ශ්‍රී ලංකා පොලිසියට පැවරී තිබෙන දෛනික රාජකාරි කටයුතුවලට අමතරව මෙම කොරෝනා කාලයේ කොරෝනා ආසාදිතයන් සොයා යෑම, ස්වයං නිරෝධායනය වන නිවෙස්වලට ගොස් පරීක්ෂා කිරීම යනාදී වශයෙන් දහසකුත් වැඩ රාජකාරි පැවරී තිබේ. ඒ අතරවාරයේදී පසුගිය 08 වැනි අඟහරුවාදා කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට තවත් විශේෂ රාජකාරියක් කිරීමට සිදුවිය. ඒ, කෑගල්ල හෙට්ටිමුල්ල ආයුර්වේද මධ්‍යස්ථානයක් වෙත පැමිණි ජන ගඟ පාලනය කිරීමයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහා ජනකායක් ආයුර්වේද මධ්‍යස්ථානය අසල ඒකරාශී වී සිටියේ කොරෝනා සුවපත් කරන දේශීය පැණියක් පසුගිය 08 වැනි දින නොමිලේ බෙදා දෙන බවට පැතිර ගිය ආරංචියක් නිසාය. 10,000 කට අධික පිරිසක් එහි එක්රොක් වී සිටි බව වාර්තා විය.
අවසානයේදී කොරෝනා වයිරසය මර්දනය කළ හැකි යැයි පැවසෙන ධම්මික බණ්ඩාර වෙද මහතා නිපදවූ මෙම ඖෂධීය පැණිය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරියට සිදු විය. ඔහු එම අත්හිටුවීමේ නියෝගය දී තිබුණේ එම ඖෂධය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහ නිර්දේශය ලැබෙන තෙක් යැයි සඳහන් කරමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්ගේ පමණක් නොව මේ වනවිට සියලු දෙනාගේම අවධානය යොමු වී තිබෙන්නේ දෙසැම්බර් 02 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා වෛද්‍ය ක්ෂේත්රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මඬුල්ලකින් යුතු කමිටුවක් පත්කර ඇති බැවිනි. මෙම සාකච්ඡාවේදී ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ ඖෂධය ශ්‍රී ලංකාවට මෙන් ම මුළු ලෝකයටම ලබාදීමට විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව පර්යේෂණ කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කළ යුතු බවට තීරණය විය. මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සහභාගිත්වයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න සහ මහාචාර්ය කමනි වනිගසූරිය යන පිරිස මෙම කමිටුවට අයත් වෙති.
මෙම කමිටුවේ පර්යේෂණ කටයුතු අවසන් වනතෙක් නොඉවසූ අපේ රටේ ජනතාව පෝලිම් ගැසී ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධීය පැණිය ලබා ගැනීමට ගියේ විද්‍යාත්මක පර්යේෂණ තුට්ටුවකට මායිම් නොකරමිනි. විද්‍යාත්මක පදනමකින් තොරව පිළිසරණ සොයා යෑමට අපේ මිනිස්සු කවදත් හපන්නු වෙති. මෙරට ජනතාව මීවැල්ලෑවේත් දොළුකන්දේත් පෙළ ගැසී ගිය අයුරු නැවත සිහිපත් වන්නේ කෑගල්ලේ හෙට්ටිමුල්ලේ පොරකමින් සිටි අයුරු දකින විටදීය.
කෙසේ නමුදු මේ වනවිට ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ ඖෂධීය පැණිය කොරෝනා රෝගීන්ට අතිරේක ආහාරයක් වශයෙන් ලබාදීමට සුදුසු බව ආයුර්වේද කොරෝනා මර්දන කමිටුවේ නිල අනුමැතිය හිමිවී තිබේ. මේ බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දාවිතාරණ විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් තහවුරු කරනු ලැබීය.
මීට අමතරව මෙම ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය දැක බලා ගැනීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් දෙසැම්බර් 09 වැනිදා ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසට ගියහ.
කෑගල්ල හෙට්ටිමුල්ල උඩුවාගම ප්‍රදේශයේ පදිංචි වී සිටින ධම්මික බණ්ඩාරගේ නියම නම, අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාල වන අතර ඔහු දෙදරු පියෙකි. ගමේ ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ වෛද්‍යවරයකු වශයෙන් නොවේ. කැටයම් කැපීමටත් ඩොල්කි ගැසීමටත් රූකඩ නැටවීමටත් සමත් ඔහු හොඳින් ගීත ගායනා කළ හැකි කලාකරුවකු ලෙස ගමේ කොයි කා අතරත් ජනප්‍රිය චරිතයකි. ඔහුගේ ජීවිකාව ලෙස හැඳින්වෙන්නේ වඩු කර්මාන්තයයි. මීට වසර කීපයකට පෙර කාලි මෑණියන්ගෙන් වරමක් ලැබුණු බව පවසමින් ඔහු දේවාලයක් ඉදිකර තිබේ. එහෙත් කිසිම කෙනකු ඔහුව කපු මහත්තයා යනුවෙන් ආමන්ත්‍රණය කරනවාට ඔහු කැමැති නැත. ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ කාලි මෑණියන් ලෙස ඔහුව හඳුන්වනවාට ය. ඔහුට විරුද්ධව ඉඩම් නඩුවක් ද තිබේ. රිමාන්ඩ් භාරයේද සිටි ධම්මික බණ්ඩාර, ඉඩම් නඩුව සමථයකට පත් කරගෙන ඇත. දේශීය වෛද්‍යවරයකු හෝ පාරම්පරික වෛද්‍යවරයකු ලෙස ගමේ කිසිම කෙනෙකු අතර ප්‍රචලිත නොවූ ඔහු වෛද්‍යවරයකු ලෙස කරළියට පැමිණෙන්නේ කොරෝනා රෝගය සුව කිරීමට ඖෂධයක් නිෂ්පාදනය කිරීමෙනි. ඒ හැර ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය කිසිවකු උඩුවාගම හෙට්ටිමුල්ල ප්‍රදේශවල නැත.
ධම්මික බණ්ඩාර වෙද මහතා හා හාපුරා කියා ඔහු නිපදවූ ඖෂධය දී තිබෙන්නේ ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා වූ සංචාරක මඟ පෙන්වන්නාගේ ආශ්රිතයකුටය. සංචාරක මඟ පෙන්වන්නාගේ සමීපතම ආශ්‍රිතයන් 11 දෙනකු නිරෝධායනය කර සිටියදී එයින් 1 අයෙක් පැන ගොස් තිබිණි. ඒ එකී ආශ්‍රිතයාට උණ, කැස්ස, ගිලීමේ අපහසුතා වැනි කොරෝනා රෝග ලක්ෂණ මතු වූ නිසාය. මෙම පැන ගිය ආශ්‍රිතයා ධම්මික බණ්ඩාර හමුවීමට ගොස් තිබෙන්නේ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ය.
“කොරෝනා ගැන මේ ලෙඩේ රෝග ලක්ෂණ මම දැනගෙන හිටියා. ඒ නිසා තමයි මම මේ ඖෂධය ඔහුට දුන්නේ. මම දවස් 3 ක් බෙහෙත් දෙන විට එම රෝගියා සම්පූර්ණයෙන්ම සනීප වුණා. ඒක තමයි මගේ පළමු පරීක්ෂණය.” ධම්මික බණ්ඩාර පැවසුවේ එලෙසිනි.
මෙම වසරේ මාර්තු මාසයේ ලංකාවේ ප්‍රථම කොරෝනා රෝගියා හමුවීමත් සමඟ ධම්මික බණ්ඩාර වෙද මහතා ඖෂධයක් නිෂ්පාදනය කිරීමට තරම් ඉක්මන්වීම එක්තරා පුදුමයකි. මන්ද ඒ වනවිට කොරෝනා රෝගය වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ලෝකයේ බලවතුන් පවා ප්‍රමුඛත්වය ගෙන නොතිබීම නිසාය.
“මම මේ ඖෂධය හැදුවේ චීනයේ කොරෝනා වයිරසය පැතිරෙන කාලයේමයි. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරිවල ඉඳලා. හැබැයි මම මේ සඳහා දෙසැම්බර් මාසයේ ඉඳලා සූදානම් වුණා. මේ වයිරසය ලෝකය පුරා යන බව මම කල් තියාම දැක්කා. වැඩිකල් නොගිහින් ලංකාවටත් එන බව මම දැනගෙන හිටියා.” යනුවෙන් ඔහු අපේ ගැටලුව නිරාකරණය කළේය.
ඉන් අනතුරුව ඔහු දිගින් දිගටම මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත. මෙය නිෂ්පාදනය කිරීමට බොහෝ උදව් උපකාර කර තිබෙන්නේ ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ ප්‍රථම රෝගියා ය. මේ අතරවාරයේදී වතුපිටිවල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ධම්මික කුමාරගේ හිතවතකු කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ගැන දැනුම් දුන්නේය. එකී හිතවතා ද කොරෝනා රෝගයට ගොදුරුවී ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධය පාවිච්චි කර සුවය ලැබූ අයෙකි. පළමුවෙන් මේ කෙරෙහි එතරම් තැකීමක් නොකළත් මෙම ඖෂධය භාවිත කිරීමෙන් සුවපත් වූ අය හමුවීමෙන් ධම්මික බණ්ඩාර වෙද මහතා මුණගැසීමට ධම්මික කුමාර බටහිර වෛද්‍යවරයා තීරණය කළේ ය.
ඉන්පසුව වෛද්‍ය ධම්මික කුමාර වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරි චූල බණ්ඩාර සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළේ කෙසේ හෝ කොවිඩ් ආසාදිතයන් මරණයෙන් මුදවා ගත යුතු බැවිනි. කොරෝනා රෝගයෙන් රෝගීන් බේරා ගැනීම අරමුණු කරගෙන ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධය රෝගීන්ට ලබාදී සායනික පරීක්ෂාවක් කිරීමට වෛද්‍ය අධිකාරි චූල බණ්ඩාර ද එකඟ විය. ඒ අනුව වතුපිටිවල රෝහලේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන් 144 දෙනකුට මෙම ඖෂධීය පැණිය දී තිබුණි. දිනකට දෙවරක් මේස හැඳි 1 බැගින් දින 3 ක් ලබාදීමෙන් අනතුරුව මෙම රෝගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ විට කොවිඩ් වයිරසය නොමැති බවට තහවුරු විය.
මෙම පරීක්ෂණය සඳහා රෝගීන් තෝරාගෙන තිබුණේ පී.සී.ආර්. පරීක්ෂණ කර කොරෝනා ආසාදනය බවට තහවුරු වී දින 6 ක් ගත වූ රෝගීන්ටය. දින 6 ක් ගතවීමෙන් පසුව මෙම ඖෂධය නොදුන් රෝගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ කළ විට ඔවුන්ගේ ශරීර තුළ කොරෝනා වයිරසය ඉවත් නොවී තිබුණි. ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධය ගැන කතාබහට ලක් වන්නට පටන් ගත්තේ එතැන් සිටය.
මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට පමණක් නොව අනෙකුත් අයට ද යෝග්‍ය බව ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරයි. කොරෝනා රෝගීන් මේස හැඳි 1 බැගින් උදේ සවස දින 3 ක් පාවිච්චි කළ යුතුය. කොරෝනා රෝගයට ගොදුරු නොවූ අය මේස හැඳි 1 බැගින් උදේ සවස දින 2 ක් පාවිච්චි කළ යුතුය. කුඩා දරුවන්ට දිය යුත්තේ තේ හැඳි 1 බැගිනි. ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරන ආකාරයට ඔහු ප්‍රතිකාර සඳහා කාලි මෑණියන්ගේ දිෂ්ටි බලය උපයෝගි කරගනියි. ඔහුට මෙම ඖෂධය ලැබී තිබෙන්නේ පුරාණයේ පටන් රාවණා රජතුමාගේ සිට පැවතෙන හෙළ වෙදකමෙනි. ඔහු හෙළ වෙදකම වසර 25 ක් මුළුල්ලේ වැඩි දියුණු කළ බව ඔහු පවසයි.
එහෙත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනිය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවට දැනුම් දෙන්නේ විද්‍යාත්මක පර්යේෂණ මගින් ඖෂධීය පානය තහවුරු කරන තුරු මෙය පානය නොකරන ලෙසටයි. ධම්මික බණ්ඩාර වෙද මහතා නිපදවූ කොරෝනා මර්දන ඖෂධය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත් පර්යේෂණයක් කිරීමෙන් ම එම ඖෂධය සාර්ථක යැයි හැඟී නොයන බවත් ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් කර නිගමනයකට පැමිණිය යුතු බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ පසුගියදා (09) පැවැති මාධ්‍ය හමුවකදී ය. “බළලා මැටියෙන් වුණත් මොකද මීයන් අල්ලනවා නම්” යන කියමන අපට සිහිපත් වන්නේ මෙවැනි අවස්ථාවලදීය.
-සිළුමිණ-
Lanka Newsweek © 2024