රටේ උද්ගතව ඇති COVID-19 තත්ත්වය හේතුවෙන් 2020 වර්ෂයේ අවසන් මාස 5 ඇතුළත දී රජයේ සමස්ත ආදායම 50% කින් පමණ අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රාජ්‍ය අංශය බොහෝ දුරට අකර්මණ්‍ය වී ඇති තත්ත්වය හමුවේ රජයේ ආදායම එකතු කිරීම අඩපණ වී ඇති අතර, එසේ තිබියදී පවා ජනතාවට ඉදිරියේදී තව තවත් බදු සහන සැලසීමට රජයට සිදුවීම නිසා මේ තත්ත්වය වඩාත් බැරූරැම් විය හැකි බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "lankanewsweek" සමග පැවැසීය.
එසේම රටේ සමස්ත ආර්ථික වර්ධන වේගය සියයට ඍණ 3 දක්වා පහළ බැසීමට ඉඩ ඇති අතර, මේ වන විට ආර්ථික වර්ධන වේගය ඍණ 2 දක්වා පහළ වැටී ඇති බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත අනුව 2020 ජනවාරි මාසයේ සිට ජූලි දක්වා වූ මාස හත ඇතුළත දී පමණක් රජයේ ආදායම 25.9% කින් අඩුව ඇති අතර එම තත්ත්වය 2019 වසරේ මුල් මාස හත සමඟ සැසඳීමේදී රුපියල් බිලියන 267.6ක අඩුවීමකි. ඒ කියන්නේ 2019 වසරේ මුල් හත් මාසයේ රුපියල් බිලියන1033ක් වූ රජයේ ආදායම 2020 මුල් මාස හත ඇතුළත දී රුපියල් බිලියන 765.4 දක්වා අඩු වී ඇති බවය.
මෙලෙස රජයේ ආදායම අඩුවීමට බදු ආදායම පහළ වැටීම ප්‍රධාන හේතුවක් වී ඇති අතර මුල් මාස හත ඇතුළත රජයේ බදු ආදායම රුපියල් බිලියන 944.4 සිට බිලියන 670.4 දක්වා බිලියන 274කින් අඩුවී තිබේ. මෙම බදු ආදායමේ කඩා වැටීම ප්‍රතිශතයක් ලෙස ගත් විට 29% ක් වන අතර ඊට හේතු වී තිබෙන්නේ COVID-19 වසංගතය හේතුවෙන් බලාපොරොත්තු වූ ආදායම් බදු අය කර ගත නොහැකිවීම සහ රජයට බදු සහන සැලසීමට සිදුවීම නිසා වක්‍ර බදු ආදායමද පහළ බැස තිබීමය.
Lanka Newsweek © 2025