Tuesday 11th of May 2021

English Tamil
Advertiesment


කතා කිරීමේ නිදහස මර්දනය කරන්න ඉඩ දෙන්නේ නැහැ -කරූ-


2020-11-26 8829

"සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මර්දනය කර රටක් ගෙන යනු බැහැ" 

 

"භාෂණයේ-ලේඛනයේ නිදහස සුරකිනවා" 

 

විරුද්ධ මතධාරීන් මර්දනය කරන රටවල් 30 අතරට ශ්‍රී ලංකාවත්

 

CID යොදවලා මහා සඟ රුවනට බලපෑම් කරලා 

 

මිනිස් අයිතීන් වෙනුවෙන් සාධාරණ සමාජය නොනිමි අරගලයක..!

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

භාෂණයේ සහ ලේඛනයේ නිදහස පාගා සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මර්දනය කරමින් රටක් පාලනය කළ නොහැකි යැයි ද, ඊට කසිසේත් ඉඩ නොතබන අතර කවුරුන් හෝ එසේ කිරීමට උත්සහ දරනවා නම් ඒ කවුරු වුණත් ඔහුට එහි අනිටු ප්‍රතිවිපාක නිසැකවම භුක්ති විඳීමට සිදු වනු ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

විරුද්ධ මතධාරීන් දඩයම් කරන ලෝකයේ රටවල් 30ක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙවුණු සතියේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු හෙළිදරව් කර ඇති අතර එම ලේඛනයේ ශ්‍රී ලංකාවේ නම ද සඳහන් වන බව කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවැසුවේ කොළඹ පයිප්ප පාර පිහිටි "ජානකී" උත්සව ශාලාවේ දී බ්‍රහස්පතින්දා (26) පැවති සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  ප්‍රවෘත්ති සාකච්ජාවේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේද කීය.

කතා කිරීමේ සහ අදහස් පළ කිරීමේ අයිතියට එල්ල වන බාධා කිරීම් ගැන රට වටෙන්ම මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර ඒ පිළිබදව වන සංවාදයන් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සේම ඊට බාහිරවත් සිදු වනවා.

කතා කිරීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළි ගත් මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර ශ්‍රී ලංකා ජන රජ ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය මඟින් මෙම අයිතිය සෑම පුරවැසියකුටම ලබා දෙනවා.2013 වර්ෂයේ සිට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එම අයිතීන් ආරක්ෂා කර ගැනිමට විශාල කැපවීමක් කළා. ඒ වෙනුවෙන් සටන් කළා. එහෙයින් වර්තමානයේ අප දුටු අත්දැකීම් කෙලින්ම අති ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය සහ පොදුවේ ජනතාව හමුවේ පැහැදිළි කිරීම අපගේ යුතුකමක් වශයෙන් දකිනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විශාල ජන මතයක් ඇති වූ බව අප දන්නා සත්‍යයක් වන අතර මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ඇතුළු සියලු පාර්ශවයන් නියෝජනය කරමින් ඊට එරෙහිව මුළු රටෙන්ම විශාල විරෝධයක් එල්ල වුණා.  

2020 ඔක්තෝඹර් 12 වන දින ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උගත් මහතෙරුන් වහන්සේලා ද මේ ගැන බලවත් විරෝධය ප්‍රකාශ කළ අතර අනතුරුව කතෝලික රදගුරු සම්මේලනය ද, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද එම මතය අනුමත කරමින් සිය විරෝධත්වය ප්‍රකාශ කළා.

මෙහිදී අපට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ආකාරයට ඊට පසු දින උදේ අමරපුර රාමඤ්ඤ සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නිලතල උසුලන මහා නායක-අනු නායක ආදී මහතෙරුන් හමුවීමට ගොස් ඇති පොලිස් නිලධාරීන් පිරිසක් උන්වහන්සේලාගෙන් මේ ප්‍රකාශ ගැන කරුණු විමසා තිබෙනවා. එම සිද්ධිය හේතුවෙන් ජනතාව අතර උද්වේගකර තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ නිසා එම සිද්ධිය එම අවස්ථාවේ ප්‍රසිද්ධියට පත් නොකර සුදුසු අවස්ථාවකදී ඒ ගැන කතා කිරීම වඩා යහපත් බව අපගේ බුද්ධි මණ්ඩලයේ තීරණය කළා. එම සත්‍ය සිද්ධිය මුල් වරට රට-ජනතාව හමුවේ අප හෙළිදරව් කරන්නේ ඒ අනුවයි. 

ජන සමාජයේ දැඩි විරෝධයක් එල්ල වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය මතය පළ කිරීම ගැන රටේ ඉහළම පිළි ගැනීමක් ඇති සහ සියලු දෙනාගේ ගෞරවයට පාත්‍රවූ මහතෙරුන් වහන්සේලාගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට යාම සිදු නොවිය යුතු සිද්ධියක් බව අප තරයේ කියා සිටිනවා. ඒකාධිපති රටක හෝ අත්තනෝමතික රාජාණ්ඩුවක් පවතින සමාජයක මෙවැනි සිදුවීම් විය හැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුවීම ගැන අප ලැජ්ජාවිය යුතුයි.

මෙවැනි සිද්ධීන් නිසා රජයේ ගෞරවයට සහ කීර්ති නාමයට විශාල වශයෙන් හානි සිදු වනවා.එබැවින් වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වා මේ සිද්ධියට වග කිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස රජයෙන් අප විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

එමෙන්ම රටේ සිදු වන දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව කරුණු දැක්වූ සිංහලේ ජාතික බල මණ්ඩලයේ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ ප්‍රඥාලෝක හිමියන්ගෙන් ද රහස් පොලීසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන අතර මේ රටේ ජනමාධ්‍යකරුවන් 200කගේ තොරතුරු ඇතුළත් ලේඛණයක් රහස් පොලීසියට යොමු කර ඇති බව හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වූ ඉම්තියාස් බාකීර් මාකර් මැතිතුමා පාර්ලිමේන්තුවේදී කරුණු හෙළිදරව් කළා. 

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටින්නේ, තව සති කිහිපයකින් ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි නියාමනය කිරිම සඳහා නව නීති සම්පාදනය කරන බවයි. මෙහිදීත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හානි වන නීතිරීති ඇතුළත් නොවේවායි අප ප්‍රාර්ථනා කරනවා.
ජනමාධ්‍ය ශිලාචාර ලෙස රටේ පවතින නීති රීතිවලට ගරු කරමින් ක්‍රියා කළ යුතු බව අපගේ නිර්දේශයයි. එහිදි රජය, ජනමාධ්‍ය සහ සමාජය අතර පොදු සම්මුතියක් ඇති කර ගැනීම ඉතා වැදගත් බව කිව යුතුයි.

එමෙන්ම අප දන්නා ඉතිහාසයට අනුව පාර්ලිමේන්තුවේ වර්තමානයේ කටයුතු සිදු වන්නේ ජනමාධවේදීන්ගේ ආවේක්ෂණයෙන් තොරවයි. මේ වන විට පාර්ලිමේන්තු වාර්තාකරණය සඳහා ජනමාධ්‍යවේදීන්ට ඉඩක් ලබා දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට සේම විවිධ සේවා සපයන බාහිර පුද්ගලයන්ට පවා පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට ඉඩක් ලැබී ඇතත් ජනමාධ්‍යවේදීන්ට පමණක් ඔවුන් සතුව තිබූ විශේෂ වරප්‍රසාදයක් අහිමි කිරීම අතාර්තික සහ තේරුම් ගත නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි. 

ශ්‍රී ලංකාව යනු ජනමාධ්‍යවේදීන්ට එරෙහිව වූ අපරාධ රාශියක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් බව අප අමතක නොකළ යුතුය. ඒ පිළිබදව පුද්ගලිකව පවා අභ්‍යන්තරයේ ඇත්තේ බලවත් වේදනාවක් බව කිව යුතුයි. ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඕනෑම රජයක වගකීමක් වනවා. මීට පෙර පැවැති රජයෙන්ද අප ඒ වගකීම් සහ යුතුකම් අපේක්ෂා කළා.නමුත් ඒ කිසිවක් ඉටු වූයේ නැහැ. වර්තමානයේ අප ජීවත් වන්නේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ බරපතළ සහ බිහිසුණු අපරාධ රාශියකට වග කිව යුතු අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින රටකයි.

වර්තමාන ආණ්ඩුවට නව ජනාධිපතිවරයෙකු නායකත්වය දුන්නද එම ආණ්ඩුව නැවුම් ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි නොවේ. වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ රටේ විධායක ජනාධිපති ධූරය දෙවරක්ම හොබවා ඇති පළපුරුද්ද සහිත ජ්‍යෙෂ්ඨතම  දේශපාලඥයෙකු බව කිව යුතුයි. වර්තමාන ගරු ජනාධිපතිවරයාද පැවැති ආණ්ඩු දෙකේදීම රටේ ආරක්ෂාව භාරව සිටී ජ්‍යෙෂ්ඨතම නිලධාරියායි. එබැවින් ඔවුනට රාජ්‍ය පාලනය පිළිබදව මනා පරිචයක් සහ අත්දැකීම් ද තිබෙනවා. ඒ අනුව අද අප මේ ඉදිරිපත් කරන කරුණු කාරණා තේරුම් ගැනීමට තරම් ඔවුන් පරිණත සහ මනා අවබෝධයකින් යුක්ත අය වනු ඇතැයි අප විශ්වාස කරනවා.

සාමාන්‍යයෙන් බලයට පත් වන ඕනෑම ආණ්ඩුවක පළමු වසර සැලකෙන්නේ ජනතාවගේ බරපතළ විවේචනයන්ට ලක් නොවන ජනමාධ්‍ය සහ රජය අතර ගැටුම් ඇති නොවන සාමකාමී සේම සුන්දර කාල පරිච්ජේදයක් ලෙසටය. එහෙත් අප රටේ ගෙවුණු වසරට අදාළව සැලකීමේදී ඒ තත්ත්වය එසේ නොවන බව පැහැදිළි වී තිබෙනවා. ඒ පිළිබදව අපට ඇත්තේ කණගාටුවක්. එමෙන්ම අප අතීතයේදී අත්විදි අදුරු සෙවනැලි ඒ අතුරින් මතු වන බවක්ද අද අපට පෙනෙන්ට තිබෙනවා. අප වඩාත්ම කම්පාවට පත් වන්නේ ඒ ගැනයි.

මෑත කාලයට අදාළව අප රටේ ජනමාධ්‍යවේදීන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිදුවීම් ගණනාවක් මෙහිදී පෙන්වා දෙනු කැමැත්තෙමු. "සන්ඩේ ඔබ්සවර්" පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සේම "නිව්යෝර්ක් ටයිම්ස්" පුවත් පතේ කොළඹ වාර්තාකාරිණියද වූ දරීෂා බැස්ටියන්ගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝදිසියට ලක් වුණා. එමෙන්ම ඇය පරිහරණය කරන ලද "ලැප්ටොප්" පරිගණකය අත්අඩංගුවට ගැනීම වගේම ඇයගේ සමීපමතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් කිරීම ගැනද අපට අසන්නට ලැබුණා.

ඇය අන්තර් ජාතිකව පිළිගත් මාධ‍්‍යවේදිනියක වන අතර මේ සිද්ධිය ඇතුළු තවත් පදනම් විරහිත හේතූන් මත, දරීෂා බැස්ටියන් සේවය කළ 
"ලේක්හවුස්" ආයතනයේ එවකට සභාපතිවරයාව සිටී ක්‍රිෂාන්ත කුරේ මහතාට එරෙහිව ද මේ ආකාරයට ඔප්පු කළ නොහැකි විවිධ චෝදනා එල්ල කරමින් ඔහුව ද අපහාසයට ලක් කළා. ක්‍රිෂාන්ත කුරේ මහතා යායු මාධ්‍යවේදියෙකු, කළමණාකරුවෙකු සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වශයෙන් ලෝකයේ ගෞරවය උපයා ගත් චරිතයක් බව කිව යුතුයි.

මුලතිව් ප්‍රදේශයේ සිදුවූ දැව සංහාරයක් පිළිබදව වාර්තා කළ "වීරකේසරී" පුවත්පතේ වාර්තාකරුවෙකු වන කණපති පිල්ලේ කුමනන් සහ හිරු මාධ්‍ය ජාලයේ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යෙව්දීන්ට කිසියම් පිරිසක් පහර දී තුවාල සිදු කර තිබුණා. එමෙන්ම ඔවුන්ගේ කැමරා උපකරණවලට හානි කර තිබුණා. මේ පිළිබදව මේ රටේ ජනමාධ්‍ය සංවිධාන ගණනාවක්ම පොලිස්පතිවරයා වෙත කරුණු දැක්වූ බවද අපට අසන්නට ලැබුණා. එමෙන්ම මොණරාගල ප්‍රදේශයේ සිදුවූ වැලි ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉදුනිල් විජේනායක මහතා පහර කෑමකට ගොදුරු වුණා. කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ රාජකාරී කරමින් සිටි ඡායාරූප මාධ්‍යවේදියෙකු වන අකිල ජයවර්ධන මහතාගේ රාජකාරී කටයුතුවලට බාධා කරමින් පොලිස් පරීක්ෂකවරයෙකු සිදු කළ තර්ජන පිළිබදවද අපට අසන්නට ලැබුණා.

මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් රැසක් පිළිබදව පසුගිය කාලයේදී වාර්තා වුණා. මේ අතර අපගේ සුවිශේෂි අවධානයක් යොමු විය යුතු අනෙක් කරුණ වන්නේ සමාජ මාධ්‍ය ජාලය හරහා අදහස් පළ කරන මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට එල්ල වී ඇති තර්ජනයයි.  2020  අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා ගෙන සිටි රම්සි රාසික් මහතාට මුහුණ දෙන්නට සිදුවූ කණගාටුදායක ඉරණම ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනක් පමණයි. ඔහුට ඇප ලබා ගැනීමට හැකි වූයේ මාස ගණනාවකට පසුවයි.

ඔහුට ඇප ලබාදෙමින් කොළඹ මහාධිකරණයේ ගරු විනිසුරුතුමා සිදු කර ඇති සදහන මේ රටේ බලධාරීන් ගැඹුරින් අවබෝධ කර ගත යුතුව තිබෙන බව සිහිපත් කළ යුතුයි. එහිදී ගරු විනිසුරුතුමා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ජේදයේ 10 වන වගන්තිය අනුව කිසියම් පුද්ගලයෙකුට මතයක් දැරීමට අයිතියක් ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විවිධ අවස්ථාවලදී ලබාදුන් නඩු තීන්දු ගණනාවකට අනුව අදහස් පළ කිරීමේ අයිතිය ඇතුතුළත විරෝධතා දැක්වීමේ අයිතියද අන්තර්ගත බව එහිදී ගරු විනිසුරුතුමා මැනවින් පෙන්වා දී තිබෙනවා.

එහෙත් අප කම්පාවට පත් කරන කරුණ වන්නේ එසේ තිබියදී, නිදහසේ අදහස් පළ කරන මේ රටේ පුරවැසියන් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් සිදු වන බව අසන්නට ලැබීමයි. මෙහිදි අප වඩාත්ම කම්පා වන්නේ COVID-19 වසංගතයට අදාළව යම් යම් අදහස් සහ මත ප්‍රකාශ කළ සමාන්‍ය පුරවැසියන් පවා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කිරීම ගැනයි.

මේ වන විට මෙම අවාසනාවන්ත තත්ත්වය ජාත්‍යන්තර මට්ටමින්ද අවධානයට ලක් වෙමින් පවතිනවා. මේ තත්ත්වය ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමඟින් ප්‍රකාශ වී ඇත්තේ විරුද්ධ මතධාරීන් දඩයම් කරන රටවල් 30ක් ගැන ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙන බවයි. ශ්‍රී ලංකාව ගැනත් එහි සඳහන් වනවා.

COVID-19 වසංගත තත්වය මර්දනය කිරීම ගෝලීය වශයෙන් සේම ජාතික වහයෙන්ද වන වගකීමක් බව අපි පිළි ගන්නෙමු. එහිදී මහා ජනතාව බියට පත් කරන අසත්‍ය තොරතුරු සමාජගත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව ද පැහැදිළිය. එහිදී වඩාත්ම ප්‍රශස්තම ක්‍රමය වන්නේ නිසි සහ නිවැරදි තොරතුරු සමාජ ගත කිරිම සඳහා රජය මඟින් නිසි වැඩ පිළිවෙළක් සැකසීමයි. යම් වැරදි තොරතුරක් පළ වී ඇත්නම් වගකීමකින් යුක්තව ඒ වැරැද්ද නිවැරදි කිරීමයි.
එහිදි අපට මහා බ්‍රිතාන්‍යයෙන් බොහෝ ආදර්ශ ගත හැකියි.

2012 – 2014 කාලවලදී ජනමාධ්‍ය අයිතිවාසිකම් සහ  ජනමාධ්‍යවේදීන් රැක ගැනීම වෙනුවෙන් ගරු මාදුළුවාවේ සෝභිත හිමිපාණන් ප්‍රමුඛ අප සංගමයට පාරදිගේ විරෝධතා කිරිමට සිදු වුණා. නමුත් එදා මාධ්‍යයෙහි ස්වභාවයත් අද මාධ්‍යෙයහි ස්වභායත් අතර වෙනස්කම් දැකිය හැකියි. නව තාක්ෂණය වර්තමාන මාධ්‍ය කේෂත්‍රය බොහෝ ඉදිරියට රැගෙන ගොස් තිබෙනවා. සමාජ මාධ්‍ය විශාල ලෙස වර්ධනය වි තිබෙනවා. අද වන විට ජනතාව මුලා කිරීම හැමවිටම කරන්න හැකියාවක් නැහැ. වැඩි කල් නොගොස් සත්‍ය එළිවෙනවා.

එම නිසා රජය හැම විටම නිවැරදි මාර්ගය තෝරා ගත යුතුයි. ජනමාධ්‍ය මර්දනය කර සමාජ මාධ්‍ය අඩපණ කර හෝ අවහිර කර මේ රට පාලනය කිරීමට යම් අයෙක් බලාපොරොත්තු වන්නේ නම් එහි ප්‍රතිවිපාක නිසැකවම විදින්නට සිදු වෙනවා. නිවැරදිව ලෝකය සමඟ ගණුදෙනු කරන්නට අපට අවශ්‍ය නම්, මේ රටට ආයෝජන ගෙන්වා ගැනීමට ඕනෑ නම්, GSP සහනය ලබා ගන්නට ඕනෑ නම්, ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් සහිත රටක් ලෙස ලෝකය ඉදිරියේ යහපත් පිළි ගැනිමක් රඳවා තබා ගැනිමට අවශ්‍ය නම්, නිවැරදි රජය ඒ සඳහා සුදුසු මාර්ගය තෝරා ගත යුතුයි.

රටේ අනාගත යහපත සහ සෞභාග්‍ය රඳා පවතින්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා ගත් අසීමිත බලතල මත නොව අතිගරු ජනාධිපතිතුමා ගනු ලබන යහපත් තීරණ මතයි. මෙහිදී ගරු ජනාධිපතිතුමාගෙන් එක් ඉල්ලීමක් කරන්නට කැමැතියි.එනම් රටට අදාළව ජාතික වශයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ ගැනීමේදී, එම තීරණ ඔබතුමා උපදෙස් ලබා ගන්නා මහා සංඝ සමුළුවේ ආශිර්වාදය මත පමණක්ම ලබා ගන්නා ලෙසයි.
එම ක්‍රියා පිළිවෙත ඔබතුමන්ගේ සේම එම උත්තරීතර සංඝ නායක හිමිපාණන් වහන්සේලාගේ ද ගෞරවය රැකදීම සඳහාත් ඉවහල් වනු නියතයි. 

Advertiesment