මා විසින් මීට පෙර "යුගයක අවසානය" යන හිසින් ලියන ලද ලිපිය දේශපාලන තලයේ සැලකිය යුතු තරමේ අවධානයකට ලක් වුණේ යැයි කිව හැකිය. ශ්‍රී ලංකාව ගමන් කරමින් තිබෙනුයේ අරාජකත්වයක් හරහා අති විශාල විනාශයකට බව අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසුව මා ශ්‍රී ලංකාව පිළිබඳව ඇති කර ගෙන තිබුණු ප්‍රධාන නිරීක්ෂණයක් විය. එම තත්ත්වය පැහැදිළි කිරීම සඳහා 2011දී "ලංකව ගලවා ගැනීම" නමින් පොතක්ද ලියන්නට සිදු විය.
ශ්‍රී ලංකාව පිළිබඳව වන මාගේ එම පුරෝකථනය මේ වන විට හොඳින් සනාථ වී තිබෙන්නේ යැයි කිව හැකිය. මා 'යුගයක අවසානය" යන ලිපියෙන් අපේක්ෂා කළේ " ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන" ක්රමයේ ඇතිවී තිබෙන බිඳ වැටීම පරිපූර්ණ තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දීම සඳහාය.
කුමන හේතුවක් නිසා හෝ මගේ එම ලිපිය සාම්ප්‍රදායික දේශපාලන නායකයන් ගණනාවකගේ අවධානයට හේතුවී තිබුණි. ඔවුන් කිහිපදෙනෙකු එකට එකතු වී ඒ ගැන කතා කර තිබුණු අතර, පසුව ඉන් දෙදෙනෙක් ගාල්ලට පැමිණ ඒ ගැන මා සමගද කතා කළේය. ඊට දින කිහිපයකට පෙර දේශපාලන තලයේ තවත් ප්රමුඛ පුද්ගලයෙකු මගේ නිවසට පැමිණ ඒ ගැන මා සමග කතා කළේය. මගේ අදහස් පළ කිරීම ඔවුන් සම්බන්ධයෙන් පවා දැඩි විවේචනාත්මක වූ අතර, මාගේ ඒ සියලු විවේචනයන්ට සවන් දෙමින් ඒ හැම කෙනකුම අවසානයේ කියා සිටියේ එම තත්ත්වය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත යුතු විකල්ප ප්‍රවේශයක් වේ නම් සහ ඒ ප්‍රවේශය පත්‍රිකාවක් ලෙස පළ කළ හැකි නම් ඒ ආශ්රයෙන් සමාජ කථිකාවක් ඇති කර ගත හැකි බවය.
පරණ නායකයන් වෙනස් විය හැකිද..? ඒ කවර ප්රමාණයකටද යන ප්‍රශ්න මට තිබෙන්නේය. එහෙත් මෙහි පළ වන පත්‍රිකාව ඔවුන්ගෙන් ලැබුණු ඇරයුම නිසා ලියන ලද්දක් බව කිව යුතුය. මෙම පත්‍රිකාව රටේ සමස්ත අර්බුදය අළලා ලියන ලද්දක් නොව, අර්බුදයේ වැදගත් පැතිකඩක් අළලා ලියන ලද්දකි.
මා යෝජනා කරන වෙනස්කම් ඉවසා දරා ගැනීමේ හැකියාව රටේ නායකයන්ට තිබෙන්නේද..? ඒ ඉවසීම ඇති නම් ප්රතිනිර්මාණකරණයකට යාමේ හැකියාව රටට ඉක්මනින් ලැබෙනු ඇති අතර එසේ නොවෙතොත් තව කලක් මේ අර්බුදයේම පිච්චි පිච්චී සිටින්නට රටට සිදු වනු ඇත.
(01) මහා ජනයා තෝරා පත් කර ගන්නා රාජ්‍ය නායකයාද, ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන්ද, ව්‍යවස්ථාව සහ ඊට ඇතුළත් ප්‍රධාන ගුණධර්මවලට ගරු නොකිරීම ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ක්රමයේ ඇතිවී තිබෙන ගරා හැලීම සහ බිඳ වැටීම කෙරෙහි බලපා තිබේ. පහත දැක්වෙන වැරදි ඔවුන් හොබ වන තනතුරුවලින් ඉවත් කිරීමට තරම් හේතු වන වැරදි ලෙස නීති ගත කළ යුතුයි.
(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හෝ විකෘති කිරීමට හේතු වන ක්‍රියා.
(ආ) ජාතික සමගිය දුර්වල කිරීමට හේතු වන ක්‍රියා.
(ඇ) රාජ්‍යයේ ස්වභාවය විකෘති කිරීමට හේතු වන මතු දැක්වෙන ක්‍රියා.
(I) රාජ්‍ය කෙරෙහි ජනතාවට තිබෙන පරමාධිපත්‍යය බලය හීන කිරීමට හේතුවන ක්‍රියා.
(II ) මානව හිමිකම් සහ රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදී ස්වරූපය හීන කිරීමට හේතු වන ක්‍රියා.
(III) නීතියේ ආධිපත්‍යය සහ නීතියේ සර්ව සාධාරණත්වය දුර්වල කිරීමට හේතු වන ක්‍රියා.
(ඈ) රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමට හේතු වන ක්‍රියා.
(ඉ) දූෂිත ගණයෙහිලා සැලකිය හැකි ක්‍රියා.
(I) ආදායම් උපයා ගත හැකි රජයේ බලපත්‍ර (ගුවන් තරංග, මත්පැන්, ප්‍රවාහන, ඛනිජ සම්පත් සහ වෙනත් විවිධ) හිමි කර ගැනීම, සිය පවුලේ අයට හිමි කර දීම හෝ ගජ මිතුරන්ට හිමි කර දීම.
(II) රජයේ කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ සැපයුම්කරුවන් ලෙස ක්‍රියා කිරීම.
(III) රජයේ දේපොළ මිලදී ගැනීම, බදු ගැනීම පවරා ගැනීම, රජයේ දේපොළ විකිණීම සහ බදු දීම.
(02) 1978න් පසුව ජනාධිපතිවරුන් පොදු දේපොළ විෂයෙහි සිදු කර තිබෙන බරපතළ වැරදි ගැන සොයා බලන තැනකට යා යුතුය.
(03) බරපතළ වැරදි කරන රාජ්‍ය පාලකයන්ට එරෙහිව මහා ජනයාටද පාර්ලිමේන්තුව වෙත විශ්වාස භංග යෝජනා සහ දෝෂාභියෝග ගෙන ඒමට පුළුවන්කම ලබා දෙන, ස්විට්සර්ලන්තය ඇතුළු සමහර රටවල ක්‍රියාත්මක වන "ජනප්‍රිය ප්රාරම්භක ක්‍රමය" සහ "විකල්ප ජනමතවිචාරණ ක්‍රමය" ශ්‍රී ලංකාවට ගැළ පෙන ලෙස යොදා ගත යුතුය.
(04) වත්කම්-බැරකම් නීතිය යනු අයථා ලෙස වත්කම් උපයා ගෙන ඇති අය කොටු කර ගැනීම සඳහා ලෝකයේ බොහෝ රටවල යොදා ගෙන තිබෙන බලසම්පන්න නීතියක් වුවත්, එම නීතියේ ශ්‍රී ලංකා අනුවාදය සකස් කර ගෙන තිබෙන්නේ වැරදි කර තිබෙන පුද්ගලයන්ට පැන යාමට ඉඩ ලැබෙන ආකාරයටය. එහි තිබෙන වැරදි නිවැරදි කිරීමට හේතු වන ලෙස එම නීතිය සංශෝධනය කොට බලාත්මක කළ යුතුය.
(අ) චේතනාන්විතව සිය වත්කම් සැඟවීමේ අරමුණින් වත්කම්-බැරකම් ප්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටින අයට දිය යුතු දඬුවම වසර දෙකක් බවට පත් කොට ඔවුන් සඟවා ගෙන තිබෙන ධනය රාජ සන්තක කරන නීති ඇති කළ යුතුය.
(ආ) චේතනාන්විතව තොරතුරු සඟවන සහ විකෘති කර තිබෙන අයටද දිය හැකි දඬුවම අවුරුදු දෙකක සිර දඬුවමක් බවට පත් කළ යුතුය.
(ඇ) මැතිවරණ සඳහා නාම යෝජනාවලදී නාම යෝජනා සමග වත්කම්-බැරකම් ප්‍රකාශ ලබාදීම අනිවාර්ය කළ යුතුය.
(ඈ) රාජ්‍ය නායකයාගේ සිට වත්කම්-බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලු දෙනාගේ වත්කම්- බැරකම් ප්‍රකාශන වෙබ් අඩවියක් මගින් පවත්වා ගෙන යෑමේ වගකීම විගණකාධිපතිවරයාට ලබාදිය යුතුය.
(05) ප්රජාතන්ත්රවාදී නොවන දේශපාලන පක්ෂ ක්‍රමය
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ඇතත්, ප්රජාතන්ත්රවාදී පදනමක් මත ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රමයක් නැතිකමද ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය ජරාජීර්ණ තත්ත්වයකට පත් කොට එම ක්‍රමය බිඳ වැටීමක් දක්වා වර්ධනය කිරීමට හේතුවී තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.
(අ) දේශපාලන පක්ෂවලට ලබා දෙන නිශ්චිත කාල රාමුවක් ඇතුළත ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථා ඇති කර ගනිමින් එම ව්‍යවස්ථාවන්ට අනුකූලව නිලවරණ පවත්වා දේශපාලන පක්ෂ ක්රමයේ ව්‍යුහයන් ප්රජාතන්ත්රවාදී කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බවට පත් කළ යුතුය.
(06) මැතිවරණ අරමුදල්
රාජ්‍ය නායකයාද, දේශපාලන පක්ෂ සහ ඒවායෙහි නායකයන්ද, මන්ත්‍රීවරුන්ද මැතිවරණවලදී කළු සල්ලිකාරයන් මත යැපීම දේශපාලන ක්‍රමය දූෂිත කිරීමට හේතුවී තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරණය සඳහා තරඟ කරන ප්‍රධාන අපේක්ෂකයකුගේ සාමාන්‍ය වියදම රුපියල් බිලියන තුනකි. බොහෝවිට එම වියදමෙන් ලොකු පංගුවක් ඔවුන්ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙනි. ඒ වෙනුවෙන් බලයට පත් වන ජනාධිපතිවරුන්ට මහා ජනයාට නොපෙනෙ ලෙස එම ජාවාරම්කරුවන්ට අනුග්‍රහය ලබාදීමට සිදුවී තිබේ. පාර්ලිමේන්තුවට තරඟ කරන අපේක්ෂකයන්ගේ තත්ත්වයද මීට වෙනස් නැත.
(අ) පක්ෂ අරමුදල් සහ මැතිවරණ අරමුදල් පරීක්ෂාවට ලක් නොවන එකම රට සමහර විට ශ්‍රී ලංකාව විය හැකිය. මැතිවරණ අරමුදල්වලට ලැබෙන ආධාර සහ මැතිවරණ වියදම් සඳහා සීමා නීති ඇති කළ යුතු අතර ඒ බලය මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය.
(ආ) පක්ෂ අරමුදල් සහ මැතිවරණ අරමුදල් පරීක්ෂා කිරීමේ බලය මැතිවරණ කොමිසමට සහ විගණකාධිපතිට ලබා දිය යුතුය.
(ඇ) 1977 දක්වා ක්‍රියාත්මක වූ ආකාරයට මැතිවරණවලට තරඟ කරන සියලු අපේක්ෂකයන් ඔවුන්ගේ ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණය අවසන් වී නිශ්චිත කාලයක් ඇතුළත දී මැතිවරණ කොමිසමට සහ විගණකාධිපති කොමිසමට ලබාදීම අනිවාර්ය කරන නීති ඇති කළ යුතුය. එම වාර්තා පරීක්ෂා කිරීමේ බලය මහා ජනයාටද දිය යුතුය.
(07) විද්‍යුත් නාලිකා
ශ්‍රී ලංකා සමාජයේ අවිචාරශීලී සහ පසුගාමී තත්ත්වය කෙරෙහි කිසියම් විශාල ප්‍රමාණයකට විද්‍යුත් ජනමාධ්‍ය හේතුවී ඇතැයි කිව හැකිය. මේ නාලිකා වැඩ කරන්නේද සමාජයේ පොදු යහපත සඳහා සකස් කළ ප්‍රතිපත්ති රාමුවකට අනුකූලව නොව, ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. මෙම ආයතන සියයට අනූ පහකටම බලපත්‍ර ලැබී තිබෙන්නේ අවිධිමත් ආකාරයකටය. භාණ්ඩාගාරයට ලැබිය යුතු බිලියන ගණනක ධනය ලබා ගෙන ඇත්තේ ජනාධිපතිවරුන්ගේ ගජ මිතුරන්ය.
(අ) විද්‍යුත් මාධ්‍ය ආයතනවලට බලපත්‍ර ලැබී තිබෙන ආකාරය ගැන සොයා බැලිය යුතුය.
(ආ) සියලුම විද්‍යුත් ජනමාධ්‍ය ආයතන රටේ පොදු සුබ සිද්ධිය සැලකිල්ලට ගෙන සකස් කළ ප්‍රතිපත්ති රාමුවක් ඇතුළත ක්‍රියා කරන ස්වයං නියාමන ක්‍රමයකට යටත් කළ යුතුය.
Lanka Newsweek © 2024