Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


විජේදාස සූත්තර පුංචෙක්ද-ඔහු පිටුපස අදිසි හස්ථයක්ද..?


2020-10-18 14322

චීන-ඇමරිකානු කුමන්ත්‍රණ කතා කිනම් කොන්ත්‍රාත්තුවක්ද..?

 

හෙට අනිද්දා වන විට උතුරු මුහුදට එන ආයුද බෝට්ටු

 

රට අස්ථාවර වී විදේශීය අත පෙවීම් එන්න පුළුවන්..?

 

ජනපති-අගමැති නිහඬ ඇයි..?

 

විජේදාස රාජපක්ෂට බියද..?

 

ගල් ලෙන බිඳ ගෙන ලෙන් දොර ඇර ගෙන එළියට නොඑන්නේ ඇයි..?

 

20 ට විරුද්ධ නම් CBK යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ ඇයි..?

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

ජනාධිපතිවරයා සිටිය යුත්තේ රජ ගෙදර නොව වැලිකඩ මහා උළු ගෙදර බවට ද, අගමැතිවරයා සිටිය යුත්තේ අරලිය ගහ මැදුරේ නොව හම්බන්තොට සිය "කාල්ටන්" නිවසේ වන අතර බැසිල් රාජපක්ෂ මහතා සිටිය යුත්තේ ඇමරිකාවේ සිය මහා ගෙදර බවට ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ජාතික දේශපාලන කරළියේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

මේ ලිපියේ අරමුණ වන්නේ ඔහු කළ එම ප්‍රකාශයේ පදනම, ඊට හේතු විය හැකි දේශපාලන කරුණු කාරණා, පසුබිම සහ එම ප්‍රකාශය හේතුවෙන් ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් රටට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම වන අතර එමගින් "lankanewsweek" උත්සහ කරන්නේ ඒ සම්බන්ධයෙන් රටේ පුළුල් සංවාදයක් ඇති කිරීමටය.

ශ්‍රී ලංකාව ඉදිරියේ දී නියත ලෙසම චීනයේ "කොලනියක්" බවට පත් වන්නේ යැයි ද, ඊට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය උත්සහ කරන්නේ ශ්‍රී ලංකාව ඇමරිකානු "කොලනියක්" බවට පත් කර ගැනීමට වන අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු "මව්බිම" ඇමරිකානු "කොලනියක්" බවට පත් කර ගැනීමේ ඇමරිකානු කුමන්ත්‍රණය යැයි ද විජේදාස රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියි.

වත්මන් පාලකයින් රට පාවා දෙමින් සිටින බවට එහිදී චෝදනා කර සිටී විජේදාස රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන් ජනතාව පමණක් නොව මහා ජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහා ජන නියෝජිතයින් ද සිටින්නේ දැඩි කලකිරීමකින් බව ද පෙන්වා දී ඇත.   

මේ ප්‍රකාශය අතිශය බරපතළ, ආන්දෝලනාත්මක සහ විවාදාපන්න වී තිබෙන්නේ එම ප්‍රකාශය කරන විජේදාස රාජපක්ෂ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නොව කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහා මැතිවරණයට තරඟ කර මනාප ඡන්ද ලක්ෂයකට වඩා ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු නිසා වන අතර මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ විජේදාස රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අතිශය බරපතළ දේශපාලන දෙදරීම වන බවය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වන අතර ප්‍රධානම ප්‍රශ්නය වන්නේ දේශපාලන සම්ප්‍රදායට, සදාචාරයට සහ විනයට අනුව ක්‍රියා කරමින් ආණ්ඩුවෙන් එළියට පැමිණ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටිමින් මේ ප්‍රකාශය නොකර, ආණ්ඩුව අභ්‍යන්තරයේම සිටිමින් විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජයට එරෙහිව මේ චෝදනාව එල්ල කරන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ඒ මන්ද මේ විජේදාස රාජපක්ෂ මහතා ඒ ඒ ආණ්ඩුවල සිටිය දී, ඒ ඒ ආණ්ඩුවල ඒ ඒ ප්‍රතිපත්තීන්ට එරෙහිව ඉතිහාසයේ දී හඬ නැඟුවේ දේශපාලන සම්ප්‍රදායට, සදාචාරයට සහ විනයට අනුව ඒ ඒ ආණ්ඩුවලින් එළියට පැමිණ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගනිමිනි.

එසේ තිබියදී විජේදාස රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජයට එරෙහිව බරපතළම චෝදනාව එල්ල කරමින් මෙවර කිසිදු බියකින් සහ සැකයකින් තොරව ඒ ජනාධිපතිවරයා-අගමැතිවරයා යටතේ ඒ රජයේ සහ ඒ කඳවුරේම අභ්‍යන්තරයේ සිටින්නේ කෙසේද..? එමෙන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද, ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් නොගන්නේ ඇයි..?

ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් ප්‍රධාන ඒ ඒ රජයන් යටතේ ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ප්‍රධාන රජයට එරෙහිව මෙවැනි බරපතළ චෝදනාවක් එල්ල කළේ නම් ඔහුට දේශපාලන වශයෙන් අත් වන ඉරණම සම්බන්ධයෙන් දේශපාලන ඉතිහාසය සාක්කි දරනු ඇත.

ශ්‍රී ලංකාව "චීන-ඇමරිකානු" කොලනියක් බවට පත් කර ගැනීමේ කුමත්‍රණයක් ක්‍රියාත්මක වන අතර එම කුමන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස ක්‍රියා කරන පාලකයින් රට පාවා දෙමින් සිටින්නේ යැයි කියමින් විජේදාස රාජපක්ෂ මහතා, සාක්කි-සාධක නොමැතිව ඒ සම්බන්ධයෙන් චීනයට සහ ඇමරිකාවට බරපතළ චෝදනා එල්ල කිරීම අතිශයින් නුසුදුසු සහ කිසිසේත් පිළි ගත නොහැකි බව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පෙන්වා දෙති.

එමගින් පැහැදිළි වන්නේ රාජ්‍ය තාන්ත්‍රික භාවය ද, එවැනි ප්‍රකාශයක් හේතුවෙන් මුළු රටම අනතුරකට පත් විය හැකි ආකාරය සහ එම ප්‍රකාශය පදනම් කර ගෙන මතු විය හැකි අනවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ද, සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතාට කිසිදු අවබෝධයක් නොමැති බව යැයි පෙන්වා දෙන රාජ්‍ය තාන්ත්‍රිකයෝ මෙවැනි ප්‍රකාශයක් මගින් රට කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි අවදානමකට ලක් විය හැක්කේ අදාළ චෝදනාව කරමින් එම ප්‍රකාශය කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නොව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන නිසා යැයි ද පෙන්වා දෙති.

අපේ ගැමියන්, "සූත්තර පුංචලා" ලෙස හඳුන් වන කොටසක් ගම්වල සිටින බවත්, ඒ "සූත්තර පුංචලා" කවදාවත් කිසිවෙකු සමග "ගහ ගැනීමට-බැණ ගැනීමට" නොඑති. නමුත් ඒ "සූත්තර පුංචලා" දිය යටින් ගින්දර ගෙන යමින් විවිධ උපාය උපක්‍රම ඔස්සේ මුළු ගමම එකම ගිණි ජාලාවක් බවට පත් කර ගමේ ස්ථාවර භාවය, එකමුකම සහ එක්සත් භාවය බිඳ හෙළමින් මුළු ගමම විනාශ කළ පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු. 

කවුරුන් කෙසේ තර්ක කළත්, කුමක් කියා සිටියත්, කැමති වුණත් අකැමති වුණත් ශ්‍රී ලංකාවේ ස්ථාවර භාවය රැදී තිබෙන්නේ සහ ඉන්දීය සගරය මෙහෙය වන්නේ ඉන්දියාව වන අතර මේ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට කලාපීය බලවතා ලෙස ඉන්දියාවේ සුවිශේෂ ආරක්ෂාව, පිළි ගැනීම සහ සහයෝගය තිබිය යුතුය. වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රධාන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට රටක් ලෙස ශ්‍රී ලංකාවට හැකි වූයේ ඒ සඳහා ඉන්දියාව ලබා දුන් සහයෝගය නිසා වන අතර එසේ නොවුණා නම් එම කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන රජයට එදා කිසිසේත් නොහැකි වනු ඇත. 

ශ්‍රී ලංකාව සිය "කොලනියක්" කර ගැනීමට චීනය සහ ඇමරිකාව කරනවා යැයි කියන කුමන්ත්‍රණයක් ද, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන පාලකයින් ඊට අනු බල දෙනවා යැයි ද, කියමින් විජේදාස රාජපක්ෂ චීනයටත් ඇමරිකාවටත් එරෙහිව ආණ්ඩුවේ අභ්‍යන්තරයේ සිට එල්ල කරන බරපතළ චෝදනාව හමුවේ කලාපීය බලවතුන් කෙසේ ක්‍රියා කරාවිද..?

මෙම පසුබිම යටතේ කලාපීය ආරක්ෂාව යන රාජ්‍ය තාන්ත්‍රික කාරණය දඩමීමා කර ගෙන අවි සහිත බෝට්ටු කිහිපයක් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ සීරුවෙන් තැබීමට සහ කලාපීය සතුරෙකු ලෙසට ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බැලීමට කවුරුන් හෝ කලාපීය බලවතෙකු හෙට අනිද්දා වන විට ක්‍රියා කළ හොත් රටක්-ජාතියක් ලෙස අප ඒ ගැන පුදුම විය යුතු නොවේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේම විශේෂයෙන් ඒ යටතේ ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමය සම්බන්ධව, ඉන්දීය මධ්‍යම රජය සිය ස්ථාවරය මේ වන විටත් නිල වශයෙන් ද, නිල නොවන මට්ටමේ එහෙත් අතිශය ප්‍රබල රහස් උපාය උපක්‍රම සේම මාර්ග ඔස්සේ රජයට දැනුම් දී තිබේ. 

කෙසේ නමුත් ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දක්වන විරෝධය බහුතරයකට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ද, බහුතරය ඒ ගැන සැක කරන්නේ සහ ඔහුගේ මෙම භූමිකාව නොපිළි ගන්නේ ද එක ප්‍රධාන හේතුවක් නිසාය. ඒ විජේදාස රාජපක්ෂ යනු ජේ.ආර් ජයවර්ධනගේ සර්ව බලධාරී ඒකාධිපති ව්‍යවස්ථාව හොඳින්ම ක්‍රියාත්මක කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය යටතේ එම ඒකාධිපති ව්‍යස්ථාවේම ජාතික ලැයිස්තුවෙන් එදා පාර්ලිමේන්තුවට ආ නිසාය.

ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු විශ්ලේෂණ කිරීමේ දී මතු වන ප්‍රශ්න ගණනාවක් තිබෙන අතර ඒ ප්‍රශ්න සඳහා ඔහු උත්තර දිය යුතුවා සේම ඊට අදාළව ජන සමාජයේ පුළුල් සංවාදයක් ද ඇති විය යුතුය.   

ඇත්තටම මේ කතා කරන්නේ විජේදාස රාජපක්ෂද..? ඔහු පිටු පස අදිසි හස්ථයක් ක්‍රියාත්මක නොවන්නේද..? ඇමරිකාවයි-චීනයයි පටළවා ශ්‍රී ලංකාව කලාපීය අර්බුදයකට තල්ලු කරන ප්‍රකාශයක් ඔහු කළේ ඇයි..? මේ ප්‍රකාශය කර ඔහු ආණ්ඩුව ඇතුළේම සිටින්නේ කෙසේද..? ඔහුට හයිය දෙන්නේ කවුරුන් ද..? ජනපති-අගමැති-ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔහුට එරෙහිව විනය පියවර නොගන්නේ ඇයි..? ඒ බිය නිසාද..? නොඑසේ නම් සැඟවීමට යමක් තිබෙන නිසාද..? 20 ට විරුද්ධ නම් J.R ගේ ව්‍යවස්ථාවෙන් CBK යටතේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ ඇයි..? යහ පාලන ආණ්ඩුවේ දී සිය පක්ෂයටම ද්‍රෝහී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රැක්කේ ඇයි..? තමාගේ පුත්‍රයා ජනාධිපතිවරයාගේ අති ජාත මිත්‍රයෙකු සහ සේවකයෙකු වූ නිසාද..? ප්‍රබල ඇමතිකමක් ඇත්තටම නොලැබුණේ මෛත්‍රීපාල සිරිසේන එක්ක තිබෙන සම්බන්ධය නිසාද..? ඒ ගැන සිටින්නේ කණගාටුවකින්ද..?  

Advertiesment