රට-ජාතිය මෙහෙය විය යුතු ඉලක්කයකින් සහ අතිශය ජන රංජන භාවයකින් යුතු දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 26 වැනි ගුණානුස්මරණය 2020 ඔක්තෝබර් මස 24 වැනිදාට යෙදී තිබූ අතර මේ ඒ නිමිත්තෙනි.
"1977 සිට 1988 දක්වා වූ කාලයේ දී ගාමිණී දිසානායකයන් මව්බිමට උපාය දුන් සහ සාක්ෂාත් කර දුන් ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතික විප්ලවයන් අතර, යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිමා කිරීම, ඒ ආශ්‍රිතව විශාල වේලි පහකින් යුතු විශාල ජලාශ පහක් ඉදි කර එමගින් රට සහලින් ස්වයං පෝෂිත කිරීම, එම ජලාශ ඔස්සේ රටේ ජල විදුලි බල ධාරිතාව දෙගුණ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් "Test" ක්‍රිකට් වරම ලබා ගෙන මව් බිමට කවදා හෝ ක්‍රිකට් ලෝක ශූරතාව ලබා ගැනීම සඳහා මග විවර කිරීම, ඉඩම් නොමැති දුප්පත් පවුල්වලට ඉඩම් ඔප්පු ලක්ෂයක් පමණ ලබා දී ඔවුන්ව සවි බල ගැන්වීම සහ විශේෂයෙන්ම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික දේශපාලන ප්‍රධාන ධාරාවේ දී බලය බෙදා හැරීම පිළි ගන්නා "ඉන්දු-ලංකා" ගිවිසුම වෙනුවෙන් පෙනී සිටිමින් ජාතික ප්රශ්නය විසඳීම ඉදිරියේ අතිශය ප්‍රගතිශීලීව ක්‍රියා කරමින් විශාල දේශපාලන අවදානමක් ගැනීම ඇතුළු සාධනීය කරුණු කාරණා රැසක් දැක් විය හැකිය.
මේ සියල්ල සිදුවී බොහෝ කාලයකි. එනම් නිවැරදිව කිව හොත් වසර 26 ක් ගතව ඇති නමුත් මහනුවර, දංගොල්ල පිහිටි අපගේ නිවසේ සිට ඔහු පිළිබඳව ආවර්ජනය කරන මට ඒ සියල්ල දැනෙනුයේ සහ හැඟෙනුයේ අද-ඊයේ සිදු වූ සිද්ධීන් ලෙසය.
ඒ 1994 ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපයයි. හරියටම ඒ ඔක්තෝබර් මස 24 වැනිදා විය. මෙදින මම මගේ පියාගේ කඩවසම් මුහුණ දෙස බලා සිටියෙමි. ගාමිණී දිසානායක බවට පත්ව සිටින ඒ මිනිසා ගැන මට මහත් ආඩම්බරයක් දැනෙමින් තිබුණි. ඒ වන විට ඔහු අප්රතිහද ධෛර්යයෙන් යුතුව, අභීතව නැගී සිට රට-ජනතාව වෙනුවෙන් සටන් කරමින් සිටී අතර 1970 වසරේ දී නුවරඑළිය ආසනයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිය දේශපාලන දිවිය ආරම්භ කර වසර 24 ක් මුළුල්ලේ ගෙවුණු ඔහුගේ දේශපාලන ගමන් මාර්ගයේ දී ඔහු උගත් සහ අභ්‍යාස කළ සියල්ල ඒ සටන වෙනුවෙන් කැප කරමින් සිටියේය.
ඔහු පෞද්ගලිකව කෙතරම් දුරටකට පැමිණ සිටියා..? ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් සහ ආර්ථික වශයෙන් ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඔහු සිය දැක්ම කෙතරම් පුළුල් කර ගෙන තිබුණා ද..? ඒ 1994 දී අප දුටු සිහිනයකි. සැබවින්ම එම සිහිනය අප තවමත් දකිමින් සිටින්නේ ද..?
දේශපාලඥයෙකු සාර්ථකතත්වය මනින්නේ කිනම් මිනුම් දණ්ඩකින් ද..? අපට ඒ සඳහා බොහෝ මිනුම් දඬු තිබේ. සාමාන්‍යයෙන් යමෙකු බලය ලබා ගන්නා සහ ඔහු ඒ බලය භාවිතා කරන ආකාරය එම මිනුම් දණ්ඩ විය හැකිය. සමාජය සහ ඔබ අවට සිටින ජනතාව නඟා සිටුවීම සඳහා බලය භාවිතා කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරනු ඇත. අනාගතය දකින්නකුට සාර්ථක දේශපාලඥයෙකු යනු "ජාතියක් ගොඩනගන්නෙකු" විය යුතු අතර ඔහු සිය මව්බිම රැගෙන යාමට අවශ්‍ය ගමනාන්නය පිළිබඳ නිවැරදි දැක්මක් සතු අයෙකු විය යුතුය.
මාගේ පියා නුවරඑළියෙහි ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඔහුගේ ජනතාවගේ නිපුණතාවන්ට ගරු කළේය. ඔහු අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සවවලට සහභාගී වී එම උත්සවවල පැය ගණන් ගත කරමින් මිනිසුන් සමඟ කතා බහ කර ඔවුන්ව දැන හඳුනා ගැනීමට ක්‍රියා කළේය. හැත්තෑව දශකයේ මුල් භාගයේදී ඔහු ඒ සඳහා දක්ෂතාවයක් දැක්වූ අතර බැරූරුම් ලෙස නොසිතුව ද දේශපාලන ක්‍රියාවලියම ඔහුගේ අධ්‍යාපනඥයා විය.
ඔහු පුළුල් ලෙස පොත් පත් කියවූ අතර එම පුරුද්ද ඔහු පිළිබඳව සදාකාලික හැඟීමක් ඇති කළේය. ජෝන් එෆ්. කෙනඩිගේ "ධෛර්යය පිළිබඳ පැතිකඩ" (Profiles in Courage) යනු එවැනි එක් ග්රන්ථයකි. ඩේල් කානගීගේ මිතුරන් දිනා ගන්නේ කෙසේද සහ මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද..? (How to win friends and Influence people) යන්න තවෙකකි.
ඔහු සිතුවේ ජීවිතය විසින් පිරිනමන අවස්ථාවන් පිළි ගැනීමට හැකි තත්ත්වයක ඔහු සිටින අතර ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන බැවින් ඔහුගේ චින්තනයට සීමා නොතිබිය යුතු බවය. තරුණ වියේදී පවා ඔහුට අවශ්‍ය වූයේ තමාව දියුණු කර ගැනීමට, සිය නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට සහ ඉතා උසස් ගණයේ දේශපාලනඥයෙකු වීමටය.
ඔහුගේ මෙම ක්‍රියාකාරී ගමන 1970 දී නිල වශයෙන් සනිටුහන් වූ නමුත් ඒ ගමන සමහර විට 1950 සහ 60 දශකවල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ආරම්භ වූවා විය හැකිය. නායකයෙකුගේ ආධ්‍යාත්මය කුඩා කල සිටම ඔහුගේ ජානයන්හි ම කොටසක් වන අතර ප්‍රබල දේ ඉටු කිරම සඳහා ඔහු ඉපදී ඇති බව ඔහුගේ අභ්‍යන්තරය විසින් ඔහුටම හඬ නගමින් සිටිනවා විය හැකිය. ඔහුව හඳුනන සෑම කෙනෙකුම පවසන්නේ ඔහු සුවිශේෂී පුද්ගලයෙකු වන අතර ඔහුගේ අභ්‍යන්තරයේ ඔහුටම ආවේණික සහ අනන්‍ය වූ සුවිශේෂි ගුණාංග පැවැති බවය.
නායකයෙකුට මග පෙන්වීම සඳහා තවත් නායකයින් සිටිය යුතු අතර ගාමිනී දිසානායකයන් ඒ අතින් වාසනාවන්තයකු විය. ඔහුට ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන යන සුවිශේෂී නායකයන් දෙපොළගේ ආභාෂය සහ පෝෂණය නොමඳව ලැබුණි.
වයස අවුරුදු 35 වන විට ඔහු රටේ බලවත්ම මිනිසුන් අතර කෙනෙකු බවට පත් වේ. 1977 දී ඔහු වාරි මාර්ග, විදුලි බල සහ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තරුණ, කඩවසම් සහ ක්‍රියාශීලී තරුණ නායකයෙකු බිහි කර ඇති බව ජාතිය විසින් අවබෝධ කර ගනු ලැබ ගෙන තිබුණි.
දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා සිය නායකත්වයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වගකීම ඉදිරියට ගෙන යා හැකි තරුණ නායකයින් හතර දෙනෙකු පමණ හඳුනා ගෙන ඔවුන්හට මග පෙන්වීම ලබා දුනි. ජේ.ආර් විශාල වෘක්ෂයක් වූ නමුත් ඔහු යටතේ ශක්තිමත් ගස් වැඩීමට ඔහු ඉඩ දුන්නේය. ඔහු ඒ ශක්ත්මත් ගස් කපා දැමුයේ නැත. ඒ වෙනුවට ඔහු කළේ අනාගතයේ දී රටට-ජනතාවට සෙවන සලසන ඒ ගස්වලට අවශ්‍ය ජලය සහ පොහොර සපයා එම ගස් මහා වෘක්ෂ බවට පත් වෙමින් පෝෂණය වීමට සැලැස්වීය. ඔහු කෙතරම් විශිෂ්ඨ මනුෂ්‍යයෙක් ද..? දුරදර්ශී සහ අද්විතීය නායකයෙක්ද..? ඔහුට මිනිසුන් ආදරය කළද වෛර කළද, ඔහු මේ රටේ කිසිදු නායකයෙකු කවදාවත් සිදු නොකළ ප්‍රතිසංස්කරණ සහ පෙරැළි රැසක් මේ මහා පොළවේ සිදු කළේය.
විවෘත්ත ආර්ථිකය, විධායක ජනාධිපති ක්‍රමය, මහා පොළ, මහා වැලිය, ගම් උදාවා නිවාස යෝජනා ක්‍රමය, ජල විදු ලිබල උත්පාදනය, ඊට අදාළව ගංගා වේලි පහක් ඉදි කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රූපවාහිනිය යනාදීය එකම කාලයක දී ක්‍රියාවට නැගිනි.මේ සියල්ල අපේ ඇස් ඉදිරිපිටම සිදු වූ අතර දස වසරකින් රට විශාල පරිවර්තනයකට ලක්වී ශ්‍රී ලංකාව අලුත්ම රටක් බවට පත්විය.
මේ කාලයේ දී මගේ සිය මව්බිම ඉදිරියට ගෙන යාමේ අභිලාෂය සහිතව බැරූරුම් ලෙස කල්පනා කරමින් ශක්තිමත් සහ කල්පනාකාරී ක්‍රියා අතිශය වැදගත් තීන්දු තීරණ සේම ක්‍රියා මාර්ග ගත් ක්‍රියාශීලී, දක්ෂ, ප්රගතිශීලී දේශපාලනඥයෙකු විය. යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් නිමා කිරීම, ඒ ආශ්‍රිතව විශාල වේලි පහකින් යුතු විශාල ජලාශ පහක් ඉදි කර එමගින් රට සහලින් ස්වයං පෝෂිත කිරීම, එම ජලාශ ඔස්සේ රටේ ජල විදුලි බල ධාරිතාව දෙගුණ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් "Test" ක්‍රිකට් වරම ලබා ගෙන මව් බිමට කවදා හෝ ක්‍රිකට් ලෝක ශූරතාව ලබා ගැනීම සඳහා මග විවර කිරීම, ඉඩම් නොමැති දුප්පත් පවුල්වලට ඉඩම් ඔප්පු ලක්ෂයක් පමණ ලබා දී ඔවුන්ව සවි බල ගැන්වීම සහ විශේෂයෙන්ම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික දේශපාලන ප්‍රධාන ධාරාවේ දී බලය බෙදා හැරීම පිළි ගන්නා "ඉන්දු-ලංකා" ගිවිසුම වෙනුවෙන් පෙනී සිටිමින් ජාතික ප්රශ්නය විසඳීම ඉදිරියේ අතිශය ප්‍රගතිශීලීව ක්‍රියා කරමින් විශාල දේශපාලන අවදානමක් ගැනීම ආදිය ඊට සාක්ෂි සපයනු ඇත.
ඔහු අති දක්ෂ කථිකයෙකි. ඔහු සිය විශිෂ්ට ඉංග්‍රීසි සහ සිංහල භාෂා හැසිරවීම ඔස්සේ අසන්නන් වශී කිරීමට සමත් විය. ඇත්තටම ඔහු ඉන්ද්‍ර ජාලිකයෙකි..! ඔහු ස්පර්ශ කරන යමක් වේද ඒ දේ රත්‍රං බවට පත්වේ..! මෙම මානවකයා 21 වන සිය වස දක්වා සිය මාතෘ භූමිය ඉදිරියට රැගෙන යාමට හැකි ශක්තිය, ජවය, දැනුම හැකියාව සහ කැමැත්ත ඇති මිනිසෙකු බවට පත්ව සිටියේය. ඔහු අපේ තරුණ පරම්පරාව එළඹෙන තොරතුරු තාක්ෂණයේ ඊළඟ රැල්ලට සූදානම් කිරීමට අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක භාවිතය ගැන කතා කරන ලද්දේ එම තාක්ෂණය ප්‍රවණතාවක් බවට පත්වීමටත් පෙර සිටය.
ඔහු සිය කාලයට වඩා ඉදිරියෙන් සිටි නායකයෙකු වූ අතර නායකත්වය දක්වා යන ගමන් මගේ අවසාන පියවර සඳහා සූදානම් වෙමින් සිටියේය. සමහරු ඔහුට ඊර්ෂ්‍යා කළහ. මහනුවර සිට පැමිණි මෙම මානවකයා මේ තරම් දුරක් යන්නේ කෙසේදැයි යන්න සහ ඔහු මේ තරම් "ආශීර්වාද ලත්" තැනැත්තෙක් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට සිතා ගත නොහැකි විය.
ඒ අනුව ඔවුහූ ගාමිණී දිසානායකයන්ට එරෙහිව අතිශය අශිෂ්ඨ කතා පැතිර වූහ. ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු සහ ආසියාවේ තුන් වැනි ධනවත්ම මිනිසා යන ප්‍රවාද ඒ අතර සමහරකි. ඒ ශ්‍රී ලංකා දේශපාලනයේ ස්වභාවයයි. අනාගතයේ දී තමාට තවත් බොහෝ දේ ලැබීමට නියමිත බව මැනවින් අවබෝධ කර ගත් ඔහු සන්සුන්ව එහෙත් අධිෂ්ඨානශීලීව ඉදිරියටම ගමන් කළේය.
1990 සිට ඔහු පසෙකට කරනු ලැබූ අතර දේශපාලනිකව පළි ගැනීමට ගොදුරු විය. ඔහු සිය අමාත්‍ය ධූරයෙන් පහ කරනු ලැබූ අතර රණසිංහ ප්‍රේමදාස රෙජීමය මගින් ඔහුට එරෙහිව ව්‍යාජ නඩුවක් ආරම්භ කෙරිණ. ඔහු පක්ෂය සහ පාක්ෂිකයා වෙනුවෙන් කළ කැප කිරීම් සියල්ල අමතක විය. ශ්‍රී ලංකා දේශපාලනයේ මජරවීම කරළියට පැමිණියේය.
රහස් පොලීසිය යොදා ගෙන ගාමිණී දිසානායකයන් සම්බන්ධයෙන් පැය 24 පුරාවටම විශේෂ සෝදිසි කිරීම් සිදු කළ අතර ඒ ඒ කුමන්ත්‍රණ සඳහා ඒ ඒ රාජ්‍ය ආයතන ද යොදා ගෙන ඔහුට එරෙහි නොනවතින දඩයමක් ආරම්භ කරනු ලැබීය. එහෙත් ඔහු ඒ කිසිවකට බිය වී හිස පහත් කොට කිසිවෙකුට යටත් නොවීය. "Yes Sir" කියන යටහත් මානසිකත්වය ඔහුගේ චරිතයේ කිසිසේත්ම නොවීය. ඔහු සහ ලලිත් ඇතුළත්මුදලි මේ ක්‍රියාදාමයට එරෙහිව පෙරළා සටන් කළහ. මේ සියලු පීඩන හමුවේ ඔවුහූ කිසිසේත් බිය නොවූහ. උද්ගත වී තිබූ පසුබිම හමුවේ ඔවුහූ නොබියව සහ නොපැකිළව නව දේශපාලන ව්‍යාපාරයක් වන ප්‍රජාතාන්ත්‍රික එක්සත් ජාතික පෙරමුණ ආරම්භ කළහ.
පුතෙකු ලෙස ඒ අවස්ථාවේදී මම ඔහුගෙන් දුටුවේ අධිෂ්ඨානශීලී, සටන්කාමී සහ තමා සමඟ මහා පාරට බැස සටන් කිරීමට සිය අනුගාමිකයන් පෙළඹවූ මිනිසෙකුගේ නායකත්වයේ උච්ඡතම අවස්ථාවයි. සමහරු එසේ කළහ. තවත් සමහරු බිය වූ නමුත් ඔහු සිටින තාක් කල් ඔහු අපට කිසි විටෙකත් පිටුපා නොයනු ඇතැයි විශ්වාස කළහ.
ඔහුගේ අති ජාත සටන් මිතුරා වූ ලලිත් ඇතුළත්මුදලි සහාසික ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකින් අමානුෂික ලෙස ඝාතනය කෙරුණාට පසුව ඔහු යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණ පක්ෂය සහ පාක්ෂිකයා වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කළ අතර එහි නියෝජ්‍ය නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා බවට ද පත් විය.
ඔහු මිනිසුන් සමඟ කතා කිරීමට සහ ඔවුන්ව පෙළඹවීමට අති දක්ෂයෙකි. ඔහු හරිත කොඩිය ඔසවා "මම මේ ධජය රැගෙන දිනුම් කණුව වෙත දිව යන්නෙමි. පැමිණීමට කැමති ඕනෑම කෙනෙකුට මා සමඟ පැමිණිය හැකිය" යනුවෙන් එදා සිංහ නාද කළේය. කෙසේ නමුත් ඔහු අපේ උපදෙස් නොතැකූ අතර සිය ගමන ආරම්භ කිරීමට පසුබට නොවීය.
එම අවාසනාවන්ත රාත්රියේදී, එල්ටීටීඊ මරා ගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සමකාලීන දේශපාලන පරම්පරාවේ වඩාත්ම දක්ෂ, දුරදර්ශී, විචක්ෂණ සහ ක්‍රියාශීලී දේශපාලනඥයාගේ ජීවිතය පැහැර ගන්නා ලදී. කොළඹ මහ රෝහලට ගිය මට දක්නට ලැබුණේ පපුවේ සහ හිසෙහි මූනිස්සම් සිදුරක් බැගින් වූ ඔහුගේ නිසල සිරුරයි.
ඔහු අපගේ සහ ඔහුගේ ආරක්ෂකයන්ගේ උපදෙස් පිළිපැද්දේ නම් ඔහු අදටත් ජීවත් වනු ඇත. පුතෙකු ලෙස පමණක් නොව ඔහු රටට-ජාතියට කළ මෙහෙවරින් අනුප්‍රාණය ලත් මානවකයකු ලෙසද මම ඔහුට සමු දුන්නෙමි. අප්පච්චි..! ඔබ යන ගමන සඳහා ඔබ ගොඩනගා ගත් වාහනය වේගයෙන් ක්ෂය වී ගියද, අපගේ මාතෘ භූමිය පිළිබඳ ඔබේ පුළුල් සහ සුවිශේෂී දැක්ම තවමත් එසේම පවතී.
Lanka Newsweek © 2024