Tuesday 16th of April 2024

English Tamil
Advertiesment


ජාතික ලැයිස්තුව හොරා කන්න ගොස් අකිල මාට්ටු


2020-10-08 7696

රනිල්ගෙන් අකිලට කුණු බැනුම් 

 

"එජාපය වැනසුවේ රනිල්-සාගල" - අකිල

 

මහා ලේකම්ගේ වගකීම නීති ලේකම්ට

 

අකිලගේ ජාතික ලැයිස්තු සිහිනය බොඳ වෙයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා)  


එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා එම පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් කුමන්ත්‍රණකාරී ලෙස පාර්ලිමේන්තුවට යන්න දැරූ උත්සාහය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී වළක්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ තමා බවට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දෙමින් සිය අත්සනින් යුතුව ලිපියක් සකස් කර එම ලිපිය මැතිවරණ කොමිසම වෙත යැවීමට අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රියා කරමින් සිටින බවට රනිල් වික්‍රමසිංහ මහතාට තොරතුරු වාර්තා වී ඇත. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අකිල විරාජ කාරියවසම් මහතා කැඳවා දැඩි ලෙස බැණ වදිමින් දෝෂාරෝපණය කර ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙන්නේ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා එවන කිසිදු ලිඛිත දැනුම්දීමක් පිළි නොගන්නා ලෙසය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ඇත්තේ පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ අත්සනින් යුතුව යොමු කරන ලිපි පමණක් පිළි ගන්නා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසම වෙත වැඩි දුරටත් දැනුම් දී තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස උරණ වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා සිය සමීපතමයින් සමග කියා තිබෙන්නේ ඔහුට ඉදිරියේ දී පක්ෂයේ කිසිදු අවස්ථාවක් ලබා නොදෙන අතර ළඟදීම ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ධූරයෙන් ද පහ කරන බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට අත්ව ඇති දේශපාලන ඉරණම, අභ්‍යන්තර තත්ත්වය සහ මහා මැතිවරණ පරාජය සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ජනමාධ්‍යවේදියෙකු සමග මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිදු කළ සාකච්ඡාවකදී කියා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කළේ රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක යන මහත්වරුන් වන අතර ඊට ඒ දෙදෙනා ඍජුවම වග කිව යුතු බවය.

මේ සිද්ධිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ආරංචි වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සිය සමීපතමයින් පිරිසක් සමග කියා තිබෙන්නේ, අකිල විරාජ් කාරියවසම් මහතාට සජිත් ප්‍රේමදාස පාර්ශවය සමග කූට දේශපාලන ගනුදෙනුවක් තිබෙන බවට බොහෝ පිරිස් තමා සමග කියා තිබෙන බවය.    

Advertiesment