Wednesday 16th of October 2024

English Tamil
Advertiesment


ජේ.ආර් ට අනුව භික්ෂූන් විෂයෙහි ජී.ආර් ක්‍රියා කළ යුත්තේ මෙහෙමයි   


2020-10-26 14331

මුරුත්තෙට්ටුවේ ආනන්ද මෙහෙය වන අදිසි හස්ථය කුමක්ද..?

 

වල්පොළ රාහුල හිමියන්ට ජේ.ආර් එදා දුන් උපදේසය 

 

මිනිස් විෂය ගැන බුදුන්ගේ ඉගැන්වී-ඒ ගැන අපේ භික්ෂූන්ගේ දැනුම

 

රට ගොඩනගන්න බැරි ව්‍යවස්ථාවයි-ද්විත්ව පුරවැසිකමයි නිසාද..?

 

ජනපතිට රට බලා ගන්න ඉඩ දී භික්ෂූන් පන්සල් බලා ගත්තොත් නරකද..? 

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

 

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ රටේ ජාතික සංවිධාන සහ ගරුතර මහා සංඝ රත්නය මූලික වූ ඇල්ලේ ගුණවංශ හිමියන් පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තබමින් කතා කරන කාල වකවානුවක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පමණක් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයකින් සම්මත වූ එම ව්‍යවස්ථාව අදටත් විවේචනය කරමින් කතා කරන්නේ කිනම් අදිසි බලවේගයක අරමුණක් ඉටු කිරීමට ද යන ප්‍රශ්නය මතු වෙමින් පවතියි. 

මහින්ද රාජපක්ෂ සහ එම පරපුරේ සාමාජිකයින්ට ජම්පර් ඇන්දවීමට වගේම මේ රට ඇෆ්ගනිස්තානයට  පහළ ස්ථානයකට ගෙන ඒමට දායක වූ දොස්තර   රාජිත සේනාරත්නගේ සුව දුක් බැලීමට එදා රෝහලට ගිය උන්වහන්සේ  රාජිත සේනාරත්නගේ හිතවාදීන්  අදටත් අභයාරාම පන්සලේ රඳවා ගෙන කටයුතු කරමින් රජයට විරුද්ධව ඔත්තු දෙන්නේ ද යන ප්‍රශ්නය ආණ්ඩු පක්ෂ කඳවුරේ අභ්‍යන්තරයෙන්ම මතු වෙමින් පවතියි.

වෛද්‍ය අමල් හර්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සහ රවි කුමුදේශ් යන මහත්වරුන් යොදා ගනිමින් "PCR" Test Tube රටේ හිඟ බවට ජාතික පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කරවන්නේ සිය පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජිත සේනාරත්න හිතවාදීන්ට රටේ ඉහළ තනතුරු ලබා දීමට උන්වහන්සේ ගත් උත්සාහයන් ව්‍යාර්ථ වූ නිසාද..? මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය ඉතා භයානක වන අතර ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධව සහ ජනාධිපති ලේකම්වරයාට පහර ගසන්නේ කුමන අරමුණක් උදෙසා ද යන ප්‍රශ්නය පැන නැගී. 

මේ රටේ ජාති මාමක සහ දේශප්‍රේමී ගරුතර බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නොමැති හෝ නොපෙනෙන ජාතික ප්‍රශ්නයක්, අභියෝගයක් සහ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පමණක් පෙනෙන්නේ කෙසේද..? යහ පාලන රජය පෙරළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන රජය බලයට පත් කර ගැනීමට කැස කවද්දී උන්වහන්සේ මේ අනතුර, අභියෝගය, ප්‍රශ්නය සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණය නොදුටුවේද..? එසේ නම් ඒ ඇයි..? නොඑසේ නම් ඒ සියල්ල දැක නොදුටුවා සේ සිටියාද..? එසේ සිටියා නම් ඒ තමාගේ පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන්ද..?

ද්විත්ව පුරවැසියන් යනු මිනිසුන් නොවේද..? ඔවුන් මහා භයානක අමුනුෂ්‍යයින් වර්ගයක්ද..? නොඑසේ නම් පිටසක්වල ජීවීන් කොටසක්ද..? ඔවුන්ට මූලික මිනිස් අයිතිවාසිකම් නොමැතිද..? සියලු දේශ සීමා, බැඳීම්, අනන්‍යතා, සීමා මායිම්, පටු අදහස් සහ ආකල්ප අතික්‍රමණය කරමින් මුළු ලෝකයම එකම ගෝලීය ගම්මානයක් බවට (GLOBAL VILLAGE) පත්ව ඇති අද්‍යතන ලෝකයේ ද්විත්ව පුරවැසි භාවයක් ගැන කතා කිරීම කෙතරම් නම් ප්‍රතිඵලදායක වනු ඇද්ද..?

එමගින් මෙම කණ්ඩායම් උත්සහ කරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය ගම්මානයෙන් වියුක්ත කරවා ගෙන ජනතාව අතර කොදෙව් මානසිකත්වය තව දුරටත් තහවුරු කරමින් හුදෙකලා කොදෙව් දූපතක් බවට රට පත් කිරීමට නොවේද..? පුද්ගලයෙකුගේ ද්විත්ව හෝ වේවා ත්‍රිත්ව හෝ වේවා පුරවැසිකම රටට-ජනතාවට අනතුරුදායක ද නොඑසේ නම් ප්‍රතිඵලදායක ද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ ඔහුගේ ඉතිහාස ගත අභ්‍යාසවලින් හෙවත් ක්‍රියාකලාපය මගින් නොවේද..? තේ කෝප්පයේ කිඹුලන් දකිනවා වගේ සෑම සියල්ලක් කෙරෙහිම ඍනනාත්මකව, විවේචනාත්මකව සහ සැකයෙන් යුතුව බලනවා වෙනුවට "මැටියෙන් හරි කමක් නැහැ බළලා මීයියන් අල්ලනවා" නම් ආදී වශයෙන් සියල්ල දෙස තාර්කිකව, විමර්ශනාත්මකව සහ පුළුල්ව බැලීම නොවටින්නේද..? 

බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව කිනම් රටක ඉපදුණත්, කිනම් රටක ජීවත් වුණත්, කිනම් ජාතියකට අයත් වුණත්, කිනම් කුලයකට අයත් වුණත්, කිනම් භාෂාවක් කතා කළත් කිනම් ආගමක් ඇදහුවත් ඒ සියල්ලෝ මනුෂ්‍යයෝය. බුදුන් වහන්සේ වදාළ ඒ අති උතුම් ධර්මයට අනුව ඒ ධර්ම පදනමේ පිහිටා ක්‍රියා කරමින් අපේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා "සියලු සත්වයෝ නිදුක් වෙත්වා-නීරෝගී වෙතවා-සුවපත් වෙත්වා" කියමින් මෛත්‍රීය වඩන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාති, ආගම්, කුල ඇතුළු සියලු භේදවලින් තොර සාමකාමී, සමගි සම්පන්න, මෛත්‍රී සහගත, දියුණු සහ දේශපාලන ස්ථාවර භාවයෙන් යුතු රටක් බවට පත් වේවිද..? 

සිය ද්විත්ව පුරවැසියන් යොදවා ඇමරිකා එක්සත් ජන පදය ශ්‍රී ලංකාව අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරනවා යැයි කවුරුන් හෝ කියනවා නම් එමගින් පැහැදිළි වන්නේ ගෝලීය භූ දේශපාලනය ගැන ඔහු සතු දැනුමේ තරමය. ඇමරිකාවට එවැනි අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් ඔවුන් කරනු ඇත්තේ ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා සියලුම ශ්‍රී ලාංකිකයින්ට නොමිලයේ වීසා බලපත් ලබා දෙන බව නිවේදනය කිරීම පමණය. ඇමරිකාව එසේ කළොත් ඇමරිකාවේ ස්ථිර පදිංචියට නොගොස් දේශප්‍රේමීන් කොපමණ පිරිසක් ශ්‍රී ලංකාවේ ඉතිරි වේවිද..?

ඇත්ත වශයෙන්ම මේ මොහොතේ ජාතික ප්‍රමුඛතාවය දී කතා කළ යුත්තේ, සංවාද කළ යුත්තේ සහ ක්‍රියා කළ යුත්තේ ඒ ඒ අයගේ විවිධ පෞද්ගලික සහ දේශපාලන න්‍යාය පත්‍ර මත ගොනු වී තිබෙන මෙවැනි සරළ කාරණා ගැන නොව රට ගොඩනඟා ජනතාව සවි බල ගන්වමින් ගෝලීය ගම්මානයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාන ගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවය.

එමනිසා, "ඔබ වහන්සේලා පන්සල බලා ගන්න-මම රට බලා ගන්න" යනුවෙන් දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා වල්පොළ රාහුල නා හිමියන්ට එදා ඉතා සාවධානව සහ ගෞරව සම්ප්‍රයුක්තියෙන් යුතුව කියා සිටියා වගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ මොහොතේ කළ යුත්තේ   මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එම භික්ෂූන් වහන්සේලාගෙන් ද දෙපා නැමද එම ඉල්ලීම සිදු කිරීමය.         

 

Advertiesment