Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


19 කියන්නේ බලහත්කාරයක්-20 යනු ජන මතයක්


2020-10-22 14324

19 සඳහා "මෛත්‍රී-රනිල්" හවුලට ජන වරමක් ලැබුණේ නැහැ

 

ජන වරමට ඉඩ දෙමු-ඊට ගරු කරමු 

 

ජන වරමෙන් හෙළි වන ප්‍රතාපවත් නායකත්වය

 

 

(මහාචාර්ය රංජිත් බණ්ඩාර)   

 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා 2015 දී පැවැති ජනාධිපතිවරණයේ දී හෝ ඊට පසුව පැවැති මහා මැතිවරණයේ දී එවකට ජනාධිපතිවරයාව සිටී මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ අග්‍රාමාත්‍යවරයාව සිටී රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සුජාත ජන වරමක් නොතිබුණු බව පැහැදිළිවම කිව යුතුය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා එවකට පැවැති යහ පාලන රජය අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය එකඟ කරවා ගත්තේ බලහත්කාරයෙනි. ඒ අතර සිටී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අති මහත් බහුතරය ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවනු ලැබුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට හෝ යහ පාලන රජයට සහය පළ කිරීමට නොව "මහින්ද චින්තන" දැක්ම අඛන්ඩවම ක්‍රියාත්මක කරවමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය තව තවත් වේගවත් කර ආර්ථිකය නඟා සිටුවා සහන සලසා ගැනීම් අරමුණිනි.

මේ කරුණු කාරණා අනුව පැහැදිළි වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාතිශය බහුතරය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ කරවා ගත්තේ බලහත්කාරයෙන් විනා මහා ජන මතය අනුව ඊට ගරු කිරීමක් ලෙස නොවන බවය.

කෙසේ නමුත් මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඔස්සේ සංවර්ධනය වේගවත් කරමින් රට ආර්ථික වශයෙන් නඟා සිටුවා ස්වාධීන, ස්වෛරී, අභිමානවත්, නොබැඳි සහ දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යාම සඳහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සුවිශේෂී ජන වරමක් හිමිව තිබේ.

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව ලබා දුන් අති විශාල ජන වරමෙන් ද, මහා මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව ලබා දුන් පාර්ලිමේන්තුවේ 2/3 කේ අති විශාල ජන වරමින් ද සක්සුදක් සේ පැහැදිළි වන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ජන ජන රංජන භාවය, ප්‍රතාපවත් නායකත්වය සහ ප්‍රතාපවත් ආධිපත්‍ය බව (Charismatic Domination and Charismatic Leadership) කිව යුතුය.

එම නිසා සියලු පාර්ශවයන් එකට එක්ව මේ මොහොතේ කළ යුත්තේ රජයේ කකුලෙන් ඇද රට ආපස්සට හරවා ජනතාව අනාථ කිරීම නොව ජන වරමට හිස නමා ගරු කර රටේත් ජනතාවගේත් පැත්තේ සිටිමින්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය පළ කර සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් සිදු කිරීමට යන රැඩිකල් පෙරළියට ලොකු තල්ලුවක් (Big Push) ලබා දීමය. ඒ නිසා ජනවරමට ගරු කරමු.

 

Advertiesment