Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


රනිල්ට එරෙහිව ජ්‍යෙෂ්ඨයින්ගෙන් රතු නිවේදනයක් 


2020-12-01 9503

විකල්ප එජාපයක් ගොඩනැගීමට ජ්‍යෙෂ්ඨයෝ සැර සෙති..!

 

රනිල් එක්ක බැහැලු-බීරි අලියාට වීණාව ගහනවා වගේලු 

 

පුළුල් සාකච්ඡාවක් ඇරඹිලා-බලවේග රැසක් ගොනු වෙලා

 

නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය සරසවි ඇඳුරෝ පහදති

 

රුවන් ගැන විශ්ව විද්‍යාල ප්‍රජාවේ මතය මෙන්න  

 

රනිල්-සාගල-වජිර-අකිල-රුවන් තනි වෙති 

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත් වී පක්ෂය නව නායකයෙකුට භාර දී පක්ෂයේ පූර්ණ සහ රැඩිකල් ප්‍රති සන්ධානයක් සිදු කර විජයග්‍රහණය කරා මෙහෙයවීමට තව දුරටත් ක්‍රියා නොකළ හොත් ඊට එරෙහිව රට පුරා විසිර සිටින පාක්ෂිකයින් ප්‍රධාන සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් නව ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහි  එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ අවධානය යොමු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර මෙම නව ජාතික දේශපාලන ව්‍යාපාරයට අදාළව අභ්‍යන්තර සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබෙන අතර ඔවුහූ මේ සම්බන්ධයෙන් සර්වාගමික නායකයින්, දේශපාලන න්‍යායචාරයවරුන්, සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන විචාරකයින්, විවිධ මතධාරීන්, විශ්ව විද්‍යාල ප්‍රජාව, වෘත්තීයවේදීන්, මහා ජනතාව, ඒ ඒ දේශපාලන පක්ෂ, සංවිධාන සහ බලවේග සමග ද පුළුල් ලෙස සාකච්ඡා කරමින් සිටිති.

එක්සත් ජාතික පක්ෂයේ මෙම ජ්‍යෙෂ්ඨ නායකයින් පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස් වී නව නායකයෙකුට පක්ෂය භාර දෙන බවට ප්‍රසිද්ධියේ දුන් පොරොන්දුව විවිධ කූට ක්‍රියාකාරකම්, උපාය උපක්‍රම, කුමන්ත්‍රණ, ගැටුම්, අර්බුද සහ කල් මැරීම් ඔස්සේ කඩ කරමින් මහා ජන මතයට පිටු පා තව දුරටත් නායකත්වයේ එල්ලී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා නොකළ යුතු බවය.  

ඔහු එසේ කළ හොත් ඊට එරෙහිව නව ජාතික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සිදු වනු ඇති අතර ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් දැනුම්වත් කර තිබෙන බව පෙන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ එම ප්‍රතිසංස්කරණ වාදී ජ්‍යෙෂ්ඨ නායකයෝ එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂය යළිත් වතාවක් දෙකඩ වී කැඩී, බිදී සුණු විසුනු වී යනු ඇතැයි අනතුරු ඇඟ වූහ.

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන මේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයට සහ එම දේශපාලන පක්ෂයේ අනාගත ඉරණමට අදාළව මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ, කළමනාකරණ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතාගෙන් "lankanewsweek" කළ විමසුමක දී ඔහු මෙසේ පැවැසීය.

"රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජතික පක්ෂ නායකත්වය අත නොහැර තව දුරටත් එහිම එල්ලී සිටිනවා නම් ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මේ මොහොතේ කළ යුත්තේ කිනම් හෝ සංවිධානයක් යටතේ එකට ඒකරාශී වී සියලු පාක්ෂිකයින් බලමුළු ගන්වමින් රට පුරා ඒකාබද්ධ සටන් ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු අතර ඊට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායම ද එකතු කර ගැනීමයි. 

රට-ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රබල දේශපාලන පක්ෂයි. ජනාධිපතිවරයා කවුරුන්ද යන කාරණය ඒ අයට අදාළ නැහැ. කුඩා කුඩා දේශපාලන පක්ෂවලින් රටට-ජනතාවට පළක් නැහැ. බරපතළ දේශපාලන පක්ෂ ඕනෑ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනා එකට ඒකරාශී වී එවැනි බරපතළ සහ නව්‍ය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගනවා නම් රටේ මහා ජනතාවගෙන් බහුතරය සේම වත්මන් ආණ්ඩුවේ "වියත් මඟ" නියෝජනය කරන විශාල පිරිසකුත් ඊට එක් වේවි. ඒ සඳහා රටේ අවකාශයක් තිබෙනවා. අලුත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට මේ කාලය ඉතා හොඳයි.

ඇත්තටම අනාගත නායකයෙකු නොමැති ප්‍රශ්නයක් රටේ තිබෙනවා. සජිත් ප්‍රේමදාස නායකයෙකු ලෙස පිළි ගැනීමට බහුතරයක් සූදානම් නැහැ. රනිල් වික්‍රමසිංහව කවුරුවත් පිළි ගන්නෙත් නැහැ. රුවන් විජයවර්ධන ගැනත් මිනිස්සුන්ට මහා ලොකු පැහැදීමක් නැහැ. ඒ අනුව අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඔස්සේ යම් කිසි බලවේගයක් ඉදිරියට එන්නේ නම් ඒ ඔස්සේ රට සහ ජනතාව ඉල්ලා සිටින අලුත්, සැබෑ සහ අභීත නායකයෙකු බිහි වේවි."  

 

Advertiesment