Tuesday 26th of October 2021

English Tamil
Advertiesment


කාන්තාව අමතක කර කෘෂි සංස්කෘතියක් ගොඩ නැගිය නොහැක


2020-12-13 5679

කෘෂි ආර්ථික ඇය 

 
(විමුක්ති ද සිල්වා)

 

ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සුවිශේෂී වගකීමක් පැවරී තිබෙන්නෙ කාන්තාවන්ටය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී බිජ සිටුවීම, පැල සිටුවීම වල් නෙලීම, අස්වනු නෙලීම හා එය නිවසේදී පිළියෙළ කිරීම දක්වා වන ක්‍රියාවලිය තුළ කාන්තාවන්ගේ දායකත්වය ප්‍රමුඛ වේ. එහෙත් ආසියානු සමාජය තුළ පවතින සංස්කෘතිකම බලපෑම නිසාවෙන් කාන්තා ශ්‍රමය නොසලකා හරිනවා පමණක් නොව එයට නිසි ආර්ථීක වටිනාකමක් ද හිමිව නැත.

මෙම වසරේ මාර්තු මාසය නොඑසේ නම් ප්‍රධාන අස්වනු නෙලන සමයේ ඇතිවූ කොරෝනා වසංගතය සමඟ සම්පුර්ණයෙන්ම මෙරට ප්‍රවාහන පද්ධතියේ බිඳවැටීම් සිදුවිය. ඒ සමගම නෙලන අස්වනු වෙළෙදපොළ වෙත ප්‍රවේශ කරවීමේ සියලු අවස්ථාවන් බිඳ වැටුණි. ප්‍රවාහන පද්ධතියේ බිඳ වැටීම හේතුවෙන් මහා පරිමාණයෙන් වගා කරන එළවලු, පලතුරු අස්වනු නෙලීම නවතා දැමීමට ගොවීන්ට සිදුව තිබේ. මේ නිසා මෙම කටයුතුවලට සෘජුව සම්බන්ධ වූ ග්‍රාමීය කාන්තාවන්ට සිය ජීවනෝපාය මාර්ග අහිමිව තිබීම බරපතළ ඛේදවාචකයකි.

ගම ඇතුලේ එළවලු, පලතුරු එකතු කරන්නන් කාන්තාවන්ගෙන් මිලදී ගන්නා කුඩා ප්‍රමාණයේ අස්වැන්නට ඒ මොහොතේ මුදල් ලබා දෙන්නේ නැත. මුදලාලිලා ගොවීන්ගේ ලබා ගණන් අස්වැන්නට එවෙලේ මිලක් ලබා දුන්නත් ගෙවිලියන්ගේ නිෂ්පාදන සඳහා මුදල් ලබා දෙන්නේ අලෙවියෙන් පසුව වීම කෘෂිකර්මික ක්ෂේත්‍රයේ අත්දකින්නට ලැබෙන්නකි. මෙයට ප්‍රධානම හේතුව කාන්තාවන්ට ඔවුන්ගේ අස්වැන්නේ මිල තීරණය කිරීමේ හැකියාව නොමැති වීමයි.

එසේම ඔවුන්ට අතරමැදියෙකු හරහා වෙළදපොළ ප්‍රවේශයන් සකසා ගන්නට සිදුව තිබීම ද මෙයට හේතුවකි. මීට අමතරම ඇයගේ අස්වනු සෘජුව පාරිභෝගිකයාට ලබා දීමට හැකියාව තිබුනේ සති පොලේදී, නමුත් කොවිඞ් වාතාවරණය හමුවේ කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොකරම සති පොළවල් බොහොමයක් රට තුළ වස දමා ඇත. මේ නිසාවෙන් සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන්ට විශේෂයෙන්ම කාන්තා ආහාර නිෂ්පාදයකයන්ට වෙළදපොළ ප්‍රවේශයන් සම්පුර්ණයෙන්ම අවහිර වී අවසන්ය.

බරපතළම ගැටලුව ඇත්තේ විකුණා ගැනීමට නොහැකි අස්වනු කල්තබා ගැනීමට ඔවුන් හට කිසිදු හැකියාවක් නොමැතිවීමේය. මේ හේතුවෙන් රටේ ආහාර අවශ්‍යතාවය පසුරාලීමේ ගැටලු මතු වීම නොවැළැක්විය හැකිව තිබේ. මෙම අස්වනු මිලදී ගැනීම්ටත් බෙදාහැරීමටත් නිසි වැඩපිළිවෙළක් වහා වහා රජය දියත් කළ යුතුව ඇත්තේ එම නිසාය.

අනෙක් අතින් නව කන්නය සඳහා අවශ්‍ය බිජ, පොහොර හා අනෙකුත් කෘෂි අවශ්‍යතා සපුරා ගැනීමට ගොවි කාන්තාවට හැකියාවක් නැත. ලංකාවේ බීජ අවශ්‍යතාවයෙන් 95% රඳා පවතින්නේ ආනයනයන් මත වන අතර පොහොර අවශ්‍යතාවය සපිරෙන්නේද ආනයනිකවය. එහෙත් මේ වනවිට පවතින ආනයනික අපහසුතාවයන් හේතුවෙන් බීජ හා පොහොර ලබා ගැනීම දුෂ්කර වී තිබේ. කොවිඞ් වසංගතය සමඟ කෘෂි ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන මෙම අර්බුදයන් පෙන්වා දෙන්නේ බලයත් සියලුම රජයන් පාහේ කෘෂි ආර්ථීකය නගා සිටුවීම වෙන්වෙන් දැක්වා ඇති අඩු සැලකීමේ තරමය.

කොවිඞ් හමුවේ ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටීමේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ කාන්තාවන්ය. මෙරට අතිබහුතරයක් ගොවිපවුල්වලට තම පවුලේ ආහාර සුරක්ෂිතභාවය පවත්වා ගැනීම පහසු නැත. එම නිසා ඔවුන්ට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නට ඔවුන්ට සිදුව තිබේ. නමුත් තම නිෂ්පාදන අලෙවි නොවන වාතාවරණයක පවුලේ අවශ්‍යතා පසුරා ගැනීම ද වඩාත් දුෂ්කරව තිබේ. මේ හේතුවෙන් විශේෂයෙන්ම ගෘහනියට මුහුණ දෙන්නට සිදුව ඇති මානසික හා ශාරීරික හිංසනය සුළු පටු නැත.

කෘෂි ආර්ථිකයේ කඩා වැටීම විසින් ගැමි ගොවි කාන්තාවන් ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැනීම වෙත යොමුව තිබීම අද රටේ විශෘල අර්බුදයක් දක්වා දුරදිග ගොස් ඇත. ලංකාවේ කාන්තාවන් ලක්ෂ 24ක් මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත්ව සිටින අතර එය කොවිඞ් වසංගතයට පෙර සිටම ඔවුන් වෙළාගත් වසංගතයකි.

අධික පොළී මත දිනපතා, සතිපතා ණය වාරිකයන් ගෙවීම මේ ගොවි කාන්තාවට පහසු නැත. කොවිඞ් වාතාවරණය හමුවේ රජය ණය පියවීම සඳහා සහන කාලයක් ලබා දෙන පැවසුවද ඒ සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මුල්‍ය සමාගම් මෙම කාන්තාවන්ගෙන් ණය වාරික එකතු කිරීම දිගින් දිගටම සිදුකරමින් තිබේ. මෙය විශාල ඛේදවාචකයක්ව ඇත්තේ මේ ණය කෙරුවාව මේ වන විට මෙම කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ගැනීම දක්වා වර්ධනය වී ඇති පසුබිමකය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකාරීත්වයෙන් කාන්තාවන්ට හිමි වන්නේ 16%ක් පමණි. කෘෂිකර්මාන්තයේ යෙදෙන ස්ත්‍රීකම්කරුවන්ට පුරුෂයන්ට සාපේක්ෂව අඩු ගෙවීමක් ලැබෙන අතර එයට ප්‍රධාන හේතුව වශයෙන් එම සංවිධානය පෙන්වා දෙන්නෙස්ත්‍රීන් සතු නුපුහුණු ශ්‍රමයයි. අනෙක් අතින් ස්ත්‍රීන් මුල්කරගත් පුහුණු වැඩමුළු පවා සිදුවන්නේ ක්ෂුද්‍ර ව්‍යාපාර සම්බන්ධයෙන් වන අතර ඉහළ ආර්ථීක ප්‍රතිලාභ හිමි වන කර්මාන්තයන් සම්බන්ධයෙන් සිදුවන පුහුණුව අවම වේ. විශේෂයෙන්ම “පසුගිය අවුරුදු 40 තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය කෙරෙහි කෘෂිකර්මාන්තයේ දායකත්වය ඇත්තේ ක්‍රමයෙන් අඩු වෙමින්ය.

මෙම ගැටලුවේ එක් අංගයක් ලෙස කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය හඳුනාගෙන ඇතැ”යි Progressive Women’s Collective පෙන්වා දේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය තුළ තීරණ ගැනීමේ කතිකාව සඳහා පොදු හා සමාන වේදිකාවක් නොමැති බවයි. එහි වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි මෙරට ග්‍රාමීය සංවර්ධන සමිතින්හි ඉහළ තනතුරු 3න් 1ක් හෝ ස්ත්‍රීයක් දරන ප්‍රතිශතය 20%කි. විශේෂයෙන්ම පුරුෂයන්ට සාපේක්ෂව අඩු ආදායමකට සහ අඩු වත්කමකට හිමිකම් නොකීම හේතුවෙන් ඉහළ අගයන්වලින් ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ගොවි කාන්තාවට අහිමි වේ. එනිම මේකී ක්ෂේත්‍රය තුළ ස්ත්‍රිය සිටින්නේ කෘෂිකාර්මික අගය දාමයේ පහළිනි.

සෘජුව ගොවි කාන්තාවන් නොවුනත් ලංකාවේ කෘෂි ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන වතුකර කාන්තාවන් මේ වසංගත සමයේ පවා තේ දළු නෙලීම, කිරි කැපීම අඛණ්ඩව සිදුකරති. එහෙත් ඔවුන්ට වතු සමාගම මගින් කිසිදු සනීපාරක්ෂක පහසුකමක් හිමිවන්නේ නැත. ඔවුන්ගේ දෛනික වැටුප රු.1000ක් කිරීම වෙනුවෙන් විශාල අරගලයක් කරන්නට සිදුවූ අතර 2021 අය අයවැය යෝජනා මඟින් එම දෛනික වැටුප ලබා දීමටත් දියර කිරි ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් කිරි ගවමඩු සකස් කරගැනීම හා උපකරණ මිලදී ගැනීමට සියයට 7.5 ක වාර්ෂික පොලී යටතේ රුපියල් ලක්ෂ 5 ක් දක්වා විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කර කර තිබීම ද ප්‍රශංසනීයය.

රටේ කෘෂි ආර්ථීකය නඟා සිටුවීමට පාලකයන් අසමත් වීම වෙනුවෙන් වන්දි ගෙවන්නේ මේ රටේ ග්‍රාමීය කාන්තාවය. කිසිදු ආර්ථීක හව්හරණක් නොමැති තත්ත්වයක මැදපෙරදිග ගෘහසේවයට යන්නේද එම කාන්තාවය. අව්වෙන්, වැස්සෙන්, කුඹුරු ගොයම් පුරන් වීමෙන්, ණය ගෙවා ගන්නට නොහැකි කමෙන්, ශාරිරික හා මානසික හිංසනයෙන් බැටකන්නේද ඇයමය.

කොවිඞ් වසංගතය හමුවේද අප රටක් ලෙස ලබා ගත් අත්දැකීම්වලින් මෙරට කෘෂිආර්ථීක ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් කළ හැකි වැඩ ඕනෑ තරම් රජයට තිබේ. කළ යුතුව ඇත්තේ එයට අවංකව කැපවීම පමණි. ලංකාවේ නව සුවිශේෂීතාවයන් මත අපගේ ආහාර අනන්‍යතාවය ද ආරක්ෂා කරමින් ගොඩනැගුනු කෘෂිකාර්මික ප්‍රවේශයක්, පරිභෝගිකයන්ගේත්, ආහාර නිෂ්පාදකයන්ගේත් අයිතිවාසිකම් තහවුරු වන ස්වාභාවික සම්පත් ආරක්ෂා කරමින් මහපොළොව සුවපත් කරමින් රටේ ආහාර අවශ්‍යතාවය සම්පුර්ණ කළ හැකි කෘෂිකාර්මික සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍යව ඇත. එහිදි අප රජයට සිහිපත් කරන්නේ ‘ඇය’ අමතක කර එය කළ නොහැකි බවයි.

 

 

-සමබිම- 

Advertiesment