Friday 4th of October 2024

English Tamil
Advertiesment


කෝටි 4 ½ ක ගුරුලේත්තු මිල දී ගන්න MAS සූදානම්


2020-10-09 14324

දේශීය නිෂ්පාදන දිරි ගන්වා ජාතික ආර්ථිකයට පණ පෙවීම අරමුණයි 

 

ප්‍රසන්න රණවීරගේ වැඩක් 

 

මහැදුරු රංජිත් බණ්ඩාරගේ මැදිහත්වීමක්

 

"MAS" සේවක අවුරුදු තිළිණය මැටි ගුරුලේත්තුවක් 

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

 

විදේශ විනිමය රටට ඉතිරි කර දී, ජාතික සහ දේශීය නිෂ්පාදන දිරි ගන්වා දේශීය කර්මාන්තකරුවන් නඟා සිටුවීමේ අරමුණින් සිය ආයතනයේ සේවක සේවිකාවන්ට වාර්ෂිකව ලබා දෙන ත්‍යාගය වෙනුවෙන් දේශීයව නිෂ්පාදනය කෙරෙන මැටි ගුරුලේත්තුවක් ලබා දීමට "MAS" සමූහයට අයත් "MAS Intimates" (PVT) Ltd ආයතනය තීරණය කර තිබේ.

"MAS Intimates" (PVT) Ltd ආයතනය මේ තීරණය ගෙන තිබෙන්නේ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ඉල්ලීමට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ මැදිහත්වීමට අනුව වන අතර ඊට අදාළව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කර ඇත.

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ දී එළැඹි මෙම අවබෝධතා ගිවිසුමට "MAS" සමූහයට අයත් "MAS Intimates" (PVT) Ltd ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි රජීව් ධර්මේන්ද්‍ර සහ අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් එම්.ඒ.බී විජිත බණ්ඩාර යන මහත්වරු අත්සන් තැබූහ. 

"MAS Intimates" (PVT) Ltd ආයතනය සෑම වර්ෂයකම සිය සාමාජික සාමාජිකාවන් සදහා අවුරුදු තිළිණයක් ලබාදෙන අතර, ඒ තිළිණ බොහොමයක් ආනයනික විදේශ නිෂ්පාදනයන් ඒ වෙනුවෙන් කලක් මුළුල්ලේ විශාල විදේශ විනිමයක් විදේශ රටවලට ඇදී ගියේය. 

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගෙන වහාම ක්‍රියාත්මක වූ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදාළ සේවක සේවිකාවන් සඳහා වාර්ෂිකව ලබා දෙන තිළිණය වෙනුවෙන් දේශීයව නිෂ්පාදිත මැටි ගුරුලේත්තුවක් ලබා දීමට හැකි බව "MAS Intimates" (PVT) Ltd ආයතනයට දැනුම් දුන් අතර ඒ අනුව සිය සේවක සේවිකාවන් 36,000ක් සඳහා 2021 ජනවාරි 01 වැනිදා එම ගුරුලේත්තුව ලබා දීමට එම ආයතනය ද එකඟ විය. 

ඒ අනුව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට අයත් මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් එම ගුරුලේත්තුව ලබාගැනීමට එම අමාත්‍යංශය සැලසුම් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට ද, එම මුදල දේශීය කර්මාන්තකරුවන් අතර බෙදා දීමට සහ පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන පරිභෝජනයට ජනතාව උනන්දු කරවීමට ද අපේක්ෂා කෙරේ. 

"MAS" සමූහයට අයත් "MAS Intimates" (PVT) Ltd යනු ඇඟලුම් නිෂ්පාදනය කරන දකුණු ආසියාවේ විශාලතම සමාගම වන අතර සුවපත් දිවියක් වෙනුවෙන් අවශ්‍ය අනිවාර්ය අංගයක් වන පිරිසිදු පානීය ජලය සිය සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලබාදීමට ආරම්භයේ සිටම එම ආයතනය ක්‍රියා කරමින් සිටියි.

"දේශීය නිපැයුම් අගයමු" යන සංකල්පය යටතේ සිය සියලුම සාමාජික සාමාජිකාවන් වෙත නව අවුරුදු තිළිණයක් ලෙස දේශීය මැටි භාණ්ඩ නිෂ්පාදන අතර ජනප්‍රිය නිෂ්පාදනයක් වන වතුර පෙරන අලංකාර ගුරුලේන්තුවක් ලබාදීමට තීරණය කරමින් එම සමාගම සිය නිවසේදීත් පිරිසිදු පානීය ජලය සිය සේවක සේවිකාවන්ට සපයා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ.

ඒ වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රාමීය නිෂ්පාදකයන්ගෙන් "MAS Intimates" සමාගම විසින් රුපියල් කෝටි හතර හමාරකට අධික වටිනාකමකින් යුක්ත දේශීයව නිෂ්පාදිත මැටි ගුරුලේත්තු තොගයක් මිලදී ගැනීමට නියමිතය.

අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවට ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, අමාත්‍යාංශ අතිරේක ලේකම් ජේ. ක්‍රිෂ්ණ මූර්ති සහ "MAS Intimates" (PVT) Ltd ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රුවන් කෑරගල යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ. 

 

Advertiesment