Wednesday 12th of May 2021

English Tamil
Advertiesment


මලික් සමරවික්‍රම ආර්ථික ඝාතකයෙකි..!


2019-07-02 2769

සිංගප්පූරුවට රට පවා දීලා..?

දේශද්‍රෝහී ක්‍රියා හෙළිවෙයි

සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමේ වාර්ෂික පාඩුව කෝටි 150යි..!

ජනපති-කැබිනට්ටුව නොමඟ යවලා..!

ඇමැතියි-අමාත්‍යංශයයි මෙහෙයවන්නේ ඇමරිකානුවන් තිදෙනෙක්..!

මලික් සමරවික්‍රමගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කෙරේ..?

 සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ  ගිවිසුම  නිසා සිංගප්පූරුවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක බදු මුදලක්‌ ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රකාශයක සඳහන් වී තිබේ. එහි අර්ථය වන්නේ, සිංගප්පූරු භාණ්‌ඩ සඳහා ආනයනික බදු වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන මුදලින් අවම වශයෙන් රුපියල් කෝටි 150 ක බදු ආදායමක්‌ මෙම ගිවිසුම නිසා වාර්ෂිකව  රජයට අහිමි වන  බවයි.

ඒ වෙනුවට ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය සඳහා ලැබුණේ කවරක් ද  යන්න සලකා බලන විට මෙම නිලධාරීන් රට  කෙතරම් බරපතළ පාවා දීමකට ලක් කර තිබෙනවා ද යන්න මානව   පැහැදිළි ව වන අතර  සිංගප්පූරුව සාමාන්‍යයෙන් ආනයනික බදු ඒකපාර්ශවිකවම ඉතා අවම මට්‌ටමක පවත්වා ගන්නා රටකි.

නව ගිවිසුම මගින් සිංගප්පූරුව ශ්‍රී  ලංකාවට බදු සහන ලබා දී තිබෙන්නේ ඒ අය ලෝකයේ සියලුම රටවල් සඳහා මීට පෙර සිටම ආනයනික බද්දෙන් නිදහස්‌ කර තිබූ භාණ්‌ඩවලටමය . එසේම මෙම ගිවිසුමට අන්තර් ගත කර තිබෙන, යම් භාණ්‌ඩයක අගයට සිංගප්පූරුවේදී  එකතු කළ අගය මැන බැලීම (Rule of Origin) සඳහා වන කොන්දේසිය ඉතාම දුර්වල මට්ටමක පවතියි. ඒ අනුව සිදු වන්නේ ලෝකයේ අනෙකුත්   රටවල නිපදවන භාණ්‌ඩද සිංගප්පූරුව හරහා ශ්‍රී ලංකාවට බදු රහිතව ඇතුළු වීමයි.මේ තත්ත්වය  දේශීය කර්මාන්තකරුවාට එල්ල වන මරු පහරක්‌ වනු ඇත.

මේ අතර  “එට්කා” ගිවිසුම ළඟදීම  අත්සන් කිරීමට රජය  සූදානමින්  සිටින අතර  එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන්  වාසි ලැබෙන බව  ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහාචර්ය රොහාන් සමරජීව ආදී ආර්ථික විශේෂඥයන් මීට තරයේ කියා සිටි නමුත් මේ වන විට ඒ අය ඒ පිළිබඳව කතා කිරීම නතර කර ඇත.

ඊට හේතු වී තිබෙන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය “එට්කා නෑයෙක්ද- ආක්‍රමණිකයෙක්ද” යන  කෘතිය ප්‍රකාශයට පත් කරමින් එම ක්‍රියාවලියේ  සත්‍ය කරුණු රටට ජනතාවට සාක්කි සහ සාධක සහිතව හෙළිදරව් කිරීමය. කෙසේ නමුත් ඒ පිළිබඳව  සංවාදයක් නොමැති වුවද  දුෂිත පුද්ගලයන් යොදා ගෙන එම කටයුත්ත රටට,ජනතාවට, සමාජයට හොර රහසේ සිදු කර ගෙන ගොස් මේ වන විට  අවසානය කරා  ළඟා වී ඇත.

රජය ආර්ථික සහ වෙළඳ  ගිවිසුම්වලට එළැඹෙන්නට උත්සාහ කරන්නේ ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව යන අපට වැඩිම වෙළද හිඟියන් ඇති රටවල් සමඟයි. මෙවැනි අවාසිදායක ගිවිසුම් නිසා වෙළද හිඟය වැඩි වී ඉදිරියේදී විශාල ආර්ථික ගැටලුවලට මුහුණ දීමට සිදු වනු ඇත.

මේ ක්‍රියාකාරකම් නිසා රටින් වැඩිපුර පිට වන මුදල් යළි කෙසේ හෝ රටට ගෙන්වා ගැනීම්ට අනිවාර්යෙන්ම  සිදු වේ. ඒ සඳහා රටක් ලෙස තව දුරටත් අපට සිදු වන්නේ  මැද පෙරදිග රටවල මෙහෙකාර සේවය සඳහා අපේ  මවුවරුන් යැවීමට, ජාතික සම්පත් විකුණා දැමීමට සහ  විදේශීය ණය ලබා ගැනීම් වැඩි කිරීමටය.

ඒ අනුව මේ තත්ත්වය හැඳින්විය හැක්කේ  මේ රට විනාශ කිරීමේ පැහැදිළි කුමන්ත්‍රණයක් ලෙසට වන අතර මෙහිදී එම විදේශීය බලවේග සිය ඉත්තා ලෙස යොදා ගෙන තිබෙන්නේ ආර්ථික උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය  මලික් සමරවික්‍රම මහතාය.

එසේම ආර්ථික උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරය වැනි භාරදූර තනතුරක වගකීම් දැරීමට  මලික් සමරවික්‍රම මහතාට අවශ්‍ය සහ ප්‍රමාණවත් අධ්‍යාපන   සුදුසුකම් නොමැති අතර  ඔහු මහ ජන නියෝජිතයෙකුද නොවේ. ඔහුට දේශපාලනය කිරීමට ඇති එකම සුදුසුකම බවට පත්ව ඇත්තේ  පාසල් කාලයේ සිටම ඔහු අග්‍රාමාත්‍ය   රනිල් වික්‍රමසිංහ මහතාගේ  සහකරු වීම පමණකි.

මේ පාලකයින් සහ නායකයින් යටතේ  රටේ අනාගත පරපුරේ ඉරණම විසදෙන්නේ මේ කියන පෞද්ගලික කරුණු කාරණා සහ සබඳතා නම් ඊට කිසිසේත් ඉඩ නොදිම පුරවැසියන් ලෙස අප සියලු දෙනාගේ වගකීම සහ යුතුකම වේ.එසේම සිංගප්පූරු-ශ්‍රී ලංකා වෙළඳ  ගිවිසුම සම්බන්ධයෙන් සහ නව වෙළඳ ප්‍රතිපත්තියට අදාළව කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙදී ආර්ථික උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය  මලික් සමරවික්‍රම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා නොමඟ යවා ඇත.

සංවර්ධන උපාය මාර්ගික  සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යංශයේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සියලු තොරතුරු සාක්කි සහ සාධක සහිත විශේෂ ලිපියක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  කරුණු දැක්වූ තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ  මලික් සමරවික්‍රම මහතා එම අමාත්‍ය ධුරයෙනුත්  චාන්දනී විජේරත්න මහත්මිය එම අමාත්‍යංශයේ ලේකම් තනතුරෙනුත් පහ කර වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කණ්ඩාම විසුරුවා අමාත්‍යාංශයත් එම සාකච්ඡා කණ්ඩාමත් ප්‍රතිසංවිධානය කළ යුතු බව ද  පෙන්වා දී තිබේ.

ඇමරිකානු උපදේශකයන් තිදෙනකුගේ  උපදෙස්වලට අනුකූලව සංවර්ධන උපාය මාර්ග සහ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යංශය සිය කටයුතු මෙහෙය වමින් ජාත්‍යන්තර අවශ්‍යතාවන්ට  අනුකූලව කටයුතු සිදු කරයි.සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට සියල්ල සුදානම් කර  තිබියදී,ශ්‍රී ලංකාවේ සාකච්ඡා කණ්ඩාමේ කිහිපදෙනෙකු, සිංගප්පූරු සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානීන්ගෙන් පුහුණුවක් ලැබීමට පිටත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.ඒ සඳහා  තවත් ඕනෑ තරම් රාජ්‍යයන් ලෝකයේ  තිබියදී,අදාළ ගිවිසුම සඳහා  සාකච්ඡා පවත් වන රටේම  සාකච්ඡා කණ්ඩායමේ අයවලුන්ගෙන් පුහුණුව ලැබීම මලික් සමරවික්‍රම මහතා  අනුමත කිරීම පැහැදිලි අක්‍රමිකතාවකි.

නවසීලන්ත ජාතිකයෙකු ලවා අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඔහු  උත්සාහ දැරීම ද  බරපතළ තත්ත්වයකි.මේ ක්‍රියාදාමය මහ බැංකු අධිපතිකම සිංගප්පුරු වැසියෙකුට පැවරීමට වඩා දෙවැනි නොවේ. නවසීලන්ත පුරවැසිභාවය හිමි ආචාර්ය රවී රත්නායක "Bridging the Gap" නමැති රාජ්‍ය නොවන සංවිධානයේ  සාමාජිකයෙකි. එම ආයතනය හරහා මේ පුද්ගලයා ASEAN සංගමයේ සාමාජික රටවලට            ශ්‍රී  ලංකාවට භාණ්ඩ අපනයනය සඳහා පෞද්ගලික උපදේශකයෙකු ලෙසද කටයුතු කරයි. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර  වෙළඳ අමාත්‍යංශය මගින්  ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලබාදෙන භාණ්ඩ ලයිස්තුව සකස් කිරීමේ වගකීම මොහුට ලබාදීම නරියාට කුකුල්ලු භාරදීමක් වැනි ක්‍රියාවක් නොවේද? විදේශ රටවල අවශ්‍යතා වෙනුවෙන්  සේවය කරමින් වැටුප් ලබන අතරම ඒ රටවලව අවශ්‍යතා  පරිදි ශ්‍රී ලංකාවේ  වැඩ කිරීම වෙනුවෙන් ද   මේ දූෂිතයෝ අපේ ජනතාවගේ  බදු මුදලින්ද  වැටුපක් ලබති.

ජාත්‍යන්තර වෙළඳ සහ ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් නිවැරදි  ක්‍රමවේදය උල්ලංඝණය කරමින්  සාකච්ඡා සිදු කරනවා පමණක් නොව මෙම කිසිදු ගිවිසුමක් සම්බන්ධව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කොට නොමැති අතර, එම ගිව්සුම් මගින් රටට සිදු වන අවාසිය ගණන් බලන්නේද ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුවය බව මේ වන විට හෙළිවී තිබේ.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයටත් මලික් සමරවික්‍රම මහතාටත්  පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක් ද    එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර වන ආයතන සහ ක්‍රමවේදයන් ද  නොමැති අතර  ඒ සඳහා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා  අවංක උත්සහයක් නොදරන බව ද  මෙහිදී මතුව පෙනෙයි.

ආර්ථික වශයෙන් රටට ජනතාවට  පාඩු සිදු වන ගිවිසුම් කරා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයත් මලික් සමරවික්‍රම මහතාත් එළඹෙන අතර සිංගප්පුරු ගිවිසුමේ අලාභය රජය පමණක් නොව  විද්වතුන් බොහෝදෙනෙකු  පවා මේ වන විටත්  පිළි ගෙන තිබේ.සිය හදිසි අභාවය සිදු වන තෙක්ම "එට්කා" ගිවිසුමේ සහ චීන-ශ්‍රී  ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රධානියා  වශයෙන් කටයුතු කර ඇත්තේ ආචාර්ය සමන්  කැලේගමයි.

ඔහු එසේ කටයුතු කර ඇත්තේ බහු ජාතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරය. එම බහු ජාතික සමාගම මගින් ප්‍රධාන  වශයෙන් සිදු කරන්නේ ඉන්දියාවේ සහ චීනයේ නිපදවන භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කිරීමය. එවැනි සමාගමක සභාපතිවරයෙක් ආනයනික බදු සහන ලබා දෙන භාණ්ඩ ලැයිස්තුව තීරණය කෙරෙන ගිවිසුමක්   සම්බන්ධයෙන් සාකච්ඡා කරන  කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් කිරීම ඉතා පැහැදිළිවම ළබැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීමකි.

ආචාර්ය සමන් කැලේගමගේ අභාවයෙන් පසුව එම තනතුර සඳහා පත් කළ කේජේවීරසිංහ සම්බන්ධ කාරණය වඩාත් ජුගුප්සාජනකය. කේ. ජේ වීරසිංහමෙම ආර්ථික ගිවිසුම් සඳහා වන  සාකච්ඡා කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයේ (Apparel Association Forum - JAAF) උපදේශකයෙකු වශයෙන් "වැටුපක්" ලබයි.

ඇඟලුම් නිෂ්පාදනය හෝ ඇඟලුම් වෙළඳාම සම්බන්ධයෙන් හෝ ප්‍රවීණයකු  නොවූ කේ ජේ වීරසිංහ ඊනියා උපදේශකයෙකු ලෙස ඉහළ වැටුපක් එම ආයතනයෙන් ලබා ගත්තේ කෙසේද යන්න අනෙකුත් දේශීය නිෂ්පාදකයන්ගේ ඉරණම සමඟ බැදී පවතින්නකි.

කේ ජේ  වීරසිංහ මහතා කොතෙක් උත්සාහ දැරුවත් මෙම ඇඟලුම් කෝටාව ඉවත් කිරීමට ඉන්දියාව තවම එකඟ වී නොමැති වීම මඟින් සිය කේවල් කිරීමේ බලය උපරිම මට්ටමකට  පවත්වා ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. කේ ජේ වීරසිංහට සිය අරමුණ  ඉටු කර ගැනීමට නම් ඉන්දියවට අවශ්‍ය  ඉන්දියානු භාණ්ඩ වැඩි ප්‍රමාණයක්  සඳහා ශ්‍රී ලංකාවේදී බදු සහන ලබාදීමට සිදු වේ.  ඒ මඟින් සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැක ගත යුතු යයි පවසන දේශීය නිෂ්පාදකයා විනාශ වීමයි. කේ. ජේ. වීරසිංහ  ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳයෙන් ලැබුවේ වැටුපක්ද අල්ලසක්ද යන්න තීරණය කිරීම එතරම් අපහසු නොවේ.ආචාර්ය රවි රත්නායකගේ පත්වීම සම්බන්ධයෙන්ද පෙර සඳහන් කළ පරිදි ළබැදීයාවන් පිළිබඳ ගැටුම් ඇති කරයි.

මේ අනුව සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය  මගින් රටේ සංවර්ධනය කෙරෙහි  මෙහෙවරක් සිදු වී තිබේ ද? මේ කරුණු කාරණා මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි  මලික් සමරවික්‍රම මහතා ආර්ථික උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරයෙන් පහ  කළ යුතු අතර මේ සියලු දුර්ධාන්ත ක්‍රියාවන් සඳහා මැදිහත් වී ඇති එම  අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එම තනතුරෙන් පහ කළ යුතුය. එසේම දූෂිත “එට්කා” සාකච්ඡා කණ්ඩායමද විසුරුවා හැරිය යුතු අතර එසේ නොවුණොත් මේ පාවාදීම් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද  බරපතල අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.

කපිල පෙරේරා සහ ලසන්ත වික්‍රමසිංහ

සභාපති සහ ලේකම්

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය   

     

Advertiesment