Monday 10th of May 2021

English Tamil
Advertiesment


මහා ජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම නීති විරෝධීයි -කරූ- 


2020-12-10 7907

සිය අභිමතය පරිදි අනීතිකව ක්‍රියා කිරීමට ජනපති ලේකම්ට හැකි නම් පාර්ලිමේන්තුවක් කුමකටද..?

 

ජනපති ලේකම්ගේ අනීතික ක්‍රියාව පාර්ලිමේන්තුවට කළ අපහාසයක්

 

සිය සීමාව සහ තරම ගැන කරූගෙන් ජනපති ලේකම්ට පාඩමක් 

 

උදේ-දවල්-රෑ දේශපාලනය කරන පුද්ගලයින් ස්වාධීන කොමිෂන්වලට පත් කළේ කෙසේද..?

 

පාර්ලිමේන්තු සභාවෙන් පත් කෙරෙන කොමිෂන්වලින් රටට යහපතක් සිදු වේද..?

 

ජනතාව නිහඬ නැහැ-නිසි මොහොතේ උත්තර දෙයි 

 

ඒ ගැන තේරුම් ගැනීම රජයේ ඇඟට ගුණයි 

 

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

සිය නියෝගයක් මගින් මහා ජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයා ගෙන තිබෙන ක්‍රියා මාර්ගය නීතියට සහ සදාචාරයට සම්පූර්ණයෙන්ම විරුද්ධ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

සිය අභිමතය පරිදි මෙවැනි වැදගත් පනත් අහෝසි කිරීමට ජනාධිපති ලේකම්වරයාට හැකි නම් රටට පාර්ලිමේන්තුවක් කුමකටදැයි ප්‍රශ්න කළ කරු ජයසූරිය මහතා, ජනාධිපති ලේකම්වරයාගේ මේ අනීතික ක්‍රියාව උත්තරීතර පාර්ලිමේන්තුවට කළ බරපතළ අපහාසයක් සහ අවමානයක් වන්නේ යැයි ද චෝදනා කර සිටියේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, කොළඹ "ජානකී" හෝටලේයේ දී බ්‍රහස්පතින්දා (10) පැවැති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ජාතික වැදගත්කමින් යුත් කරුණු කිහිපයක් ගැන රජයේත් ජනතාවගේත් අවධානය යොමුකිරීම අප විසින් ඉටු කළ යුතු මෙහෙවරක් වශයෙන් සලකනවා.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට දැඩි ලෙස හානි කරන සිද්ධීන් කිහිපයක් පසුගිය දින කිහිපයේ සිදුවී ඇති බවයි. ඒ තත්ත්වය කණගාටුවට කරුණක්.

පොදුවේ ගත් කළ ප්‍රජාතන්ත්‍රවාදි ආයතන ශක්තිමත් කිරීම උදෙසා බෙහෙවින් ඉවහල් වූ ව්‍යවස්ථා සභාවෙහි ක්‍රියාකාරීත්වය අහෝසි කරමින් පාර්ලිමේන්තු සභාව නමින් නව ව්‍යුහයක් හදුන්වා දීමට රජය කටයුතු කළා. ඒ මඟින් සිදු වූයේ රටේ වැදගත් සියලුම ආයතන හැසිරවීම සඳහා එක් තනි පුද්ගලයෙකු වෙත බලතළ ලබාදිමයි. එහෙත් මෙම තත්ත්වයට එරෙහිව රටේ විශාල ජනමතයක් ගොඩනැගී ඇති බව රජය අද තේරුම් ගත යුතුයි. මිලියන 21ක් පමණ වූ රටේ සමස්ත ජන ජීවිතය එක් තනි පුද්ගලයෙකුගේ බලාධිකාරිත්වයට යට කිරීම නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් බෙහෙවින් දුර්වල කර තිබෙනවා. සාධාරණත්වය ඉටුවේය යන අපේක්ෂාවන් අහිමි කර තිබෙනවා.

තත්ත්වය එසේ වුවත් රටේ විවිධ පාර්ශවවලින් මතුවූ විරෝධතාවයන් නොසලකා හරිමින් සහ යටපත් කරමින් 20 වන සංශෝධනය මඟින් අත්පත් කර ගත් බලතළ අනුව පත් කරන ලද නව පාර්ලිමේන්තු සභාව මේ වන විට කොමිෂන් සභා හතක් සඳහා නව සාමාජිකයන් පත් කිරීමට එකඟත්වය ලබාදි තිබෙනවා.
මේ මොහොතේ අප ගැඹුරින් අවධානය යොමු කළ යුත්තේ ඒ මගින් මේ රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් අරමුණු ඉටු වන්නේද නැද්ද යන්න පිළිබඳවයි.

පැරණි ක්‍රමය අනුව, එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායකයට තනි තීරණ ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. උසස් පත්වීම් සිදු කිරීමේදී විද්වත් පාර්ශවයන්ගේද ඇතුළුව බහුවිධ අදහස් විමසිමක් ඒ යටතේ සිදු වුණා. නුසුදුසු පත්විම් නැවැත්වීමේ හැකියාවක් එහිදී තිබුණා. මේ තමයි ශිලාචාර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අනුගමනය කරන ක්‍රමවේදය. ස්වාධින කොමිෂන් සභා හේතුවෙන් මුළු රාජ්‍ය තන්ත්‍රයම නිර්දේශපාලනීයකරණය වුණා. මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු වුණා.

එහෙත් පසුගියදා කොමිෂන් සභා සඳහා පත් කළ සමහර නව පත්වීම් පිළිබදව විමසා බලන විට එම ස්වාධීනත්වය කෙසේ වත් අපි දකින්නේ නැහැ. ස්වාධීන ආයතන සඳහා පුද්ගලයන් පත් කිරීමේ දී ඒ සඳහා නම් කරන පුද්ගලයන් කිසිම අයුරකින් ක්‍රියාකාරි දේශපාලන සම්බන්ධතාවයක් නොපවත් වන අය විය යුතුයි. නමුත් අද එම තත්ත්වය ඒ ආකාරයට සිදුවී තිබෙනවාද..?
 
ආපසු හැරී බලන විට එදා පැවැති ස්වාධීන ආයතන අන්තර් ජාතික පිළි ගැනීමට ලක් වුණා. මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, තොරතුරු දැන ගැනීමේ පනත සහ තොරතුරු කොමිෂන් සභාව ආදී ආයතන එහිදී විශාල ගෞරවයක් උපයා ගත්තා. COVID-19 වසංගතය ඇතුළු විවිධ බාධක මධ්‍යයේ වුවත් පසුගිය මහා මැතිවරණය ද, ඊට පෙර පැවැති ජනාධිපතිවරණය ද ඇතුළු මෑත යුගයේ පැවැත්වු සියලු මැතිවරණ නිදහස් සහ ස්වාධීන ආකාරයට පැවැතියේ ඒ නිසයි. ඒ වාතාවරණය අප සියල්ලන්ම පිළි ගන්නා සත්‍යයක්.

පසුගිය දා එවැනි ආයතන සඳහා පුද්ගලයන් පත් කිරීමේදී  ද පාර්ලිමේන්තු සභාව ඇතැම් වැදගත් සාමාජිකයන් සඳහා එකඟත්වය පළ කර තිබුණත් සමහර නම් සලකා බැලිමේදී උදේ, දවල්, රාත්‍රියේ දේශපාලනයේ යෙදුණ සහ යෙදෙන පුද්ගලයන් ගණනාවක් ඒ අතරවීම ගැන අප අතර දැඩි සංවේගයක් ඇති කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපගේ බලවත් විරෝධයත් ප්‍රකාශ කරනවා.

එම නම් මා විස්තරාත්මකව සඳහන් කිරීමට අදහස් කරන්නේ නැහැ. නමුත් මාධ්‍ය හරහා එම නම් මේ වන විට එළිවෙමින් පවතිනවා. ස්වාධීන අපක්‍ෂපාත මැතිවරණයක් නොපැවැත් වුවහොත් වගේම පොලිස් සේවය සහ රාජ්‍ය සේවය දේශපාලනීයකරණය වුව හොත් එවිට ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්න බැහැ. ජනතාව එවැනි තත්ත්වයක් කිසි විටක අනුමත කරන්නේ නැහැ.

මෙම පසුබිම මත අන්තර් ජාතික වශයෙන් රටක් ලෙස අප උපයා ගෙන තිබූ ගරුත්වයට බරපතළ හානි සිදු වේවි. අපේ රටේ ආර්ථිකයට ද එමඟින් බරපතළ  අහිත කර තත්ත්වයක් නිර්මාණය කරාවි. එසේ හෙයින් අපි රජයට ඉතාමත්ම සත්භාවයෙන් කියන්නේ යෝජිත සමහර නම් සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි. 

එසේ නොවුණ හොත් දැඩි සමාජ විරෝධයක් ඇති විය හැකියි. එසේ වුව හොත් පුදුම වෙන්න එපා. මේ ආකාරයට රජය තවත් හිතුවක්කාර ක්‍රියාවක් කර තිබෙනවා. එනම් ජනාධිපති ලේකම්ගේ නියෝගයකින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමයි. එම ක්‍රියාව නීති විරෝධියි. සාදාචාර විරෝධියි. මහජන උපයෝගීතා කොමිසම බිහි කර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද පනතක් මගිනුයි. එවැනි පනතක් අහෝසි කිරිමට නම් පළමුවෙන්ම ඒ සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ගත යුතුයි. ඊට පස්සේ පාර්ලිමේන්තුව මඟින් එම යෝජනාව සම්මත කර ගත යුතුයි. ජනාධිපති ලේකම්ට මෙවැනි වැදගත් පනතක් අහෝසි කළ හැකි නම් අපි පාර්ලිමේන්තු පවත්වන්නේ ඇයි..? මේ ක්‍රියාව උත්තරීතර පාර්ලිමේන්තුවට කළ අපහාසයක් සහ අවමානයක් වශයෙන් අපි දකිනවා.

2002 වසරේදී මහජන උපයෝගීතා කොමිසම නිර්මාණය කිරීමට පාදක වූ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ මොහොතේ විදුලි බල සහ බල ශක්ති අමාත්‍යවරයා ලෙස ඒ වෙනුවෙන් අපගේ ද පූර්ණ සහයෝගය ලබා දුන්නා. ලෝකයේ දියුණු රටවල පවතින යහපත් ආදර්ශයන්ද සැලකිල්ලට ගෙන මෙම ආයතනය බිහි කිරීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ප්‍රබල ආයතන ගණනාවක් එහිදී රජයට සහය වූවා. අන්තර් ජාතිකව සැලකීමේදී ඉතාමත්ම ආදර්ශමත් පනතක් ලෙස එම පනතට විශාල පිළිගැනිමක් ලැබුණා.

මේ කොමිසම පාරිභෝගිකයා දැඩි ලෙස ආරක්ෂා කරනවා. විදුලිය මිලදී ගැනීමේදී සේම විදුලි ගාස්තු අයකිරීමේදීත් මෙම ආයතනය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ජනාධිපති ලේකම්වරයාගේ අනීතික නියෝගය ක්‍රියාත්මක වුව හොත් ඇති විය හැකි තත්ත්වය කුමක්ද..? එම තත්ත්වය ඉතාමත්ම ශෝචනීය විය හැකිය.

ප්‍රසම්පාදන කොමිසම අහෝසි කර රුපියල් බිලියන ගණන් මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබා දුන් ආකාරය අනුව මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ඔවුන් දරන උත්සාහයට අදාළ චේතනාව ගැන බරපතළ සක මතු කරන බව කිව යුතුයි. 

මහජන උපයෝගීතා කොමිසමේ සියලුම සාමාජිකයින් ඔවුන් වෙත ලැබුණ ඉල්ලීමකට අනුව සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ බව බදාදා (09) දිනයේ වාර්තා වුණා. එවැනි ඉල්ලීම් කිරීම නොමනා වැඩක් ලෙස අපි හඳුන්වන්නට කැමතියි. මීට ඉහත එක් අවස්ථාවක මෙවැනි සිදු වීමක් වුණා. ඒ අවස්ථාවේදීත් එවකට පැවති ව්‍යවස්ථාදායක සභාව මේ ගැන ගරු අගමැතිතුමා දැණුවත් කරන ලද අතර එතුමා අපගේ මතය සමඟ එකඟ වුණා.

මෙවැනි සිද්ධීන් නිසා මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක් වන නිසා පක්ෂ භේදයෙන් තොරව සියලුම ගරු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකදීමට ඉදිරිපත් වන ලෙස අප ඉල්ලා සිටිනවා. මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ.ඒ නිසා මේ පිළිබදව වන රජයේ ස්ථාවරය පැහැදිළි කිරීම ජාතික යුතුකමක් වෙනවා. එමෙන්ම අද අප මතු කළ අනෙකුත් කරුණු ගැනද රජය සිය ස්ථාවරය පැහැදිළි කරනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ රටේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වෙනවා. 

මෙම සාකච්චාවේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉහත කී කරුණු ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන් බව කිව යුතුයි. ස්වාධීන ආයතනයක් වශයෙන් අපි රජයට දෝෂාරෝපණය කිරීමට හෝ රජය අපහසුතාවයට පත් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අප ඉදිරිපත් කළ  කරුණු කෙරෙහි ජනාධිපතිතුමා ඇතුළු රජයේ අවධානය යොමු කිරීම ඔවුන්ගේ ගෞරවය රැක ගැනීමට අවස්ථාවක් වනු ඇති බව කිව යුතුයි. 

ශ්‍රී ලංකාවේ පුරවැසියන් බුද්ධිමත්. ඔවුන් සිටින්නේ අවදියෙන්. අතිතයේදි මේ රටේ පැවැති බොහෝ ආණ්ඩු පාලකයන් සිතා සිටියේද තමන් කරන කියන ඕනෑම දෙයකට ජනතාව නිහඩව බලා සිටින බවයි. නමුත් ජනතාව නිවැරදි පණිවිඩය අවශ්‍යම මොහොතේ ලබා දෙන්නේ ඒ කිසිවෙක් නොසිතන ආකාරයටයි. වර්තමාන රජයද ඒ බව තේරුම් ගන්නේ නම් ඒ තත්ත්වය ඉතාමත්ම යහපත්ය.

 

Advertiesment