Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


සත්ව සුභසාධන පනතක අවශ්‍යතාවය නවීන් මතු කරයි


2020-12-22 8991

සත්ව හිංසනය මුළු පෘථිවි තලයෙන්ම තුරන් කළ යුතුයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළි ගන්නා සැබෑ බෞද්ධයින් නම් සත්ව හිංසනයට විරුද්ධව ක්‍රියා කළ යුතු අතර සත්ව සුභසාධන පනත ශ්‍රී ලංකාවට වහාම ගෙන ආ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.

සත්ව හිංසනය මුළු පෘථිවි තලයෙන්ම අතු ගා දැමිය යුතු කාලය එළැඹ ඇතැයි පෙන්වා දෙන නවීන් දිසානායක මහතා සත්ව හිංසනයට එරෙහිව අලුත් පරම්පරාව පෙළ ගැසෙමින් සිටීමට අගය කළ යුතු යැයි ද සඳහන් කළේය.

"DHARMA VOICES FOR ANIMALS" YouTube" නාලිකාව සමග පිළිසඳරකට එක් වෙමින් මේ අදහස් පළ කළ නවීන් දිසානායක මහතා එහිදී වැඩි දුරටත් මෙසේද කීය.  

සත්ව හිංසනයට එරෙහිව පෙළ ගැසෙමින් සිටින අපේ අලුත් පරම්පරාව මිනිසුන්ට වගේම සතුන්ට ද අයිතිවාසිකම් තිබෙන බව තරයේ කියා සිටින අතර සතුන්ට ද තිබිය යුතු ඒ අයිතිවාසිකම් වැඩිහිටියන් ලෙස අප ද පිළි ගන්නවා. 

විශේෂයෙන් ආහාර සඳහා සතුන් ජීවිතක්ෂයට පත් කරන ආකාරය ගැන මිනිසුන් ලෙස අප අලුතින් සිතිය යුතු කාලය එළැඹ තිබෙන අතර ඒ සඳහා විශේෂ රෙගුලාසි තිබිය යුතුයි. මිනිසත්කමට තරම් නොවන ලෙස විවිධ වධ හිංසා පමුණුවමින්  මිනිස්සුන්ට කැමති කැමති ආකාරයට සිය ආහාර සඳහා සතුන් ඝාතනය කිරීමට ඉඩ තැබිය නොහැකි අතර එම යථාර්ථය දියුණු ලෝකය පිළි ගත යුතුයි.

මාංශ ආහාරයට ගැනීමට අවශ්‍ය බව බොහෝ මිනිසුන් කියා සිටිනු ඇති අතර සිය කැමැත්ත පරිදි මාංශ අනුභවයට තිබෙන අවස්ථාව ඒ අයගේ අයිතියක් ද වන නමුත් සතුන් වධ හිංසනයට ලක් කළ යුතු යැයි එමගින් කියා සිටින්නේ නැහැ. වර්තමානයේ පවතින්නේ පුළුල්, දියුණු සහ නීති රීති සහිත ලෝකයක් වන නිසා මේ කරුණු කාරණා ගැන රටක්-සමාජයක්-ලෝකයක් සහ මනුෂ්‍ය සම්භවයක් ලෙස අප පුළුල් මනසකින් යුතුව සිතා බැලීම අත්‍යවශ්‍යයි.

මාරාන්තික COVID-19 වෛරසය වැළඳෙන්නේ සහ එම වෛරසය මගින් මිනිසුන් බිලි ගන්නේ ජාතිය, ආගම, කුලය, භාෂාව, තරාතිරම සහ දේශපාලන පක්ෂය අනුව නොවේ. පොදුවේ සියලු මිනිසුන් එම වසංගතයට ගොදුරු වනවා. එම නිසා අප කවුරුත් මනුෂ්‍යයින් ලෙස සිතා බලා කටයුතු කිරීමට අවශ්‍ය බව කිව යුතුයි.

අප සැබෑ බෞද්ධයින් නම් බුදු රජාණන් වහන්සේගේ ඒ උසස් ධර්මයට අනුව හැසිරෙමින් සහ ක්‍රියා කරමින් සත්ව හිංසනයට විරුද්ධව ක්‍රියා කළ යුතුය යන මතයේ මම දැඩිව සිටිනවා. සත්ව හිංසනය මේ පෘථිවි තලයෙන් සදාහටම අතු ගා දැමිය යුතු අතර සත්ව සුභසාධන පනත ශ්‍රී ලංකාවට වහාම ගෙන ආ යුතු බවට අප අවධාරණය කර සිටින්නේ මේ පසුබිම මතයි.        

Advertiesment