19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ව්‍යවස්ථා සභාව අහෝසි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් හඳුන්වා දී තිබෙන පාර්ලිමේන්තු සභාවේ පෙර මඟ සලකුණු කිසිසේත් සුභ නොවන බව දේශපාලන සහ සමාජ විචාරකයෝ අවධාරණය කර සිටිති.
එම දේශපාලන සහ සමාජ විචාරකයින් මේ බව අවධාරණය කර සිටියේ, "පාර්ලිමේන්තු සභාවේ පෙර මඟ ලකුණු" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් ගෙවුණු ඉරිදා (06) "Zoom" තාක්ෂණය ඔස්සේ සංවිධානය කෙරුණු "කතිකාව" ජාතික විද්වත් සංවාදයේ දී වන අතර ඊට හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය, මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, නිතිඥ ජාවේඩ් යුසුෆ් සහ නීතීඥ ජගත් ලියනාරච්චි යන මහත්වරු එක්ව සිටියහ.
පාර්ලිමේන්තු සභාව යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන යුගයේදී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හදුන්වා දෙන ලද ආයතන ව්‍යුහයකි. එම ආයතනය 18 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරන ලද්දේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත කර පැවැති ව්‍යවස්ථා සභාවට ආදේශකයක් ලෙසටය.
කෙසේ නමුත් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරමින් පසුගිය යහපාලන රජය මඟින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ඔස්සේ පැවැති පාර්ලිමේන්තු සභාව වෙනුවට නැවත ව්‍යවස්ථා සභාව හදුන්වා දෙනු ලැබීය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය ආරම්භයේදීම සිදු කරන ලද 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් පැවැති ව්‍යවස්ථා සභාව අහෝසි කරමින් ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව නැවත කරළියට නංවා ඇත.
ඒ අනුව මෑත යුගයේ සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරකදීම, එනම් 17, 18, 19 සහ 20 යන සංශෝධන මගින් ව්‍යවස්ථා සභාව සහ පාර්ලිමේන්තු සභාව තට්ටු මාරු ක්‍රමයට සේ වරින් වර බලාත්මක කර තිබේ. එමගින් අපේක්ෂිත කාර්ය භාරය කුමක් ද..? ඒ දෙකටම පොදු සමානකම් තිබේ ද..? මේ එක් එක් සභා මගින් ඒ ඒ යුගයන්හි බලය දැරූ දේශපාලන බලවේගයන්හි අරමුණු නිරූපණය වී තිබේ ද..? වර්තමානයේ සිදු වන්නේත් එම ක්‍රියාවලියම ද..? යන කරුණු කාරණා සම්බන්ධයෙන් මෙම "කතිකාව" ජාතික විද්වත් සංවාදයේ දී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණ.
එහිදී හිටපු කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතා ඔහුගේ කතානායක භූමිකාවට අදාළව ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබද පැහැදිලි කිරීමක් කළ අතර ව්‍යවස්ථා සභාවේ හිටපු සාමාජිකයෙකු සේම ශ්‍රී ලංකා මානව හිමිකමි කොමිසමේ හිටපු සාමාජිකයෙකු ද වන නිතිඥ ජාවේඩ් යුසුෆ් මහතා ඔහු සාමාජිකත්වය දැරූ කාල සීමාවේදි ව්‍යවස්ථා සභාවේ කටයුතු සිදු වු ආකාරය පිළිබවද එහිදි විවරණය කළේය.
රාජ්‍ය ආයතන පද්ධතියෙන් සහතික විය යුතු සංවරණ සහ තුලන මූලධර්ම අනුවද ජනතාවට අතිශයින්ම බලපෑමක් සිදු කරන සහ එමෙන්ම රාජ්‍යයේ යහ පැවැත්මට තීරණාත්මක වන්නා වූ ආයතන පටු දේශපාලන ආධිපත්‍යයෙන් තොර තිරසාර පැවැත්මක් සහතික කරනු උදෙසා පවත්වා ගත යුතු නිර්දේශපාලනීකරණය මඟින් ජනතා අයිතින් තහවුරු කරලීම උදෙසා ස්ථාපනය කරන ලද ස්වාධීන කොමිෂන් සභා සැලකීමේදී එක් එක් යුගයන්ට අදාළව ඒවායේ කටයුතු සිදු වී ඇති ආකාරයද එහිදි විමර්ශනයට ලක් විය.
එම සංවාදයේදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සහ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ යන මහත්වරු අදහස් දක්වමින් ස්වාධීන කොමිසන් සභා මගින් අපේක්ෂිත වූ අරමුණ සහ විශේෂයෙන්ම 20 වන සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද පාර්ලිමේන්තු සභාව මඟින් එකී අරමුණුවලට සිදු කරමින් පවතින බලවත් අගතිය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළහ.
Lanka Newsweek © 2024