Monday 7th of October 2024

English Tamil
Advertiesment


හිස තෙල් ගෑම අවුරුදු සිරිත ...


2019-07-02 14332

ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේදී හිසේ සිට පාදාන්තය දක්වා නිරෝගී කම ප‍්‍රාර්ථනා කරනවා. හිස ශරීරයේ උත්තමාංගයයි. හිස තුල මොළය පිහිටා තිබෙනවා. මොළයත් සමග ශරීරයේ සියලුම ස්නායු සම්බන්ධ වෙනවා. සිතුවිලි වලට ප‍්‍රධාන වන්නෙත් හිසයි. ඒ නිසා නිරන්තරයෙන් හිස රැක ගැනීම නිරෝගී භාවයට ප‍්‍රධාන වෙනවා.

සිංහල අළුත් අවුරුදු චාරිත‍්‍ර වල ආරම්භය නිශ්චිතව සදහන් කළ නොහැකියි. පැරණි බැබිලෝනියන්වරු ‘‘අවුරු’’ යනුවෙන් සූර්යයා හදුන්වා තිබෙනවා. සිංහලයන් එයට ‘‘ඉද්ද’’ යනුවෙන් එක්කර ‘‘අවුරුද්ද’’ යනුවෙන් භාවිතා කර තිබෙනවා. ඒ අනුව සූර්යයා සමග කටයුතු කිරීම, ඉර සමග පිබිදීම, ආදිය අවුරුද්ද ලෙස හැදින්විය හැකියි. අවුරුද්ද නැකැත් චාරිත‍්‍ර අනුව ප‍්‍රධාන කොටස් 12 කට බෙදා තිබෙනවා. රාශී (ලග්න) යනුවෙන් හදුන්වන්නේ එයයි. වසරකට මාස 12 ක් නිර්මාණය වීම මේ අනුව සිදු වී තිබෙනවා. පැරණි සුමේරියන්වරු අහස කොටස් 08 කට බෙදා හදුනාගෙන තිබුණා. මොහෙන්චර්දාරෝවරු එම කොටස් 08 ට අළුත් රාශි 04 කුත් එකතු කර අද තිබෙන සූර්යය මාස ක‍්‍රමය සකස් කලා. මේ අනුව බලන කල අළුත් අවුරුද්ද සිංහල, දෙමල, මුස්ලිම් යන සියළු දෙනාගේම ශ‍්‍රී ලාංකික ජාතික උත්සව මංගල්‍යයක් ලෙස සැමරිය හැකියි.

හින්දු අළුත් අවුරුදු උත්සවය ලංකාවට රැගෙන එන්නේ ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයින්. එය සිංහල අවුරුදු උත්සවය සමග එකට ඈදී වත්මන් අවුරුදු උත්සවය නිර්මාණය වී තිබෙනවා. එය ශක වර්ෂ ක‍්‍රමය ඉන්දියාවේ ප‍්‍රබලව පැවති ක‍්‍රිස්තු වර්ෂ 70 යුගයේදී පමණ සිදුව තිබෙනවා. ඒ අනුව අවුරුදු චාරිත‍්‍ර ලංකාවේ කෝට්ටේ යුගයෙන් පසු සීතාවක යුගයේ ආරම්භ වූ බවට විශ්වාස කලහැකි සාක්ෂි තිබෙනවා. ක‍්‍රි.ව 1521 - 1592 සීතාවක යුගයයි. නමුත් ඊට පෙර සිටත් අවුරුදු චාරිත‍්‍ර තිබී තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය ලෙස සලකන්නේ වසර 2560 ක පමණ ඉතිහාසයක්. ඒ බව අප තහවුරු කර ගෙන තිබෙන්නේ මහා වංශය ඇසුරු කර ගෙනයි. යටත් විජිත යුගයේදී ශ‍්‍රි ලංකාවේ සිටි සිවිල් නිලධාරියෙකු වූ එච් ඩබ්ලිව් කොඩ්රින්ටන් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ක‍්‍රි.ව 1912 දී ආරම්භ කොට 1926 දී පොතක් ලියා පලකළා. එම පොත සංශිප්ත ලංකා ඉතිහාසය (A Short History Of Ceylon) ලෙස නම්කර තිබුණා. ඔහු ඉතිහාසය පිළිබඳව ගැඹුරින් හැදෑරූවකු නොවෙයි. එංගලන්ත ජාතිකයෙකු වූ ඔහු ශ‍්‍රි ලංකාවේ සිටියේ වසර 14 ක කාලයක් පමණයි. ඔහු ලියන ලද පොතපත ඇසුරින් අපේ ඉතිහාසය සකස්කර ගත් බවක්ද පෙනෙන්නට තිබෙනවා. සත්‍ය ලෙසම ඔහු කර ඇත්තේ මහාවංශයේ කොටස් ඔවුන්ට ගැලපෙන සේ ලියා පලකර ගැනීමයි. මහා වංශයේ ඔවුන්ට ගැලපෙන කොටස් පමණක් ඔහු ඔහුගේ පොතට යොදාගෙන තිබුණා.

කොඩ්රින්ටන්, එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් අයෙක්. එකල කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ යටත් විජිත පිළිබඳව අධ්‍යයනය කරන විෂයක් තිබුණා. යටත් විජිත වල භාෂාව, ඉතිහාසය, සාහිත්‍යය, ආගම, කලා ශිල්ප, ආදිය පිළිබඳව අධ්‍යයනය කිරීමයි, එම විෂය යටතේ හදාරන්නට තිබුණේ. එංගලන්තයේ සිවිල් සේවයට ඇතුලත් කර ගත්තේ මේ විෂය හැදෑරූවන්. එංගලන්තයේ රාජකීය සංගමය ආරම්භ කරන්නේ 1821 දී. 1845 දී එහි ශ‍්‍රි ලාංකේය ශාකාව පිහිටුවනවා. රාජකීය ආසියාතික සංගමය මගින් කරන්නේ යටත් විජිතවල ඉතිහාසය අධ්‍යයනයකර එය ඔවුන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කිරීමයි.

මහාවංශය තුල ඉතිහාසය සදහන් වන්නේ බුදුන් වහන්සේ ලොව පහල වූ ක‍්‍රි.පූ 06 වැනි සියවසේ සිටයි. බුදුන් වහන්සේ පිරිණිවන් පෑ දින විජය 700 ක් සමග පැමිණ ශ‍්‍රී ලංකාව ජනාවාස කල බව එහි සදහන් වෙනවා. නමුත් මහාවංශයට එහාගිය ඉතිහාසයක් අපේ රටට තිබෙනවා. කොඩ්රින්ටන් පවා ඒ ඉතිහාසය වසාදමා තිබෙනවා. ශ‍්‍රී ලාංකීය ඉතිහාසඥයන් පවා මහා වංශයට එහාගිය ඉතිහාසය ගැඹුරින් සොයා බැලීමක් කර නැහැ.

ශ‍්‍රි ලංකාව පිළිබඳ ලිඛිත ඉතිහාසයේ පැරණි බව පිළිබඳව සැලකීමේදී මහා වංශයට එහාගිය ඉතිහාසයක් තිබෙන බව පුරාවිද්‍යා හා භාෂා සංකලනයන් පිළිබද සාක්ෂි අනුව තහවුරු වෙනවා. හොමෝ ඉරෙක්ටස් මානවයන් ලංකාවේ වාසය කල බවට සාක්ෂි තිබෙනවා. නූතන මානවයාගේ පැරණි මානව පොසිල ලංකාවෙන් හමුවෙලා තිබෙනවා. ඉරණමඩු පස් ස්ථර වලින් වසර ලක්ෂ 06 කට වඩා පැරණි ගල් මෙවලම්වල සාක්ෂි හමුවෙලා තිබෙනවා. මෙයින් ගම්‍ය වන්නේ එම ප‍්‍රදේශවල ජීවත් වූවන් උපකරණ, මෙවලම් භාවිත කර තිබෙන බවයි. ඒ බව පතිරාජවෙල ප‍්‍රදේශයෙන් හමුවූ සාක්ෂිවලත් තිබෙනවා. පතිරාජවෙලින් වසර 1,25,000 කට වඩා පැරණි පොසිල හමුවී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය වසර 1,25,000 කට වඩා පැරණි බව පුරාවිද්‍යාඥයින් වර්තමානයේ ප‍්‍රකාශ කරනවා.

අපේ ජන සමාජයේ නහුතය යනු පාරිභාෂිත වචනයක්. නහුත යනු ශ‍්‍රී ලංකාවේ රජ කල රජ කෙනෙක්. ඔහුට ගණිත සංඛ්‍යානය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබී තිබෙනවා. 1 යි බින්දු 27 ක වැඩි කිරීමක් පිළිබඳව ඔහු දැන සිට තිබෙනවා. සංඛ්‍යානයේ නහුතය යනුවෙන් අදහස් කරන්නේ 1 යි බින්දු 27 ටයි. නමුත් වත්මන් සංඛ්‍යානයේ 1 යි බින්දු 27 ක සංඛ්‍යාවකින් යුත් ගණනය කිරීමක් නැහැ. 2002 වර්ෂයේදී ඉන්දියානු සාගර දූෂණ කොමිසන් සභාව, ඉන්දියානු බටහිර වෙරළ පරීක්ෂා කර අඩි 4000 ක් යට මුහුදු පතුලේ නගරයක පාදම සොයාගෙන තිබෙනවා. මෙය කාබන් 14 පරීක්ෂණයෙන් අවුරුදු දස දහසකට (10000) වඩා පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බව තහවුරු වෙලා තිබෙනවා. මෙම පාදම, ඉන්දියානු පුරාවිද්‍යා ගවේෂකයින් විසින් රාවණා රජුගේ දණ්ඩක වනයේ අගනුවර ජනස්ථානය බව තහවුරු කරනවා. රාවණා මන්ත‍්‍රවල සූර්යයා, ඒ හා බැදුන වචන පවා ගැබ් වෙලා තිබෙනවා. ඒ අනුව රාවණා රජුගේ කාලයේත් සූර්යයා හා සම්බන්ධ විවිධ චාරිත‍්‍ර, වතාවත් තිබී තිබෙනවා.

රාවණා, සූර්යය වංශිකයෙක්. ඔහු පෘතුවියට එහාගිය විශ්වය හා සම්බන්ධකම් පැවැත්වූ අධ්‍යාත්මික බලයෙන් හෙබි ශේෂ්ඨ නරපතියෙක්. රාවණා සංහිතාව, අර්ක ප‍්‍රකාශය ඔහු ලියන ලද අදටත් ඉතිරිව තිබෙන ග‍්‍රන්ථ වේ. මේවා කියවා බැලීමේදී ඔහුට අහස කොටස් වලට බෙදීම සම්බන්ධයෙන් සහ සූර්යයා, තාරකා, ග‍්‍රහවස්තු වල චලනයන් ආදිය මෙන්ම සෞඛ්‍ය, වෛද්‍ය කරුණු පිළිබඳව ඉහල මට්ටමේ දැනුමක් තිබූ බව දක්නට තිබෙනවා. අදට වඩා විද්‍යාව එදා බොහෝ සෙයින් වෙනස්. වත්මන් ජනතාව මෙන් හෝ ඊට වඩා එදා ජනතාව සෞඛ්‍යමය පහසුකම් භුක්ති විදි බව පෙනෙන්නට තිබෙනවා. ලොව පැරණිම ශිෂ්ඨාචාරයක් වූ බැබිලෝනියා ශිෂ්ඨාචාරයට අයත් කැටයම් අතර අහසින් ගිය සිංහ මුහුණු සහිත මිනිසුන්ගේ කැටයම් හා චිත‍්‍ර දැක්වෙනවා. එම මුහුණු පෙලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය අසල පිහිටි පුලතිස සෘෂිවරයාගේ ශෛලමය ප‍්‍රතිමාවේ මුහුණට සමාන බවක් තිබෙනවා. ඒ අනුව සූර්යය මංගල්‍යය, විශ්වයේ සැකැස්මට අනුව සකස් කර තිබෙන බව  හදුන්වන්න පුළුවන්.

මෙය සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වුවත් හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය හින්දු භක්තිකයින් කරන්නේ නැහැ. හිස තෙල් ගෑම අළුත් අවුරුදු චාරිත‍්‍රයක් ලෙස සිදුකරන්නේ සිංහලයින් පමණයි. අළුත් අවුරුද්ද රැගෙන ඉන්දියානු ද්‍රවිඩ ජාතිකයින් ලංකාවට එන්නේ මදුරාශියේ සිටයි. මදුරාශියේ බලපෑම, හිස තෙල් ගෑම අවුරුදු චාරිත‍්‍රයක් ලෙස හින්දු භක්තිකයින් නොකිරීමට හේතු වූවා විය හැකියි. අවුරුදු චාරිත‍්‍රයක් ලෙස හින්දු භක්තිකයින් හිස තෙල්ගෑම නොකලත් හිසේ තෙල් ගැල්වීම සිදු කරනවා. කෙසේ වෙතත් හිසේ තෙල් ගැල්වීම නිතර නිතර කල යුතු බව ආයුර්වේදයේ චරක සංහිතා ග‍්‍රන්තයේත් අෂ්ඨාංග හෘර්දය ග‍්‍රන්තයේත් සදහන් වෙනවා. පරණ අවුරුද්දේ කල කී දෑ චාරිත‍්‍ර ලෙස නැවත ආරම්භ කිරීම සිංහල හා හින්දු අළුත් අවුරුද්දේදී සිදු කරනවා. එය පරණ දේ නැවත අළුත් කර ආරම්භ කිරීමක් ලෙස හැදින්විය හැකියි. අවුරුදු චාරිත‍්‍ර ලෙස සිදුකරන සියල්ල සමස්ථයක් ලෙස ගත්තොත් එහි තිබෙන්නේ වැඩිහිටියන්ට සැලකීම හා ආගමික වතාවත් බව පෙනී යනවා. ශරීර සුවතාවයත් අවුරුදු චාරිත‍්‍රවල ප‍්‍රධාන අංගයක්.

අළුත් අවුරුදු චාරිත‍්‍ර ආරම්භ වන්නේ නව සද බැලීමෙන්. චාරිත‍්‍ර, ස්නානයෙන් අවසන් වෙනවා. ස්නානයට ප‍්‍රථම නානු ගා හිස තෙල් ගෑම සිදු කරනවා. අශ්ඨාංග හෘදය සහ චරක සංහිතා නමින් වෙදකම පිළිබඳව ලියවුණ ග‍්‍රන්ථයන් දෙකක් තිබෙනවා. හිසේ නිතර නිතර තෙල් ගැල්වීමෙන් හිසේ ඇතිවන රෝග රැසක් වලක්වාගත හැකි බව ඒවායේ සදහන් වෙනවා. අකලට හිසකෙස් ඉදීම, කෙස් හැලීම, වලක්වා ගත හැකියි. ඒ වගේම ඇස් පෙනීම, බුද්ධි වර්ධනය, පැහැපත් සමක් ඇතිකර ගැනීමට හිසේ තෙල් ගැල්වීම වැදගත් වෙනවා.

හිස තෙල් ගෑමට ප‍්‍රථම නානු ගෑම සිදුකරනවා. අවුරුදු නැකැත් චාරිත‍්‍ර අනුව මෙවර නානු ලෙස දිවුල්පත් යුෂ මිශ‍්‍රණය යොදාගෙන තිබෙනවා. කලාදුරු අල, කුංකුමප්පු, සුදු හදුන්, විශ්ණු ක‍්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙලූම් දඩු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊ තණ යන ‍ඹෞෂධ වර්ග 14 තලා අළුත් මුට්ටියක පත අට එකට සිදුවා ගෙන එයට දිවුල් පත් ඉස්ම සහ දෙහි යුෂ කවලම් කර පෙරා ගන්නා දියරය නානු ලෙස හදුන්වනවා. මෙයින් හිස පිරිසිදු වීමක්ද සිදු කෙරෙනවා. නානු ඉතා ඹෞෂධීය ගුණයෙන් යුත් සංයෝගයක්. ඹෞෂධ වලින් ශරීරයේ පිත නියමාකාරයෙන් පවත්වාගෙන යෑම සිදු කරනවා. ලෝකයට හිරු වගේ ශරීරයට පිත අවශ්‍යයි. දෝෂයන් සමතාවයෙන් පවත්වාගෙන යෑමට නානු වැදගත් වෙනවා.

අපේ රට සමකය ආසන්නයේ පිහිටි රටක්. සමකයට ආසන්න රටවලට වසර මුළුල්ලේම ඉර මුදුන් වීම සිදුවන නිසා එම රටවල දිවා කාලය වැඩියි. ඒ නිසාම එවන් රටවල මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ නිවාස වලින් පිටතයි. දීර්ඝ වශයෙන් ශීත කාලය පවතින රටවල මිනිසුන් වැඩි වශයෙන් නිවාස තුලට වී ජීවත් වෙනවා. මේ නිසාම නිවාස වලින් පිටත වැඩි වශයෙන් ජීවත්වන ජනතාව පරිසරය සමග නිරන්තරයෙන් ගැටෙනවා. ඒ නිසා ඔවුන් මැවුම්වාදී, දේවවාදී සංකල්ප වලින් ඈත්ව වැඩි වශයෙන් ස්වභාව ධර්මය සමග ජීවත් වෙනවා. ඒ නිසාම ලංකාව, ඉන්දියාව වැනි රටවල මිනිසුන් වැඩි වශයෙන් පරිසරය කියවා ගැනීම සිදු කරනවා.

එබැවින් ස්වභාවධර්මයේ හැසිරීම ඔවුන් නියමාකාරයෙන් දැන සිටිනවා. මොවුන් හිරු, සඳු, තාරකා, ග‍්‍රහවස්තු පිළිබඳව මෙන්ම ගස් වැල්, ඒවායේ මල් ඵල හට ගැනීම, වර්ෂාව, අව්ව, වැස්ස ඇති වීම ආදි දේශගුණික, කාලගුණික විපර්යාසයන් සම්බන්ධයෙන්ද මනා අවබෝධයකින් යුක්තයි. ඒ අනුව ලංකාවේ ජීවත් වූ මිනිසුන්ගේ ප‍්‍රධාන ජීවනෝපායන් සැකසී තිබුණේ වාරි ශිෂ්ඨාචාරයට අනුව සැකසුන කෘෂි කර්මාන්තය පදනම් කර ගෙනයි. මඩ ගොවිතැන මෙන්ම හේන් ගොවිතැනත් විශිෂ්ඨ ලෙස අපේ රටේ පැවතුනා. අන්තර් ජාතික අධිකරණයේ උප සභාපතිවරයා ලෙස 1977 දී පත් වූ සී ජේ වීරමන්ත‍්‍රී පවා ශ‍්‍රි ලංකාව පරිසර සංවර්ධනය පිළිබඳව මනා කළමණාකරනයක් ඇති රටක් ලෙස තිබූ බව ප‍්‍රකාශකර තිබෙනවා. ආතර් සී ක්ලාක් ප‍්‍රකාශ කර තිබුණේද ශ‍්‍රි ලංකාවේ වාරි උරුමය මහානර්ඝතම වස්තුව බවයි. එකම වර්ෂයක දෙවරක් මෝසම් සුලං ලැබෙන ලෝකයේ එකම රට ලංකාවයි. එබැවින් එක් වර්ෂයක් තුල දෙවරක් අස්වැන්න ලබා ගන්න පුළුවන්. මේ නිසාම කෘෂි කර්මාන්තය හා බැදුන සුර්යය මංගල්‍යය ලංකාවේ ජන ජීවිතයත් සමග බද්ධ වී තිබෙනවා.

ශ‍්‍රි ලංකාවට ආවේණික දේශීය සහල් ප‍්‍රභේද 108 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පුරාණයේ භාවිතාකර ඇති බව දැනට සොයාගෙන තිබෙනවා. පැරණි ජනතාව එම සහල් වර්ග බෝවන හා බෝනොවන විවිධ රෝගාබාධ සදහා භාවිතාකර තිබෙනවා. ඔවුන් සිය ආහාර සකසාගෙන තිබුණේද සමබල ආහාරයක් ලෙසයි. ආහාර උෂ්ණ, ශීත මෙන්ම සැර ගුණ, අඩු වැඩි ආහාර ලෙසද ඔවුන් සකස් කරගෙන තිබුණා. සම්ප‍්‍රධායික ආහාර වලත් විවිධත්වයක් පැවතුණා. මෙම විවිධත්වය රස ගුණ පමණක් නොව රුචියද වැඩි කළා. ඒ නිසාම පුරාණයේ මිනිසුන් නිරෝගීමත්ව සිටියා පමණක් නොව ආහාර පාලනය තුලින් වෛද්‍යවරයෙකු වෙත නොගොස්ම රෝග සුව කර ගත්තා. මේ ආහාර රටාව අනුගමනය කිරීමයි, සිංහල අළුත් අවුරුදු චාරිත‍්‍ර වල දැක්වෙන්නේ.

අපේ‍්‍රල් මාසයේ මැද සති දෙක තුල ලංකාවට ඉර මුදුන් වෙනවා. ඒ නිසා අපේ‍්‍රල් මාසයේ අධික උෂ්ණත්වයක් පවතිනවා. අධික උෂ්ණත්වය නිසා ශරීරයේ පිත වැඩි වෙනවා. නානු ගෑම මගින් අධික අව් රශ්මියෙන් ඇති වන ශාරීරික පීඩා අවම කරගන්න පුළුවන්. තෙල් ගෑම, ආයුර්වේද වෙද කමේ හදුන්වනු ලබන්නේ තෛල අභ්‍යන්ගය නමින්. අභ්‍යන්ගය යනු ගෑමයි. එම නිසා ශීර්ෂ තෛල අභ්‍යන්ගය, හිස තෙල් ගෑම ලෙසද හදුන්වනවා. සිංහල හා හින්දු අළුත් අවුරුදු චාරිත‍්‍රයක් ලෙස හිස තෙල් ගෑම, කිසිඳු තැනක ලිඛිතව සදහන්ව නැහැ. මෙය වඩාත් පැරණි චාරිත‍්‍රයක් වීම එයට ප‍්‍රධානතම හේතුවයි. ආයුර්වේද වෙද කමේ ආරම්භය පිළිබඳව ඉතිහාසයේ හා ජනප‍්‍රවාදයේ විවිධාකාරයෙන් සදහන් වෙනවා.

හෙල වෙද කම හා ආයුර්වේදය එකිනෙකට වෙනස් කාරණා දෙකක්. ලංකාවේ රාවණා යුගයේ හෙල වෙදකම වඩාත් දියුණු තත්ත්වයට පත්ව ප‍්‍රචලිත වී තිබූ බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා. පුලස්ථි සෘෂිවරයා ලෙස හදුන්වන්නේ රාවණා රජුගේ මුත්තායි. පුලස්ථී සෘෂිවරයා ඉන්දියාවේ හිමාලයේ තිබූ සෘෂිවරුන්ගේ සම්මේලනයකට ගොස් තිබෙනවා. සෘෂිවරුන් රාග, ද්වේෂ, මෝහ වලින් තොර අතීතය වර්තමානය හා අනාගතය යන තුන්කල් දැකිය හැකි අධ්‍යාත්මික වශයෙන් ඉහලම තත්ත්වයට පත් වූ මනුෂ්‍ය කොට්ඨාශයක්. සෘෂිවරුන් ධ්‍යාන වලට සමවැදී විශ්වය දෙස නෙත්යොමා සාමාන්‍ය මිනිසුන්ට දැකිය නොහැකි තේරුම්ගත නොහැකි කාරණා අවබෝධ කරගන්නවා. පුලස්ථී සෘෂිවරයා එයට සහභාගි වී තිබෙන්නේ ලංකාව නියෝජනය කරමින්.

මිනිසුන්ට ඇතිවෙන ලෙඩරෝග පිළිබඳව මෙන්ම ඒවා වලක්වා ගැනීම සහ සුවකර ගැනීම සම්බන්ධයෙන් මෙම සම්මේලනයේදී සාකච්ඡා කර තිබෙනවා. ඔහු සම්මේලනයෙන් පසුව ලංකාවට ඇවිත් හෙල වෙද කම විශීෂ්ඨ ආකාරයෙන් ආරම්භ කල බව සදහන් වෙනවා. නමුත් ඊට පෙරත් සාමාන්‍ය ආකාරයෙන් හෙල වෙද කම තිබූ බවට සාක්ෂි තිබෙනවා.

ආයුර්වේද වෙදකම ලංකාවට පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. එය ලංකාවට පැමිණීමෙන් පසු එකිනෙකට වෙන් කර ගැනීමට නොහැකි පරිද්දෙන් හෙල වෙදකම සමග බද්ධ වී තිබෙනවා. නමුත් ආයුර්වේදය හා දේශීය වෙදකම යනු එකිනෙකට වෙනස් වූ කාරණා දෙකක්. එය අප රටේදී එකිනෙකට බැදී තිබෙනවා. කැඩුම් බිදුම් වෙදකම, ඇස් වෙදකම, සර්ප විෂ වෙදකම, ආදිය දේශීය අපේ හෙල වෙදකමට උදාහරණ ලෙස දැක්විය හැකියි. නමුත් ආයුර්වේද වෙදකම අපට සෘජුවම ලැබෙන්නේ ඉන්දියාවෙන්.

මිනිසා සෘජු කාය විලාසය ඇති සත්වයෙක්. මිනිසාගේ හිස පිහිටා තිබෙන්නේ පොලොවට ලම්බක වන ආකාරයෙන් සිරස්වයි. මිනිසාගේ හිස ප‍්‍රධානයි. අනෙක් සතුන් බොහොමයකගේ හිස පොලොවට සමාන්තර ලෙස තිරස්ව පිහිටා තිබෙනවා. ඔවුන්ට තිරිසනා යන නමක් පටබැදෙන්නේත් ඒ නිසයි. මිනිසාගේ ඔළුව සිරස්ව පිහිටන නිසා තිරිසනාගෙන් වෙන් වෙන්න  ඕනෑ. ආයුර්වේද වෙදකම සම්බන්ධයෙන් සුස්කෘත සංහිතා ග‍්‍රන්තයේ සදහන් වන ආකාරයට පැතිරීම, ආකර්ෂණය සහ චලනයන් වලට සඳු, හිරු සහ වාතයේ ක‍්‍රියාවන් පදනම් වන සේම මනුෂ්‍ය ශරීරයේ කප (ජලය), පිත (අග්නිය), වාත (වාතය) ප‍්‍රධාන වෙනවා. එයට අමතරව ධාතු සහ මල, දේහය දරා සිටීමට උදව් වෙනවා. ශරීරයෙන් ඉවත් කලයුතු කොටස් මල ලෙස හදුන්වනවා. ආයුර්වේදයට අනුව නිරෝගී පුද්ගලයෙක් යනු ප‍්‍රසන්න වූ ආත්මය ඉන්ද්‍රියන් හා මනස නිසි ක‍්‍රියා කාරිත්වයෙන් යුත් අයයි. ආයුර්වේදයේ ඌර්දව ඡත‍්‍රර රෝග ලෙස හදුන්වන්නේ හිස ප‍්‍රධාන වූ රෝගයි.

සූර්යයා මේස රාශියෙන් ගමන් ආරම්භ කර එක් එක් රාශියේ මාසය බැගින් ගතකර 12 වන රාශිය වන මේස රාශියට පැමිණීම අළුත් අවුරුද්ද ලෙස හදුන්වනවා. මේ සිදුවීම පරණ අවුරුද්ද, නොනගතය හා අළුත් අවුරුද්ද ලෙස වෙන් කර තිබෙනවා. අළුත් අවුරුදු උදාව ලෙස හදුන්වන්නේ සූර්යයා මේස රාශියට පැමිණීමයි. මෙය සිදු වන්නේ අපේ‍්‍රල් 13 දිනයි. එම දිනය සහ ඊට පසු දිනය අළුත් අවුරුද්ද ලෙස සමරනවා. නානු ගෑම සිදු කරන්නේ හිස තෙල් ගෑමට පෙරයි. ඒ චාරිත‍්‍රයක් ලෙසයි. නමුත් අධික අව් රශ්මියෙන් ඇතිවන පීඩාවන් අවම කරගන්න අපේ‍්‍රල් මාසය පුරාම නානු ගා ස්නානය කරන්න පුළුවන් නම් වැදගත්. එයට අමතරව සෘතු කාල අනුව ඹෞෂධ වර්ග වලින් සකසාගත් නානු ගා ස්නානය කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් වැලදීම වලක්වා ගත හැකියි. ඒ වගේම ශරීරයේ සිසිල් බවකුත් ඇති වෙනවා.

නානු වලින් හිස පිරිසිදු වීමක්ද සිදු වෙනවා. පරණ අවුරුද්දට ස්නානය කිරීමත් අවුරුදු චාරිත‍්‍ර වල තිබෙනවා. එම අවස්ථාවේදීත් නානු ගාන්න පුළුවන්. ජෝතිෂය හා ආයුර්වේදය අතරත් බැදීමක් තිබෙනවා. නමුත් ජෝතිෂය හා නවීන විද්‍යාව යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක්. මෙයින් ජෝතිෂය විද්‍යාත්මක නොමැති බවක් අදහස් කරන්නේ නැහැ. නානු ගෑමේදී මෙවර හිසට දිවුල්පත්ද පයට ඉඹුල්පත්ද තබන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේවා ඹෞෂධීය ගුණයෙන් යුත් ශාක. මේ මගින්ද ශරීරයට සිසිලසක් ඇති කරනවා. තෙල් වශයෙන් බොහෝ අය පොල් තෙල් භාවිතා කරනවා. පොල් තෙල් වලත් ඹෞෂධීය ගුණයත් තිබෙන බව ඇත්ත.

නමුත් සිංහල අවුරුදු චාරිත‍්‍ර ලෙස හිස තෙල් ගෑමට තෝරා ගන්නේ තල, මී, අබ, කොහොඹ, එඬරු, තෙල් වර්ග වලින් සකසා ගන්නා ලද පස්තෙල් වර්ගයක්. මෙයිනුත් හිසට ඹෞෂධීය ගුණයක් ලැබෙනවා. කෙසේ වෙතත් හිස තෙල් ගෑම යනු ශරීරයේ උත්තම අංගය වන හිසේ නිරෝගී භාවය සදහා වන වැගගත්ම කාර්යය ලෙස පැරණි සෘෂි වරුන් උගන්වා තිබෙන ශීර්ෂ තෛල අභ්‍යන්ගය අළුත් අවුරුද්දට නැවත ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකියි. අනෙක් චාරිත‍්‍ර වලින් සිදු කරන්නේද ඒවා නැවත ආරම්භ කිරීමකුයි. ආහාර පිසීම, ආහාර අනුභවය, රැකි රක්ෂා කිරීම, ඒ සදහා පිටත්ව යෑම, වැඩ ඇල්ලීම, ජීවිතය පවත්වා ගැනීමට කෙතරම් වැදගත්ද යන්න අපි දන්නවා. ඒ තරමටම හිසේ තෙල් ගැල්වීමත් ඉතා වැදගත් බව පැරැන්නන් කෙතරම් විශ්වාස කළේද යන්න හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය තුලින් තහවුරු වන බවත් පෙන්වා දිය හැකියි

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ වෛද්‍ය පරාක‍්‍රම විජයනාග( බී.ඒ එම් එස් - කැළණිය විශ්ව විද්‍යාලය, එල් එල් බී - විවෘත විශ්ව විද්‍යාලය, එම් බී එම් - කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ)  මහතා සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි.

 

සාකච්ඡා කොට සකස් කළේ,

ජයකාන්ත ලියනගේ 

 

 

Advertiesment