පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමානවලට පරිභාහිරව කටයුතු කිරීම මඟින් සහ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිළිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකළ යුත්තකි. අප කුමන හෝ කරුණක් මුල් කර ගනිමින් එවැනි අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිළිබදව ගැඹුරින් තේරුම් ගත යුතුව තිබේ.

මෙම සංවේදී කාරණයට අදාළව රජය නොයෙක් ආකාරයේ සාකච්ඡාවන්හී නිරතව සිටින බවට වාර්තා පළ වන්නේ වුවද මේ දක්වාම නිශ්චිත වූ යහපත් තීරණයක් ගැනීමට ප්‍රමාද කිරීම තේරුම් ගත නොහැකිය. එමඟින් සිදු වන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනස් කොට සලකන බවට භාහිර සමාජය තුළ අපකීර්තිමත් මතයක් ගොඩනැගීමට අනුබල සැපයීමකි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට අපේක්ෂා කරන ඕනෑම ආකාරයේ අන්තවාදී බලවේගයන්ට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමකි. මේ වන විටත් ලෝකයේ රටවල් ගණනාවකම ප්‍රධාන නගර කිහිපයකදීම ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා රැළි කෙරෙහි අවධානය යොමු කිරීම මඟින් ද ඒ බව අවබෝධ කර ගත හැක. 

ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්තියේ, සාධාරණත්වයේ මෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසටය. ලෝක මට්ටමේ පිළිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වන විටත් ලබාදී ඇති නිර්ණායකයන්ට සේම මඟ පෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් විරිත් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.  
 

Advertiesment