Monday 7th of October 2024

English Tamil
Advertiesment


නිමාවක් නැති කොරෝනා රට වටින් අලුත්ම වාර්තා


2020-12-13 14330

ලෝකයම සිය අණසකට නතු කරගත් කොවිඩ් 19 ගෝලීය වසංගතය අතර ලොව පුරා වෙසෙන ජනතාවට සිය ජීවිතය පවත්වා ගෙන යෑමට සිදුව ඇත්තේ දුෂ්කරතා රාශියක් මැදය. කොවිඩ් 19 පළමු රැල්ල සාර්ථතකව මැඬපැවැත්වූ ශ්‍රී ලංකාව දැන් දෙවැනි රැල්ල පසුපස එන අභියෝගයන්ට ද මුහුණ දෙමින් සිටී. ඒ බව සනාථ කරමින් මාස පහකට පසු එනම් පසුගිය ජුලි 10 වැනිදායින් පසු ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගීන් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ළඟා වූයේ ඉකුත් සතියේ ආරම්භක දිනය වූ 7 වැනිදාය.

ඕස්ට්‍රේලියාව එරට කොවිඩ් තත්ත්වය පාලනයෙන් පසු මෙල්බර්න් ගුවන්තොටුපොළට විදෙස් මගීන් රැගත් යානා පැමිණීමට අවසර දුන් අතර එලෙස මගීන් රැගෙන එහි ළඟා වූ පළමු ගුවන්යානය එයයි. එවැනි තත්ත්වයක් තුළ ඉකුත් සතියේ ආරම්භක දිනය වූ 7 වැනිදා වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 25, 025ක් දක්වාත් මරණ සංඛ්‍යාව 142 දක්වාත් ඉහළ නැඟ තිබිණ. ඒ, එදින වාර්තා වූ මරණ දෙකක් සමඟය. කොළඹ 13 ජම්පටා විදීයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ නිෂ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මිය ගියේය.

රැකියා සඳහා ගොස් මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ 8 වැනිදා අලුයම මෙරටට පැමිණියහ. ගම්පොල මූලික ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයකුට කොවිඩ් වයිරසය ආසාදිත වීම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 65 දෙනකු පමණ නිරෝධායනයට යොමු කිරීමට සිදු වූයේ අදාළ වෛද්‍යවරයා තම කාල සීමාව අවසන් කර ස්ථාන මාරුවක් ලබා වෙනත් රෝහලකට යෑමට පෙර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් පසුගිය හතරවැනිදා පැවැත්වූ සාදයක් හේතුවෙනි.

ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසුවේ පසුගිය 8 වැනිදාය.

කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවීමත් සමඟ එලෙස මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ද අමිල නවරත්න පැවසීය .මෙම තීරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, මහනුවර නගරාධිපති කේසර සේනානායක සෞඛ්‍ය අංශ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් ගත් තිරණයක් බව ද හෙතෙම සදහන් කළේය.

ඥාතීන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර ඇති කොවිඩ් මළ සිරුරු ගණන 19ක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සේවය කළ වෛද්‍යවරියකට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දින කිහිපයක් වසා තැබීමටද සිදු විය. ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිත සේවකයන්ගේ ආශ්‍රිතයන් 14 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව ද මේ වන විට තහවුරු වී තිබිණ. ඔවුන් සියලුදෙනා නිරෝධායනය වෙමින් සිටි පිරිස් බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

එමෙන්ම කුඹුක ප්‍රදේශයේ පිහිටි ප්‍රභූ ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයේ සිටින පුද්ගලයන් 27 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තවත් සේවකයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදීය. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයකුට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව තහවුරු වීම නිසාවෙන් එම සේවකයා සම්බන්ධතා පැවැත් වූ වෙළෙඳසල් හතක් තාවකාලිකව වසා දමන්නට සිදු විය.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරියකු සහභාගි වූ ගම්පහ වතුරුගම අවමඟුල් උත්සවයකට පැමිණි භික්ෂූන් වහන්සේලා තුන්නමක් ඇතුළු පුද්ගලයන් 200 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කරන්නට පසුගියදා සිදු විය.

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 6ක් සඳහා සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පසුගිය 9 වැනිදා නිර්දේශ කරන ලද්දේ එම ග්‍රාම නිලධාරි වසම් 6ක් ආවරණය වන පරිදි පී.සී.ආර් පරීක්ෂණ 1500ක් සිදු කිරීමටද සැලසුම් කරමිනි.

ඉකුත් සතියේ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ 8 වැනිදා වන අතර එම සංඛ්‍යාව 798කි. එයින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් 526ක් වාර්තා වූයේ ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 දෙනකු වාර්තා වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. එදින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ පුද්ගලයන් 6, 594ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඒ දක්වා මෙරට පී.සී.ආර් පරීක්ෂණ 11, 182ක් සිදුකර තිබේ.

වේයන්ගල්ල ගම්මානය හු‍ෙදකලා කර සංචරණ සීමාවන් පනවන්නැයි කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් රංගන පෙරේරා පසුගියදා ඉල්ලීමක් කර තිබුණේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 27 දෙනකු වාර්තා වූ පසුබිමකය. බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් දිගින් දිගටම ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් එම ඉල්ලීම කර තිබේ.

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමත් සමඟ මෙරට තුළ සිදුව ඇති මරණවලින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 71 ඉක්මවූ පුද්ගලයන් බව කොවිඩ - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙරට තුළ කොවිඩ් - 19 දෙවන රැල්ල ආරම්භ වීමත් සමඟ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 129 ක් වන අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 142ක් වේ.

ඒ අනුව අවුරුදු 61 - 70 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් 25 දෙනකු කොවිඩ් 19 හේතුවෙන් මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 19.38කි. වයස 51 - 60 ත් අතර මරණ 21ක් කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමත් සමඟ සිදුව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 16. 28කි. අවුරුදු 41 - 50 ත් අතර පුද්ගලයන් 13 දෙනකු කොවිඩ් 19 හේතුවෙන් මියගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 10.07කි. මේ අතර වයස අවුරුදු 31- 40 ත් අතර පුද්ගලයන් සිවු දෙනකු කොවිඩ් 19 හේතුවෙන් මියගොස් ඇත. එය සියයට 3.10ක ප්‍රතිශතයකි. මීට අමතරව අවුරුදු 10 - 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් තිදෙනකු මියගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 2.32 කි.

තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ "තෝන්ෆීල්ඩ්" කොටස සම්පුර්ණයෙන්ම හුදෙකලා කොට සංචරණ සීමා පනවන ලද්දේ පසුගිය 9 වැනිදාය. ඊට හේතුව 8 වැනිදා හඳුනා ගත් කොවිඩ් ආසාදිත පුද්ගලයා තෝන්ෆීල්ඩ් වතු කොටසේ විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත් පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇති බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබීමය.

දැනට එම වතු කොටසේ පුද්ගලයන් 150 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටින අතර එම පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේ දී සිදුකිරීමට නියමිතය. වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ගම්මාන 06කට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු ලැබුවේ කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනකු වාර්තා වීමත් සමඟය.

භාවිත කරන ලද කොරෝනා ඇඳුම් කට්ටල රැසක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දමා ගොස් තිබිය දී ඉකුත් 10 වැනිදා හමුවී තිබිණ.

කොරෝනා රෝගීන් සහ ඔවුන්ට සෞඛ්‍ය සේවා සපයන කාර්ය මණ්ඩල විසින් පරිහරණය කරනු ලබන ඇඳුම් කට්ටල පාවිච්චියෙන් පසුව විනාශ නොකර, මින්නේරිය ජාතික වනෝද්‍යානයට බැහැර කිරීම වන සතුන්ද අනතුරේ හෙළීමක් බැවින් සෞඛ්‍යාරක්‍ෂිත නොවන ලෙස එම ඇඳුම් කට්ටල වනෝද්‍යානයට බැහැර නොකරන ලෙස මින්නේරිය ජාතික වනෝද්‍යානයේ භාරකරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

විදෙස්ගතව පැමිණි 69 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගනු ලැබුවේද 10 වැනිදාය. එමෙන්ම එදින මෙරට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට‍ පත් විය. ඒ, කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

එම මරණ 2ත් සමඟ මෙරටින් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 කි.

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වේයන්ගොඩ, නිදහස් මාවත ප්‍රදේශය 10 වැනිදා හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණි. ඒ, නිදහස් මාවත ප්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු වීමත් සමඟය.

කොරෝනා මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කරන ලදැයි කියන බෙහෙත් පැණිය ලබාගැනීම සඳහා පසුගිය 7 වැනිදා පාන්දර සිට විශාල ජනතාවක් කෑගල්ල අඹවල සිට ධම්මික වෙද මහතාගේ උඩුමාගම පිහිටි දේවාල භූමිය දක්වා එක්රැස් වී සිටි අතර ජනතාව හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 120කගේ සහාය ලබාගෙන තිබිණ. එම ඖෂධය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් අනුමැතිය ලබා දී නොමැති බැවින් එම අනුමැතිය ලැබෙන තෙක් එම ඖෂධය බෙදාහැරීම මේ වන විට නතර කර තිබේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය ඇමතිනිය විසින් විද්වත් කමිටුවක්ද පත්කරනු ලැබිණ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි කොවිඩ් 19 පරීක්ෂණ පිළිබඳ තොරතුරු කඩිනමින් රැස් කිරීමටත් සාම්පල වාර්තා ක්ෂණිකව සාම්පල ලබාදුන් පිරිසට සහ වගකිව යුතු සෞඛ්‍ය නිලධාරින් වෙත ලබා දී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක ‘සුපරීක්ෂා’නමින් නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් පසුගිය 10 වැනිදා හඳුන්වා දුන්නේය. එම මෘදුකාංගය තුළින් පරීක්ෂණ තොරතුරු කඩිනමින් රැස් කිරීමට සහ පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකිවනු ඇත.

කුරුණෑගල බාලිකා විදුහලක සිසුවියකගේ පවුලේ සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් බවට වාර්තා වීම හේතුවෙන් එම පාසල 11 වැනිදා සිට ලබන අඟහරුවාදා (15දා) දින තෙක් වසා දැමීමට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගත්තේය. එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ පියා කුරුණෑගල නගරයේ එළවළු ව්‍යාපාරිකයකු වන අතර මීට සතියකට පමණ ඉහත දී ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත. පසුව කරන ලද පී.සී.ආර් පරීක්ෂාවක දී එම පවුලේ සාමාජිකයන් 6 දෙනකුටම වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

තාවකාලිකව වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45න් පාසල් 42ක් ලබන සඳුදා(14දා) යළි විවෘත කෙරෙන අතර මහනුවර ත්‍රිත්ව විදුහල, කලෙයිමගල් විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාලය තවදුරටත් වසා තැබේ.

 

-සිළුමිණ- 

Advertiesment