ජාතික නිදහස් පෙරමුණේ නායක සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් සිය අනුගාමිකයන් යොදවා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව දැවැන්ත දේශපාලන මඩ ප්‍රහාරයක් දියත් කර තිබෙන බව මේ වන විට ජන සමාජයේ කවුරුත් දනිති.
රටේ හැට නව ලක්ෂයක සාතිශය ජනකායක් අනුමත කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ක්‍රියාවට නංවනු වෙනුවට ලාභ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින විමල් වීරවංශ මහතා සිය අනුගාමිකයින් යොදවා බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලන මඩ ප්‍රහාර එල්ල කරන්නේ සිය අමාත්‍යංශයේ අසාර්ථක භාවය වසා ගැනීම වෙනුවෙන් බව පැහැදිළිය.
බැසිල් රාජපක්ෂ යනු මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවේ. එමෙන්ම ඔහු මේ රටේ ඇමතිවරයෙකු තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද නොවේ. එහෙත් ඔහු රටේ ජනතාව දුගීභාවයෙන් මුදා ගැනීමේ ජනපති අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නිහඬ එහෙත් අතිශය බැරෑරුම් ජාතික කාර්ය භාරයක නිරතව සිටියි. ඒ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන්, ආර්ථිකයේ පුනර්ජීවනයක් ඇති කරමින් රටේ දරිද්‍රතාව තුරන් කිරීමට අදාළව ජනාධිපතිවරයා පවරා ඇති වගකීම් ඉටු කිරීමට සිය ක්‍රය ශක්තිය උපරිමයෙන් යොදවා ඒ වෙනුවෙන් ඇපකැප වෙමිනි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තිබෙන ජනප්රසාදය දවසින් දවස වැඩි වනවා විනා අඩු නොවන බව ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ප්‍රතිඵල අනුව තහවුරු වීමත් සමග දේශපාලන වශයෙන් වැඩිපුරම තැති ගෙන සිටින්නේ විමල් වීරවංශ මහතාය. ඒ ජාතිකවාදී ඡන්ද පදනම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු එම පවුල වටා තව දුරටත් ඒකාරාශී වීමත් සමග සිය අනාගත ජනපති-අගමැති සිහිනය මේ වන විට බොඳ වෙමින් පවතින නිසාය.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයටම මේ සහෝදර තුන් කට්ටුව රටේ ඉතිරි ප්‍රශ්න ද විසඳමින් ආර්ථිකය ගොඩනගා දිළිඳුකම පිටු දැක්කොත් අනාගතයේ තමා ඇතුළු කණ්ඩායම දේශපාලන වශයෙන් අවලංගු කාසියක් බවට පත් වනු ඇතැයි විමල් වීරවංශ සැක කරන බව හොඳින්ම පෙනී යන බව කිව යුතුය.
එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රධාන රජය අපහසුතාවයට පත් කිරීම සඳහා එම රජයේ ආර්ථික බර ඇද්ද පී.බී. ජයසුන්දර ආර්ථික ඝාතකයකු ලෙස නම් කර පහර දුන්නා සේම අද ද්විත්ව පුරවැසි භාවය දඩමීම කර ගෙන කෝකටත් තෛලය වගේ සුපුරුදු ඇමරිකානු බිල්ලා මවමින් විමල් වීරවංශ ප්‍රධාන කණ්ඩායම බැසිල් රාජපක්ෂට ප්‍රහාර එල්ල කරන්නේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ දුර්වල කර ජනාධිපතිවරයා ජනතාව අතර විශේෂයෙන් සිංහල-බෞද්ධ ජනතාව අතර අප්‍රසාදයට ලක් කිරීම සඳහාය.
එදා පී.බී ජයසුන්දරට සහ මෙදා බැසිල් රාජපක්ෂට ප්‍රහාර එල්ල කරන්නේ ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට ඍජුව ප්‍රහාර එල්ල කිරීමට නොහැකි නිසාය. ඇත්ත වශයෙන්ම විමල් වීරවංශ ප්‍රධාන කණ්ඩායම මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ වැඩ පිළිවෙළ අසාර්ථක කර අවසානයේ ආණ්ඩුව බිඳ වට්ටවා හෝ ජාතික වාදී ඡන්ද පදනම සිය බලවේගය වටා කෙසේ හෝ ගොනු කර ගනිමින් අනාගත රාජ්‍ය බලය තහවුරු කර ගැනීමේ දේශපාලන බල ව්‍යාපෘතිය බව නොකිවමනාය.
මේ දැවැන්ත සහ මරා ගෙන මැරෙන දේශපාලන මැර ප්‍රහාරයේ අවසාන ඉලක්කය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රට ගොඩනගන ජාතික වාදී වැඩ පිළිවෙළ වන අතර දේශප්‍රේමි සළුවලට සැඟව සිදු කරන මේ දේශපාලන කුමන්ත්‍රණය මහා ජනයා අවබෝධ කර ගත හොත් රට නැවත 2015 වේ අරාජිකත්වය කරා දක්වා ගෙන යන ගාමක බලවේගය පරාජය කළ හැකිය.
Lanka Newsweek © 2024