' ඈත ඉමේ සිට ඔබ
බලා හිඳීන බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා....
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා...''
උමාරා සිංහවංශ විසින් ගායනා කරන ආදරය කැටි කරගත් මේ තේමා ගීතය ඔබේ හද සොරා ගෙන අවසන්. ඒ සමඟින් පියෙකුගේ සෙනහස අහිමි වූ දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් ලෙස විවිධ අභියෝග දරාගෙන ජීවිතය ජයගන්නා දිරිය කාන්තාවකගේ ජීවිතය වටා ගෙතුණු කතාවක් ගෙන එන කිසා ටෙලිනාට්‍ය මාලාව ශ්‍රිලාංකේය ටෙලි රසික රසිකාවන් වෙත පැමිණියේ පසුගිය අගෝස්තු 24 වැනිදා පටන්ය. සිරස TV ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8 ට සිංහලෙන් හඬකවා කිසා නමින් පැමිණෙන්නේ කාඩින් (Kadin) නම් තුර්කි ටෙලි නාට්‍ය මාලාවයි.
මවකගේ ආදරයට මේ ලොව කළ නොහැකි කුමක්ද ? බහාර් තම දරුවන් දෙදෙනා සමඟ ජීවිතයක් පවත්වා ගැනීමට වෙහෙසෙන ආදරණීය මවකි. කොතෙකුත් දුක් කරදර කම් කටුළු ඇයගේ ජීවිතයට පැමිණියද ඇය නොසැලී සිටින්නේ උතුම් වූ මාතෘත්වයේ සවියෙනි. බහාර්ගේ ජීවිතය කුඩා වියේ පටන්ම දුෂ්කර එකක් විය. ඇයගේ මව ඇය අතහැර දමා යන්නේ වයස අවුරුදු 8 දීය. පසුව ඇයට මුත්තණු මිත්තණියන්ගේ රැකවරණය ද අහිමි වේ. කාලයත් සමඟ තනිවූ බහාර්ට සාර්ප් මුණගැසෙයි. දෙදෙනාගේ ජීවිතය සතුටින් ආදරයෙන් පිරී ඉතිරි ගිය එකක් විය. එහෙත්, බහාර්ගේ ජීවිතයේ සතුට වසර කිහිපයකට සීමා වේ. ඒ සාර්ප් අහිමි වීමෙනි. බහාර් ඇගේ දරුවන් දෙදෙනා වන නිසන් සහ දොරුක් සමඟ යළිත් තනිවේ. නමුත් ඇය සවිමත්ව ජීවත්වීමට තීරණය කරයි. ජීවිතය ක්‍රීඩාවක් බවටත් දුප්පත්කම විනෝදයක් බවටත් නොපැමිණීම ප්‍රීතියක් බවටත් පත් කිරීමටත් ඇය සමත් වේ. කෙනෙකුගේ මුහුණේ සිනහවක් ඇති විට හදවතද සිනහවෙන් ප්‍රතිචාර දක්වන බව ඇයගේ විශ්වාසයයි.
විසි වසරකට පසු බහාර්ගේ මව හනිස් නැවත සිය ජීවිතයට පැමිණෙන්නේ මේ අතරදීය. බහාර්ට ද නැවතත් තම මවට වෙත ළංවීමට අවශ්‍ය වුවද එයට බාධාවක් වේ. එනම් ඇගේ අර්ධ සහෝදරිය වන සිරින් ය. තම මව සහ සහෝදරිය අතර ඇති බැඳීම යළිත් ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් සිරීන් කළ හැකි සෑම දෙයක්ම කරයි. බහාර්ගේ සුළු පියාගේ කාරුණික උපකාරය නිරන්තරයෙන් ඇයට හිමිවන්නේ ඇයගේ දරුවන් දෙදෙනාගේ ජීවිතද සුන්දර කරමිනි. කෙසේ නමුත් බහාර් ජීවිතයේ අභියෝගයන් රැසකට මුහුණ දිය යුතු අතරම අතීතයේ සැඟවුණු සත්‍යයන් ද අනාවරණය කර ගත යුතුව ඇත.
සම්මානනීය ටෙලි කතා මාලාවක් වන කාඩින් පුංචි තිරයේ දිගහැරෙන්නේ යුජි සකමොටෝ විසින් රචිත වුමන් (Woman) නම් ජපන් ටෙලි නාට්‍ය මාලාව ඇසුරින් කළ නිර්මාණයක් ලෙසිනි. 2013 වසරේදී ජපානයේදී විකාශය ඇරඹි වුමන් ටෙලි නාට්‍ය මාලාව කථාංග 10කින් සමන්විත විය. "මගේ ජීවිතය බේරා ගැනීමට මට ජීවිතයක් ඇත" තේමාව කර ගත් වුමන් ටෙලි කතා මාලාව තුර්කිය, ප්‍රංශය ඇතුළුව ලොවපුරා රටවල් රැසක ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් වී ඇත. කාඩින් හි බහාර්ගේ චරිතයට පණ පොවන්නේ තුර්කි ජාතික නිළි ඕස්ගේ ඕස්ප්රීචී විසිනි. බහාර් වෙනුවෙන් සිංහලෙන් හඬ කවන්නේ කැලුම් ගම්ලත් විසිනි. කානර් සින්ඩොරුක් විසින් පණ පොවන සාර්ප් චරිතයේ සිංහල හඬ සුදර්ශන ක්‍රිෂාන්ත ගෙනි. කුබ්රා සුස්ගුන් සහ අලී සෙමි සෙෆිල් විසින් පණ පොවන නිසන් සහ දොරුක් චරිත ද්විත්වයට සිංහල හඬ දායකත්වය දෙන්නේ, තෙහාරා ලක්සදී සහ දිනුජ ආර්ය ආකේෂ්වර විසිනි.
(සරසවිය)
Lanka Newsweek © 2025